අඳුරන්නෙ නැති පිරිමි කසාද බැඳීම

“මගේ අම්මලා මුළු ජීවිත කාලෙම කිව්වෙ අඳුරන්නෙ නැති පිරිමි එක්ක කතාකරන්නවත් එපා කියල.

එහෙම කිව්ව ඒගොල්ලොම දැන් කියනව අඳුරන්නෙ නැති මිනිහෙක්ව කසාද බැඳලා ජීවිත කාලයම ඒ මිනිහා එක්ක ඉන්න කියල”

කාලෙකට කලින් කොහෙන්දෝ දැකලා ඔලුවේ හිරවුන කතාවක්.

මේ කතාවේ එළිපිට නොකියන කෑල්ල තමයි,

“දුවේ මොන දහන් ගෑටේ දාලා හරි අහවල් එක ආරක්ෂා කර ගනින්” කියන කතන්දරේ.

එහෙම වෙන්නේ, විවාහයට සහකාරිය තෝරගද්දි ගෑණියෙක්ගේ පිවිතුරු බවක් හොයන්න සමාජය පෙළඹිලා ඉන්න නිසා. මේ කතන්දරේ තියෙන කැත පැත්ත තමයි, ගැහැණියකගේ පිවිතුරු බව සොයන පිරිමි ඉන්න සමාජයක. ඒ පිවිතුරු බව ඒ පිරිමින්ගෙන්ම ආරක්ෂා කර ගන්නට සිද්ද වෙලා තියෙන එක.

ඒ නිසා තම දියණියට විවාහ වෙළඳපොළේ තියෙන ඉල්ලුම තීරණය වන ප්‍රධානම සාධකයක් ආරක්ෂා කරන්න දැඩි නීති රැකවල් සීමා පනවන්න දෙමාපියන් පෙළඹිලා.

ගෑණු දරුවා වැඩිවියට පත් වුන දවසේ ඉඳලමත් (සමහර විට ඊට පෙරත්) ඇයව පිරිමින්ගෙන් ආරක්ෂා කරන්න ඕන. ඇයගේ ස්වභාවික අවශ්‍යතා වලින්, ඇගේම ආශා වලින් ඇයව ආරක්ෂා කර ගන්න ඕන.

බොහෝ දෙමාපියන් කරන්නේ තමාගේ දියණියන්ව නිසි වයස යයි ඔවුන් හඳුන්වන වයසකට පැමිණෙන තුරු කූඩු කොට තබල, ඉන්පස්සෙ තමා තීරණය කරන පිරිමියෙක්ට විවාහ කරල දෙන එක.

මේ විකාරරූපී විකෘති වූ සදාචාරයක් අස්සේ විවාහය තෙක් තමන්ගේ දෙමාපියන්ගේ සිරකාරියන් වන තරුණියන්ට ඒ සීමාවීම නිසාම තමාට ගැලපෙන සහකාරයෙක් තෝරාගන්නවත්, තෝරාගත්ත සහකාරයාව ආශ්‍රය කරලා තේරුම් ගන්න ඉඩක් ලැබෙන්නෙ නෑ.

මෙවන් සීමා මායිම් අස්සේ හිරවෙලා නිදහසක් නැති ජීවිතයන් ගත කරන ඔවුනට රිසි සේ ආදරය කරන්න, ආදරය විඳින්න ලැබෙන්නේ නෑ.

පියාගේ අධිකාරියෙන් හිර වෙලා තමාගේ ජීවිතයේ මුල් දශක කිහිපය ගත කරන ඇයට ඉන් නිදහස් වීම සමරන්න වෙන්නේ සුදු ඇතිරිල්ලක් දාපු ඇඳක වෙන මිනිහෙක් ඉස්සරහා කකුල් දෙක ඈත් කරගෙන.

ඒ මිනිහා පවා තෝරාගන්න ඇයට තියෙන නිදහස දෙමාපියන් විසින්ම නැතිකරලා දාලා.

මීට මාස කිහිපයකට කලින් මගේ මිතුරියක් හැඬූ කඳුළින් කිව්වෙ ඇයගේ දෙමාපියන් ඇයව බලහත්කාරයෙන් නාඳුනන පුද්ගලයෙක්ට විවාහ කරලා දෙන්න යන බව.

ඔව්.. ඇයගේ දෙමාපියන් ඇයගේ ජීවන සහකාරයා ඇයටම තෝරලා දීලා

ඒ තීරණයට ඇයගේ කැමැත්ත අකමැත්ත වැදගත් වෙලා නෑ.

දැන් ඇයට තියෙන්නේ දෙමාපියෝ තීරණය කරපු ඒ මනමාලයාව ගිහින් කසාද බඳින්න. දෙමාපියන්ගේ තීරණයට අවනත වෙන්න.

මේ විවාහ ගණුදෙනුව තීන්දු කරද්දි දෙමාපියන් ඇයගේ කැමැත්ත විමසීමක් කරලත් නෑ. කැමැත්ත විමසන්න අවශ්‍යතාවයක් තිබිලත් නෑ.

මොකද, දෙමාපියෝ දරුවන්ට හොඳම දේ මොකක්ද කියල දන්නවනෙ. ඉතින් දරුවෝ වෙනුවන් දරුවන්ගේ ජීවිත වල වැදගත්ම තීරණ ගන්නෙ දෙමව්පියෝ!

මේ අත්දැකීම මගේ මිතුරියට විතරක් සීමා වුන එකක් නෙමෙයි.

දිනපතාම ලෝකයේ විතරක් නෙමේ, අපේ රටේත් දරුවන් කීදෙනෙක් අකමැත්තෙන් දෙමාපියන්ගේ බලකිරීම් නිසා විවාහ වෙනවද?

කීදෙනෙක්ට තමාගේ විවාහයන්ට, ආදර සබඳතාවලට දෙමාපිය බලපෑම් නිසා නැවතීමේ තිත තියන්න වෙනවද?

ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව තරුණයෝ තරුණියෝ දෙගොල්ලොම තමන්ගේ දෙමව්පියන් ඉදිරියේ අසරණ වෙනවා.

තමන්ගේ ජීවිතය ගෙවන්න සුදුසු සහකාරයෙක්/සහකාරියක් තමාගේ කැමැත්තට අනුව තෝරගන්න ඔවුන්ට තියෙන අයිතිය නැති කරන්නේ වෙන කවුරුවත් නෙමේ, ඔවුන්ගේම දෙමව්පියෝ.

මේ බලහත්කාරකම් සිද්ධ වෙන්නෙ විවාහ යෝජනා කියල හඳුන්වන ශිෂ්ට සම්පන්න බෝඩ් ලෑල්ලක් පිටිපස්සෙ,

මේ මානව අයිතීන් උල්ලංඝනය කරන අමනයන් හැංගිලා ඉන්නේ අපේ සමාජය විසින් සුවඳ ඳුම් අල්ලමින් උදේ හවහ වන්දනාමාන කරනා දෙගුරුන් කියන පට්ටමක් පිටිපස්සෙ,

විවාහ යෝජනා නාමයෙන් ආවට ඇත්තටම මේවා විවාහ යෝජනා ද?

මොකද, යෝජනාවක් නම් විවාහයට සම්බන්ධ වෙන ප්‍රධානම පාර්ශව දෙක වන මනාලයාට හරි මනමාලියට හරි ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න හැකියාව තියෙන්න ඕන..

ප්‍රතික්ෂේප කරන්න බැරි නම් ඒක යෝජනාවක් වෙනවද?

මේවා විවාහ යෝජනා නෙමේ, විවාහ ගනුදෙනු..!

වැඩිවියට පත් තමාගේ දරුවා තමාට අයිති දේපලක්ය කියලා හිතන, ආත්මාර්ථකාමී දෙමව්පියන් දෙපිරිසක් එකතු වෙලා, ඒ දරුවන්ව යොදාගෙන තමාගේ ආත්මාර්ථකාමී අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න (තමන්ගේ පවුල, පෙළපත, කුළය තවත් ඔසවා තබන) ගනුදෙනු !

තමා කැමති සහකාරයා/සහකාරිය තෝරාගන්න තියෙන නිදහස නැති කරලා, වෙනත් පාර්ශවයක උවමනාවකට විවාහ දිවියකට ඇතුල් වෙන්න සිද්ධ වෙන එක සසඳන්න පුළුවන් මංගල්‍යයකට නෙමේ, චිත්‍රපටියක මුහුරත් උත්සයකට.

ඒ අතින් ඔවුන්ට සහභාගී වෙන්න වෙන්නේ විවාහ මංගල උත්සවය කියලා ඔවුන්ගේ දෙමාපියන් සතුටු වන, දෙමාපියන් විසින් පිටපත ලියලා, දෙමාපියන් විසින්ම අධ්‍යක්ෂණය කරලා නිශ්පාදනය කරලා එළිදක්වන දෙමාපියන්ගේ පෙළපතේ අඩම්බරය සහ සතුට සමරන උත්සවයකට.

මානුෂීය සබඳතාවයකට බලෙන් ඇතුලත් කලත්, පුද්ගලයෙක්ව නීත්‍යානුකූලව තවත් කෙනෙක්ට ලියල දුන්නත් එකයි; මානුෂීය සබඳතාවයකින් ඈත් වෙන්න කියල බලපෑම් කලත් එකයි.

දෙමාපියන්ගේ බලහත්කාරයෙන් සිද්ධ වෙන විවාහ මංගල්‍යන් හා සමානවම දෙමාපිය බලපෑම් නිසා අතහැර දමන්න සිද්ධ වෙන ප්‍රේම සම්බන්ධතාද එමටයි.

වැඩිවියට පත් වුන තමාගේ දරුවාගේ කැමැත්තට, අකමැත්තට ගරුකරන සංස්කෘතියක් අපේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ වැඩිහිටි දරුවන්ට තමාගේම ජීවිතය ගැන තීරණ ගැනීමට තියෙන අයිතිය මංකොල්ලකන දෙමාපියන්ට වන්දනා කරන සංස්කෘතියක්. ඒ මංකොල්ලකෑම සාමාන්‍යයකරණය වූ සංස්කෘතියක්. ඒ මංකොල්ල කෑම හිස පහත් කරගෙන පිළිගන්නා සංස්කෘතියක් !

දශක ගණනක් මුළුල්ලේ තමා හදා වඩා තියෙන්නේ තමාගේ ජීවිතය ගැන තීරණ ගන්නවත් නොහැකි ගොන් මැට්ටෙක්වය, මැට්ටියක්වය කියා යම් මවක්/පියෙක් තම දරුවා ගැන සිතනවා නම්, එය එම දෙමව්පියන්ගේ අසාර්ථකත්වයේ ප්‍රතිබිම්භයක් පමණයි.

වයස විස්ස විසිපහ සීමාව ඉක්මවූ වැඩිහිටිපරපුරක් දෙස සමාජයක් වශයෙන් අපි බලන්නේ ‘ළමා වැඩිහිටියන්’ ලෙස නම්, ඔවුන්ගේ තීරණ ගැනීමේ හැකියාව ගැන ඇති අවිනිශ්චිත බව නිසාම ඔවුන්ට කලින් පරපුර ඔවුන් වෙනුවෙන් තීරණ ගත යුතු නම්,

ඔවුන්ව සලකන්න වෙන්නෙ තරුණ පරපුරක් විදියට නෙමේ, ළමයින් විදියට. වයසින් වැඩිහිටියන් වුනත් මනසින් ළමයින් වන ‘ළමා වැඩිහිටියන්’ විදියට.

තත්වය මොකක් වුනත්, ඔවුන්ගේ දෙමාපිය පරපුර ඔවුන්ට සලකන්නේ ඒ විදියට.

ඔවුන්ගේ ජීවිත ගැන ඔවුනට හිමි නිදහස, වගකීම වැටකඩොළු දාලා නැති කරන දෙමාපියන් තම දරුවන්ට දෙන්නේ තේරීමක්;

“උඹ අපි කියන දේ අහල අපේ කැමැත්ත කරන්න ඕනි. එහෙම නැත්නම් අද ඉඳලා අපි මැරුන කියල හිතාගනින්. උඹට ලොකු ඒකිවද? අපිවද?”

මේ විදියට දරුවන් තුළ තමාට ඇති ආදරය, ගෞරවය දඩමීමා කරගෙන ඔවුන්ව අසරණ තත්වයට ඇද දමන දෙමාපියන් ඇත්තටම බැලුවම තම දරුවන්ට තේරීමක් ලබා දෙන්නේ නෑ.

තමා කැමති විදියට වැඩ කරන්නෙ නැති, විවාහ වෙන්නෙ නැති, ප්‍රේම සම්බන්ධතා වලට නැවතීමේ තිත තියන්නෙ නැති දරුවෙක්ගේ ජීවිතය ඔවුන් අපායක් බවට පත් කරන්නේ දරුවන් තුළ ඔවුන්ට ඇති ආදරයම ඔවුන්ගේ අවිය කරගනිමින්.

සමාජයක් වශයෙන් දැන්වත් අප අපගේ තරුණ පරපුරට වැඩිහිටියන් සේ සැලකීමට පටන් ගත යුතුය. ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට තිබෙන නිදහස පිළිගත යුතුය.

මෙවන් දෙමාපියන් කෙරෙහි අප දක්වන ආකල්ප වෙනස් කර ගත යුතුය.

රටේ අනාගතය නියෝජනය කරන පරපුරකට, රට ගැන තීරණ ගැනීමට පෙර, තම තමන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඇති නිදහස පිළිගත යුතුය.

Leave a Reply