ආතර් කොනන් ඩොයිල් ‘මේ ආදරයයි’ ලිව්වනම්……

එය අප්‍රේල් මාසයේ එක්තරා වැහිබර දිනයක් බව මට මතක ඇත. තුනී මීදුමක් දිල්ලිය පුරා පැතිර තිබූ නිසා දහවල් කාලයේ පවා පරිසරයේ පැවතියේ අඳුරු ස්වභාවයකි. මගේ මිත්‍ර රමන් බල්ලා සහ මම ඔහුගේ නිවසේ විසිත්ත කාමරයට වී රසම් පානය කරමින් කතා බහේ යෙදී සිටියෙමු. එදින අපේ කතා බහට මාතෘකාව වී තිබුණේ දිල්ලි නගරයේ අළුතින්ම සිදුවූ විවාහ වීම් සහ දික්කසාද වීම්ය.

“ඔබ දන්නවද මිහිර්, ඊයෙ මාව හමුවෙන්න ආවා අපේ පැරණි මිත්‍රයා ලෙස්ට්‍රේඩ්…. ඔහුට භාරවෙලා තියෙන අළුත්ම දික්කසාද නඩුව ගැන මගෙන් උපදෙස් ගන්න…..”

“ඔබ කියන්නෙ කොයි නඩුව ගැනද රමන්….?”

“වෙනමොකක්වත් නෙමේ මිත්‍රයා…. සුප්‍රසිද්ධ සුරාජ් සිටුවරයාගෙ හා ස්වප්නා කුමරියගෙ දික්කසාදය පිළිබඳ නඩුව…. මං ඔබට සහතික වෙන්නම් මිහිර්. ලෙස්ට්‍රේඩ් මං දුන්නු උපදෙස් හරියටම පිළිපැද්දොත්, ඔහුට මේ නඩුව අනිවාර්යෙන්ම දිනන්න පුළුවන්…..”

ලෙස්ට්‍රේඩ් යනු දිල්ලියේ සිටි දක්ෂතම නීතීඥ්ඥයා යැයි කීවොත් මා නිවැරදිය. ඔහු වඩාත්ම ප්‍රසිද්ධව සිටියේ දික්කසාද නඩු සම්බන්ධයෙනි. කෙතරම් දක්ෂයෙක් වුවද දික්කසාද නඩුවකදී මගේ මිත්‍ර රමන්ගෙන් උපදෙස් පැතීම ලෙස්ට්‍රේඩ්ගේ පුරුද්දක්ව තිබුණි. දික්කසාදවීම් හා කසාද බැදීම් පිළිබඳව මගේ මිත්‍රයාට වූයේ පරතෙරටම ගිය දැනුමකි. ඒ පිළිබඳ දැනුමෙන් ඔහුව අභිබවා යා හැකි අයෙක් දිල්ලියේ පමණක් නොව මුළු ඉන්දියාවෙම සිටීදැයි සැක සහිතය. දික්කසාද නඩු සම්බන්ධයෙන් ලෙස්ට්‍රේඩ් පමණක් නොව ග්‍රෙග්සන්, හොප්කින්ස් වැනි නීතීඥ්ඥයන් පවා රමන්ගෙන් උපදෙස් පතන බව ප්‍රසිද්ධ රහසකි. මේ නිසාම මගේ මිත්‍රයා තමන්ව හඳුන්වාගන්නේ ‘දිල්ලියේ නිලනොලත් නීතීඥ්ඥයා’ යනුවෙනි.

“ඒක නෙමෙයි මිහිර්, ඔබ මොකද හිතන්නෙ සුරාජ් සිටුවරයගෙ හා ස්වප්නා කුමරියගෙ දික්කසාද වීම පිළිබඳව…..?”

රමන් එක්වරම මගෙන් විමසා සිටියේ අනපේක්ෂිත ප්‍රශ්නයකි. එකල දිල්ලිය පුරා ප්‍රසිද්ධ වූ මෙම දික්කසාදය පාඨක ඔබට මතක ඇතිවාට සැක නැත. මා ඒ පිළිබඳව වැඩි විස්තර කිසිවක් නොදැන සිටියත් ගොසිප් සයිට්ස් වල ඒ පිළිබඳව පළවූ ලිපි කිහිපයක්ම කියවා සිටියෙමි.

“ඇත්තටම රමන් මං හිතන්නෙ, මේ වෙලාවෙ සුරාජ් සිටුවරයට කරන්න තියෙන හොඳම දේ තමයි ස්වප්නා කුමරියව දික්කසාද කරලා ශිවන්යා කුමරියව විවාහ කරගන්න එක….”

“විශිෂ්ටයි මිහිර්…… පිළිගන්න මගේ සුබ පැතුම්…. දික්කසාද වීම් පිළිබඳව ඔබේ දැනුම එන්න එන්නම වර්ධනය වන බව පෙනෙනවා…….”

එක්වරම අපේ කතාවට බාධා කරමින් කාමරයට ඇතුළු වූයේ රමන්ගේ බිරිඳ ඉෂිතා මහත්මියයි. ඉෂිතා මහත්මිය පැහැපත් සිහින් සිරුරක් හිමි කාන්තාවක් වූ අතර ඕනෑම අවස්ථාවක අඬන්නට සූදානම් මුහුණක් ඈ සතු විය. මෙදින ඇය හැඳ සිටියේ කහ සහ කළු පැහැය මුසු වැඩදමන ලද සාරියකි. මෙම සාරිය රමන් දිනක් දිල්ලියේ පේමන්ට් එකෙන් මිළට ගෙන ‘කැන්ඩි’ එකෙන් මිළදී ගත් බව පවසා ඉෂිතා මහත්මියට තෑගි දුන් අයුරු මට හොඳින් මතක තිබුණි.

ඉෂිතා මහත්මිය අත තිබුණේ රමන්ගේ නමට ආ ලිපියකි. එහි කෙළවර ‘221 බී, චපාති වීදිය’ යමුවෙන් රමන්ගේ නිවසේ ලිපිනව සටහන්ව තිබෙන අයුරු මම නිරීක්ෂණය කළෙමි. ලිපිය විවර කර මද වේලාවක් එය කියවූ රමන් මීළඟට හැරුණේ ඉෂිතා මහත්මිය වෙතටයි. “ඉතින් ඉෂිතා, ඔබ හදපු සැමන් හොද්දත් එක්ක බත් කන්න ඔබ අපේ මිත්‍රයා මිහිර්ටත් ආරාධනා කරනවා නේද…..?”

“ඇත්තෙන්ම ඔව්…” ඇය පැවසුවේ මා දෙස බලා සිනහවෙමිනි. මීළඟට මා බලා සිටිද්දීම මහා පුදුමයක් සිදූ වූ කලක මෙන් ඇගේ දෑස් පුදුමයෙන් මහත් විය. “දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ රමන්….!! ඔබ කොහොමද දැනගත්තෙ මං අද දවල් කෑමට සැමන් හොදි හදපු බව…..?”

“ඒක හරි සරල දෙයක් ඉෂිතා….. ඔබේ අතේ ගෑවිලා තිබුණු සැමන් වතුර මේ ලියුමෙත් ගෑවිලා….. ඉතින් මට අඳුනගන්න පුළුවන් මේ ලියුමෙන් එන පිළී ගඳ. ඕනෙනම් මට මේ සැමන් එකේ වර්ගය කියන්නත් පුළුවන්. ඇයි ඔබට මතක නැද්ද ‘සැමන් ගඳ බලා වර්ගය කීම’ නමින් මං පොත් පිංචකුත් රච්නා කරපු හැටි.” රමන් පිළිතුරු දුන්නේ සන්සුන් ස්වරයකිනි.

ඉන්පසුව ඉෂිතා මහත්මිය ඉක්මනින් දිවා අහාරය සූදානම් කරන බවට පොරොන්දු වී කුස්සියට ගියාය. ඉෂිතා මහත්මිය රමන් කෙරෙහි දැක්වූයේ ඉමහත් ආදරයකි. එසේ වුවත් දිල්ලියේ සිටි කරදරකාරම සැමියා රමන් බවටනම් සැකයක් නැත. රමන්ගේ අරුම පුදුම හැසිරීම් නිසා ඉෂිතා මහත්මියට විදින්නට වූ දුක් ගැහැට අපමණය. රමන් සංගීතයට දැඩි ලෙස ආශා කළ අතර ඔහු මධ්‍යම රාත්‍රියේ පවා ඇහැරී තම වයලීනය වාදනය කළේය.

එසේම රමන් තම රසායන විද්‍යා පරීක්ෂණ සිදුකළේද නිවෙස තුළමය. විටින් විට රමන් හමුවීමට එන විවිධ තරාතිරමේ පුද්ගලයන්ගෙන් ඔවුන්ගේ ජීවිතයට එල්ලවූයේ දැඩි බාධාවකි. එපමණක් නොව රමන්ව විවාහ කරගැනීමේ අරමුණෙන් දිනපතා ඔවුන්ගේ නිවසට පැමිණෙන කාන්තාවන්ගෙන්ද අඩුවක් නොවිය. නමුත් මේ කිසිවක් ඉෂිතා මහත්මිය ගණන් නොගත් අතර ඇය කිසිවිටක රමන්ගේ වැඩ කටයුතුවල බාධා නොකළාය.

ඉෂිතා මහත්මිය පිටත්ව ගිය පසු රමන් තම අතේ වූ ලියුම පොඩිකර පසෙකට විසිකළේය මදක් කෝපයෙනි. “මොකක්ද රමන් ගැටළුව….?” මම ඔහුගෙන් විමසුවෙමි.

“ඔහු ආයෙත් වැඩ පටන් අරගෙන මිහිර්….”

“ඔහු කිව්වෙ කවුද….?”

“ඔහු තමා දිල්ලියෙ ඉන්න එපාමකරපු මිනිහා. ඔහු පිටතින් නම් පෙන්වන්නෙ තමන් බොහොම වැදගත්, බුද්ධිමතෙක් බව. ඒත් ඔහු මිනීමරුවෙකුටත් වඩා භයානකයි. ඔහුගෙ රැකියාව තමා ධනවත් කාන්තාවන්ව විවාහ කරගෙන, ඔවුන්ගේ දේපළ තමන් නමට ලියාගෙන, ඒ කාන්තාවන්ව දික්කසාද කරන එක…… ඔබට සර්පයෙක්ව දකිද්දි ඇතිවෙන්නෙ මොනවගේ හැගීමක්ද මිහිර්….? මට ඔහුව දකිද්දි ඇතිවන්නෙත් ඒ හා සමාන පිළිකුල් හැගීමක්…..”

“ඔහුගෙ නම මොකක්ද රමන්….?”

“සමහරවිට ඔබ ඔහුගෙ නම අහලා ඇති. ඔහු තමා ගණිතය පිළිබඳ මහාචාර්ය අශෝක් කන්නා….!!

මට පොඩි උදව්වක් කරන්න මිහිර්, කරුණාකර මට අර පොත් රාක්කෙ තුන්වෙනි තට්ටුවෙ වම් පැත්තෙ ඉදන් අටවෙනියට තියෙන පොත අරගෙන දෙන්න….”

රමන් පැවසුවේ පොත් රාක්කය දෙසවත් නොබලමිනි. ඔහුගේ මතක ශක්තිය පිළිබඳව මම පුදුමයට පත්වීමි. මම නැගී සිට රමන් පැවසූ පොත අරන් දුන්නෙමි. ඒ ඔහු විසින් සකස් කරන ලද ඔහුගේ ස්ක්‍රැප් පොතයි. මා දන්නා තරමින් රමන් පහළොස් වතාවකට වඩා විවාහ වී තිබූ අතර එම ස්ක්‍රැප් පොත සකස් කර තිබුණේ ඔහු විවිධ අවස්ථාවල විවාහ කරගත් කාන්තාවන්ගේ පින්තූර ඇලවීමෙනි. පොතේ පිටු කිහිපයක් පෙරළා බැලූ රමන් එක් පිටුවක සිටි රතු පැහැති සාරියක් ඇඳගත් කාන්තාවක් මට පෙන්නුවේය.

“හොඳට බලන්න මිහිර්. මැයගේ නම ශගුන්…. මැය තමා අශෝක් කන්නාගෙ මීළඟ ඉලක්කය…. අපි කොහොමහරි මැයව බේරගන්න ඕනෙ…………………”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *