අහම්බයන්ට දිවි හිමියෙන් ආදරය කිරීම

අපි ජීවත්වන වටපිටාවේ ඇති සියළුම දේවල් අප අවට පවතින්නේ අහම්බයකින්.

අන් කෙනෙක් සැළසුම් කලායැයි හිතන නමුත් එසේ නොවන අහම්බයකින්. වැරදිලාවත් ඔබ හිතනවා නම් මම මේ කතා කරන්නේ දේව සංකල්පයක් ගැන කියලා ඔබ වැරදියි. මේක වෙනම පාරක යන කතාවක්

ඔබ සහ මම ජීවත්වන ස්ථානයේ අපි ඉන්නේ අහඹු සිද්ධීන් දාමයක ප්‍රතිඵලයක් විදියට !!

මේ කරැණ ගැන විවාදයකට එන්න කලින් හිතල බලන්න ඔබට සැලසුම් කරගන්න තිබුනානම් ඔබේ ජීවිතය සහ වට පිටාව ඔබ ඔය අද ඉන්න තැන ඉඳීයි ද ?

ආතතිකර රැකියාවක්, අසතුටු දායක පවුල් ජීවිතයක්, කරදර කාරී අසල් වැසියන්, අතෘප්තිමත් ජීවිතයක්. ණය බර, සොර සතුරන්, කරදරකාරී දරැවන්, අසනීප තත්වයන්. මේවා තමයි ඔබ සහ මම වටේ තියෙන්නේ.

හැබැයි සමහරෙකුට ඒක එහෙමයි කියලා එළිපිට පිළිගන්න බැරි කමට වාද කරන්න උනත් හිතෙන්න පුළුවන්.

නමුත් ඔබ දන්නවා ඒක තමයි සත්‍ය කියලා. හැබැයි ඔබ ඒක පිළිගන්න සූදානම් නෑ. එහෙම උනොත් ඔබගේ අභ්‍යන්තරයේ ලොකු ගැටුමක් ඇතිවෙන එක වලක්වන්න බෑ. ඒක නිසා සෙල්ෆ් ප්‍රිසවේශන් එක වෙනුවෙන් නොතේරුණා වගේ ඉන්න එකත් එක්තරා උපක්‍රමයක්.

හරි දැං අපි අපේ තෝරාගැනීම් ගැන කතා කරමු.

පටන් ගනිමු එක , ඔබේ උපත !

ඔබට හැකියාවක් තිබුනේ නෑ ඔබේ දෙමාපියන් තෝරාගන්න. ඒ වගේම ඔබේ දෙමාපියන්ටත් හැකියාවක් තිබුනේ නෑ ඔබවම තෝරාගන්න. එහෙම පුළුවන් කමක තිබුනා නම් ඔබ ඔබේ වර්තමාන දෙමාපියන් තෝරාගනීද ?

එහෙමත් නැත්නම් ඔබේ දෙමාපියන් ඔබවම තෝරා ගනීද ඔබට වඩා වෙනස් කෙනෙක් නැතුව ?

ඔබ කැමති නැද්ද යහමින් මිළ මුදල්, සමාජ බලය ඇති දෙපලක් ඔබේ දෙමාපියන් වෙනවාට. ඒකෙන් ඔබගේ ජීවිතය දැනට වඩා විචිත්‍ර වෙන්න ඉඩක් තියනවා.

ඔබේ දෙමාපියන් එක වතාවක් වත් ඔබ දුවක් නම් පුතෙක් වූවානම් හොඳ යැයි හෝ දුවක් නම් පුතෙක් වූවානම් හොඳ යැයි නොසිතුවා කියලා හිතනවාද ?

එහෙමත් නැත්නම් ඔබ මීට වඩා බුද්ධිමත් වූවානම් කියා ? නීරෝගී සම්පන්න වූවානම් කියා ? උස වූවානම්, මිටි වූවානම්, පැහැපත් වූවානම් කියා ?

හොඳට කල්පනා කලොත් ඔබට හොයාගන්න පුළුවන් උත්තරය.

ඊලඟට අපි එමු ඔබේ උපන් ස්ථානයට,

ඔබට හිතෙන්නේ නැද්ද ඔබ උපන් නගරයට වඩා වැඩි පහසුකම් ඇති නගරයක ඉපදුනානම් හොඳයි කියා ? එහෙම නැත්නම් සුන්දර කඳුකර පළාතක, වාහන තදබදය නැති නිස්කලංක පෙදෙසක ?

ඒ එකක්වත් නැත්නම් වෙනත් රටක. “පිං කෙත හෙළ රන් දෙරණේ” නැතිව වෙනත් රටක, යුරෝපීය රටක ඉපදුනා නම් කියා නිකමටවත් හිතිලා නැද්ද ?

මොකද නැත්තේ ඔබ කොච්චර නම් සිහින දැකලා ඇත්ද ඒ ගැන. දැනටත් ඔබ උත්සාහා කරනවා වෙන්න පුළුවන් වඩාත් පහසු ජීවිතයක් සොයා වෙනත් රටකට යන්න.

නමුත් අවාසනවකට යන්න අවස්ථාවක් නැති කමට, අතෑරලා යන්න බැරි වගකීම් නිසා එහෙමත් නැත්නම් ආසයි-බයයි වගේ හේතුවක් නිසා ඔබ තවමත් මෙහේ.

එතකන් ඔබ “මේ මාතෘ භූමියයි” කියමින් මැරෙන්න හදනවා. අපේ ලමයින්ට ඉන්න රටක් තියෙන්න ඕන කියමින් ඩෙඟා නටනවා,

නමුත් ඔබට වෙන රටකට යන්න ලැබුනොත් ස්ථීර පදිංචියට ඔක්කෝටම ටටා බායි කියලා ඔබ යනවා අර සේරම අමතක කරලා දමලා.

ඊලඟ දෙය තමයි ඔබේ පාසැල.

ඒක හරිම අපූරු දෙයක්. ඔබ හරිම ආදරෙයි කියල පෙන්වන්න උත්සාහා කරනවා පාසැලට. සමහර වෙලාවට මරාගෙන මැරෙන්න හදනවා කවුරුහරි නොමනා දෙයක් කිව්වොත් ඔබේ පාසැලට. ඔබ එතනදී හරිම සංවේදීයි, ආවේගශීලීයි, ඇතැම් විට දරුණු වෙන්නත් පසුබට වෙන්නේ නෑ.

ඔබ පහුගිය දවස්වල ෆේස්බුක් එකේ වයිරල් වෙලා ගිය පාසැල් ප්‍රේමය මතක ඇති. රටේ ප්‍රධාන පාසල් කිහිපයක් කතා බහට ලක්වුනා. නමුත් ඔබ නිරීක්ෂණය කලානම් දකින්න ඇති කිසිම ජනප්‍රිය ඝනයේ ලා නොසැලකෙන අගනගරාසන්න පාසැල් හා අනෙකුත් ප්‍රධාන නගරවල ඇති පාසැල් පිළිබඳව මේ සාකඡාව නොවූ වග. ඒක වෙනම සාකඡා කලයුතු කාරණාවක් නිසා ඒක පසුවට තියලා අපි එමු ආයෙම මාතෘකාවට.

ඔබ ඔය තරම් ආදරය කරන, ආඩම්බර වෙන පාසැලට ඔබ ඇතුළු වුනේ අහම්බයකින්.

ඒ ඔබ අහම්බෙන් උපන් රට, පළාත, දිස්ත්‍රික්කය, දෙමාපියන්, දෙමාපියන් පාසැලට කොතරම් දුරින් පදිංචි වෙලා හිටියාද, ඔවුනට කොතරම් දුරට ෆ්‍රෝඩ් ඩොක්‍යුමන්ට් හදන්න, බ්‍රයිබ් දෙන්න පුළුවන් උනාද කියන කාරණා සහ තවත් අවශේෂ කාරණා අටෝ රාසියක් නිසා.

ඇතැම් විට ඔබ විභාගයක් සමත්වීම නිසා පාසැලකට ඇතුල් වුනා නම් ඉහත කියාපු කාරණා සමහරක් අවලංගු වෙන්න පුළුවන්, නමුත් උපන් රට, පලාත, දෙමාපියන්, ගුරුවරුන් වගේ කාරණා බලපානවා.

ඊලඟට එන වැදගත් දෙය තමයි ඔබේ සහකරුවා හෝ සහ කාරිය.

ඔබ හිතනවා ඔහු හෝ ඇය තමයි බඹා කෙටූ එක්කෙනා කියලා, එකිනෙකා පතාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. නමුත් ඇත්ත ඒකම නෙමෙයි.

ඔබලා දෙදෙනා මුන ගැහුනේ පාසැලේ දී නම්, අර එතනදී විස්තර කරපු කාරණා කිහිපය මත එය රඳාපවතිනවා. ඇතැම් විට බස් එකක්, කෝච්චියක, අහම්බෙන් ගිය විනෝද චාරිකාවකදී, මිතුරෙකුගේ උත්සවයකදී, සමුළුවකදී, ප්‍රදර්ශණ භූමියකදී, රැකියාස්ථානයේ දී වෙන්න පුළුවන්.

එහෙමත් නැත්නම් පුවත්පතක දැකපු විවාහ යෝජනාවක, මඟුල් කපුවෙකු ගෙනා යෝජනාවක් නිසා වෙන්න පුළුවන්. මේ සියල්ලම අහම්බයන්.

ඔබ ඒ මොහොතේ වෙන තැනක නම් හිටියේ ඔබට මේ කිසිම අහම්බයක් මුන නොගැසී ඉන්න ඉඩ හොඳටම ඉඩ තියනවා.

ඔබට තර්ක කරන්න පුළුවන් ඒ සියල්ල සිදුවූ ආකාරයට සිදුවුනේ ඔබ විශ්වාස කරන යම්කිසි බලයකට අනුව කියල. නමුත් ඔබට එය කිසිසේත්ම ඔප්පුකරන්න බෑ. ඒ වගේම ඔබ එය එසේ සිදුවූවාය කියා එහි ප්‍රතිඵලය ඒ ආකාරයෙන්ම පිළිගන්න සූදානම් නෑ.

ඔබේ වර්ථමාන තත්වය යම් තරමකට හෝ වෙනස් කරන්න කොතරම් දත කනවාද කියලා ඔබ දන්නවා. ඒ කියන්නේ වක්‍රව ඔබ විශ්වාස කරන බලවේගය විසින් අත්කරදුන් දෑ ඒ ආකාරයෙන්ම බාරගන්න ඔබ සූදානම් නෑ. ඒක ඔබ ඔබ තුලම කරනා අරගලයක්.

මම යෝජනා කරන්නේ සියල්ල අහම්බයන් නිසා අතෑරලා දාන්න නෙමේයි, ඒවා සියල්ල අහම්බයන්ගේ ප්‍රතිඵල වග තේරැම් අරගෙන වෙනස්වීම් දිහා බලාගෙන ඉන්න කියලයි.

අන්න එතනදී ඔබට ඔබත් එක්ක සමාදාන වෙන්න පුළුවන්.

 

Leave a Reply