අසරණ

වැඩිහිටි නිවාසයක ඉන්න, පාරක් අයිනක අම්බලමක, වහල දාපු කඩපිලක එහෙමත් නැත්නං ගරා වැටෙන, දියසෙවෙල කාපු බිත්ති තියෙන ගෙදරකට වෙලා තනියම උයා පිහාගෙන කාල ලෙඩක් දුකක් හැදුනම තැනින් තැන කළු පුස් කාපු තුවායක් ඔළුවෙ පෙරවගෙන හැරමිටියක් ඇන ඇන ඉස්පිරිතාලෙ බෙහෙත් පෝලිමේ ඉන්න වයසක අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් දැක්කොත් අපි හැමෝටම මතක් වෙන්නෙ ඒ අය නොකා නොබී දුක් විඳල ලොකු මහත් කරපු දරුවන්.

උන් වෙනුවෙන් අපේ හිත් වල තියෙන්නෙ, කාලකණ්නි දරුවො, පවු කාරයො, අම්මට තාත්තට සලකන්නෙ නැති මුඩුම හැත්ත වගේ අප්‍රසන්න වචන ගැබ් වෙච්ච සිතුවිලි පොදියක්. එහෙම දර්ශණයක් දැකපු වෙලාවට තමන්ගෙ අසල ඉන්න කෙනා අඳුරන්නෙ නැති උනත් එයා එක්ක අර අන්ත අසරණ මිනිස්සුන්ගෙ දරුවන්ට දෙස් තියන්න පටන් ගන්නව. ඔය කාරණාව වෙලාවකට මටත් පොදුයි. මිනිස්සු විදියට එහෙම හිතෙන එක වැ‍රැද්දක් නෙමෙයි.

ඒත් අපි කොයිම මොහොතක හරි ඇයි ඒ මිනිස්සුන්ට එහෙම උනේ කියල හිතල බලල තියෙනවද නිකමටවත්. ඒ හැම මොහොතකම අපි අසරණ වෙලා ඉන්න මිනිස්සු ගැන විතරක්ම හිතන්නෙ මිනිස් සිතුවිලි හැමතිස්සෙම වගේ ක්‍රියාත්මක වෙන්න බලන්නෙ හදවත ආශ්‍රය කරගෙන මිසක් බුද්ධිය ආශ්‍රිත කරගෙන නොවෙන නිසා කියලයි මට හිතෙන්නෙ. මෙතන හදවත සහ බුද්ධියේ ආධිපත්‍ය ගැටළුව තියෙනව.

මම දකින විදියට මිනිස්සු අසරණ වෙන්නෙ ඔවුන් අතීතයේ තනි තනි පුද්ගලයන් වශයෙන් යම් යම් අවස්ථාවල ගනිපු වැරදි තීරණ නිසා. ඒ වෙලාවෙ ගන්නා තීරණයේ පසු බලපෑම ඔවුන්ගේ වර්තමානයේ ඉඳල ගොඩක් ඈත තියෙන්නෙ. ඒක නිසාම දකින්න ගොඩක්ම අපහසුයි. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ටත් නොදැනීම ඔවුන් ඒ දිහාට ඇවිදන් යනව. එදාට අර තීරණයේ පසු බලපෑමට, ප්‍රතිඵලයට ලක් වෙනව. ඒත් ප්‍රත්‍යයේ හේතුව දුර අතීතයේ සිද්ධවෙච්ච දෙයක් නිසා කිසිම කෙනෙකුට මතක නෑ. ඉතිං ඔවුන් දන්නෙ නෑ ඇයි තමන් අසරණ උනේ කියල.

Leave a Reply