ආදරේ කියල මගුලක් නෑ

මචං, මට හිතෙන්නෙ නිර්ධා උඹට කැමතියි කියල.

ගඟ අයිනෙ වැටිල තිබිච්ච කුඹුක් කොටේ උඩ වාඩිවෙච්ච ප්‍රියන්ත කකුල් දෙක වතුරට දනගමන් කිව්වෙ අමුතු හිනාවකුත් එක්ක.

උඹ කොහොමද දන්නෙ?

ඇයි බං උඹට තේරුනේ නැද්ද කෑම්ප් එකට ආව වෙලාවෙ ඉඳල ඒකි උඹෙ පස්සෙමයි කියල.

මම දැක්කෙ නෑ බං, අනික මම මේ ගමන ආවෙ වනාන්තරය රසවිඳින්න මිසක් කෙල්ලෙක්ගෙ හිත් කියවන්නෙ නෙමෙයිනෙ.

ඒත් මචං උඹෙ පරමාර්ථ මොකක් උනත් නිර්ධා උඹට කැමතියි කියන ෆැක්ට් එක වෙනස් වෙන්නෙ නෑනෙ, අනික උඹ දන්නවනෙ නිර්ධා කියන්නෙ මොනවගේ කේස් එකක්ද කියල, ඒක නිසා පොඩි හරි කැමත්තක් පෙන්නන වෙලාවෙ අඩියක් ඉස්සරහට තියපං

උඹ ඔතනදි නිර්ධාගෙ කැමැත්ත කියල අදහස් කලේ මොකක්ද ? මාත් එක්ක එකට ඉන්න ආසාවක් ද? එහෙමත් නැත්නං හැන්දෑවක වඩයක් කාල ප්ලේන්ටියක් බොන්න තියන ආසාව වගේ දෙයක් ද?

උඹ නං මහ නුහුගුණ කාරයෙක්. කෙල්ලෙක්ගෙ හිත ගැන කතාකරන්න වඩයක් උදාහරනෙකට අරගෙන හරියනවද බං?

මොකක් උදාහරනෙට ගත්තත් ඒකෙන් අවශ්‍ය පැහැදිලිකිරීම එනවනං අවුලක් නෑනෙ මචං.

උඹ ඉතිං ඇස් පනාපිටම පේන්න තියන දෙයක් උනත් පිළිගන්න කැමති එකෙක් නෙවෙයිනෙ. අනේ මංද උඹට මොන කෙහෙල් මලක්ද වෙලාතියෙන්නෙ කියල, ඇයි බං උඹටත් අනිත් මිනිස්සු වගේ සාමාන්‍ය විදියට හිතල සරළව ආදරය කරන්න බැරි.

ඒපාර උඹ කැමැත්ත “ආදරයක්” කරගත්තද? මොකක්ද බං ආදරේ කියන්නෙ?

ඔය ඉතිං… මනුස්සයො…….. ආදරේ කියන්නෙ ගෑණියෙක්, පිරිමියෙක් එකට එකතුකරවන ආකර්ෂණයට, බැඳීමට.

ආදරේ කියන්නෙ බැඳීමට, ආකර්ෂණයට නං අහවල් දෙයකටද බං ඒ දෙකට එහෙම්මම පවතින්න ඉඩහරින්නෙ නැතුව ආදරේ කියන වචනෙත් ඔබ්බල තියෙන්නෙ?

මං එහෙම කිව්වට ආදරේ වචන දෙකකට සීමා කරන්න බෑ මචං, ඒක හරිම සංකීර්ණ හැඟීමක්.

කෙහෙල් මල් සංකීර්ණෙ…. උඹලම තමයි ඒකට ඕනෙ නැති බරක් එල්ලල මෙලෝ සතෙකුට තේරුං ගන්න බැරි දෙයක් කරල තියෙන්නෙ. ඊට පස්සෙ ඔන්න බොලා ආදරේ පූජණීයයි කියල සින්දු එහෙම ලියල ඒක මත්තෙම නහින්න හදනව. තේරුං ගන්න බැරි දේවල්වලට පූජනීයත්වයක් ආරූඩකරන එක ඉස්සර කාලෙ ඉඳලම මිනිස්සුන්ගෙ හැටියක් මචං.

හා.. එතකොට උඹ කියාපන් ආදරේ කියන්නෙ මොකක්ද කියල. කේන්තියෙන් වගේ නැඟිට්ට ප්‍රියන්ත සිගරට් එකක් පත්තුකරන් ගඟ දිහා බලාගෙන ඇහුව.

මුකුත් නෑ ….!

ඒ කියන්නෙ උඹත් ආදරේ මොකක්ද කියල කියන්න දන්නෙ නෑ…?

ඒක නෙමෙයි මම කිව්වෙ, ආදරේ කියල කිසිම දෙයක් නෑ කියල.

මොන පිස්සෙක්ද……. ඔප්පුකරහං එහෙනං.

නැති දෙකක් නෑ කියල ඔප්පුකරන්න තරං මං පිස්සෙක් නෙමෙයි මචං.

එතකොට ආදරේ විස්වාසකරන මංද පිස්ස? එහෙනං ඉතිං උඹ ඇරෙන්න මේ ලෝකෙ ඉන්න හැම එකාටම-එකීටම පිස්සු වෙන්න ඕනෙ. මං හරිද?

උඹ හරිත් නෑ වැරදිත් නෑ, මොකද නැති දෙයක් විස්වාසකරන හැමෝගෙම ලඟ පිස්සෙක් කියල කියන්න තරම් පිස්සුවක් නැති හන්ද. සමහර අය ලඟ ඕක වැඩිපුරත් තවත් සමහර් අය ලඟ අඩුවෙනුත් තියනව මචං.

එතකොට උඹ කියන්නෙ ආදරය කියල දෙයක් නෑ කියලද?

මම කැමතියි පිළිගන්න ආදරය කියල දෙයක් නෑ කියල. හැබැයි උඹ එහෙම දෙයක් පිළිගන්නවට, විස්වාස කරනවට මගෙ අකමැත්තකුත් නෑ.

මොන කෙහෙල්මලක් කියනවද කියල මටනම් තේරෙන්නෙ නෑ, කෙලින්ම කියහං මිනිස්සු එකිනෙකා එක්ක බැ‍ඳෙන්නෙ ආදරය නිසා නෙමෙයි කියල?

එහෙම එකක් නෑ බං. හැබැයි මිනිස්සු හිතාගෙන ඉන්නව එහෙම එකෙක් තියනව කියල.

එතකොට උඹ කියන්නෙ ආදරය කියන්නෙ මිනිස්සු විසින් හදාගනිපු දෙයක්ය හැබැවටම එහෙම දෙයක් නැතිය කියලද?

ඔව්, කාලයක් එක්ක ගොඩනැගිච්ච ආගමික, සමාජීය සංකල්ප නිසා සීමා මායිම් පැනවුන රමණට එක්ස්කියුස් එකක් විදියට මිනිස්සුම හදාගනිපු දෙයක් තමයි ආදරය. ආදරය ඉස්සරහට දාගෙන ඔය දේ කලාම ගල් ගහන අය අඩුයි කියල උඹට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මචං. මතක තියාගනින් මේක සියවස් ගනනාවක් තිස්සෙ තව අතුරු කාරනා මහා ගොඩක් එක්ක ඇතිවෙච්ච දෙයක් මම ඔය අමුවෙන්ම කිව්වට.

අවශ්‍ය දෙයකට සීමා මායිම් ඇතිවෙනකොට ඒකට යම්කිසි මිලක් නියම වෙනව. ඔන්න ඔතනදි තමයි අර ආදරේ කියන සංකල්පීය මුදල මතුවෙන්නෙ…

උඹ කියනව අරක ආව, මේක ආව කියල, ඕව කොහෙන්ද බං එන්නෙ?

ඒකට මම වඩාත්ම කැමති උත්තරය දෙන්නම්. මේක මම හොයාගනිපු දෙයක් නෙමෙයි ඒත් මට පිළිගන්න පුළුවන් උත්තරයක්.

මොකක්ද?

ජාන !

ජාන……? ඒ මොන විකාරයක්ද, ජානවලට හිතන්න පුළුවන්ද ඔය එක එක උලව් තියරි ගේන්න?

ඒකට ඕව්, නෑ, බෑ වගේ උත්තරයක් දෙන්න බෑ මචං.

ජාන තමයි මනුස්සය මෙන්න මෙහෙම වෙන්න ඕනෙ, පාට මේකයි, උස මේකයි, ලිංගය මේකයි වගේ හැම ඩීටේල් එකක්ම තීරණය කරන්නෙ. ජාන තමයි කෝර් එක. ජාන වලට ඕනෙ නිතරම පැතිරෙන්න, හරියට කම්පියුටර් වෛරස් එකක් වගේ. උඹයි මමයි කියල වෙන්කරල අඳුරගන්න උදව් වෙන වෙසල් එකක් විතරයි බොඩි එක. රියල් ඩ්‍රිවන් ෆැක්ටර් එක ජාන.

ජාන කැමති නෑ බාධකවලට, ඒක නිසා හැම තිස්සෙම විවිධ උපක්‍රම හොයාගන්නව ඒව මඟ ඇරල යන්න. ඒක නිසා තමයි මනුස්සයට විවිධ දක්ෂතා ඇවිල්ල තියන්නෙ. ඒ හැම දක්ෂතාවයකම මූලික පරමාර්ථය ජීවයේ පැවැත්ම තහවුරු කරගැනීම. ඔන්න ඔය තියරි එක තමයි මනුස්සයට නිදහසේ සමාජීය වාරණ වලින් කට්ටිපැනල නිදහසේ සෙක්ස් කරගන යන්න “ආදර”ලයිසන් එක දෙන්නෙ.

එතකොට ඔය කෙල්ලෙක්, කොල්ලෙක් දැක්කම හිතන්ව කියන්නෙ “මෙයා තමයි බඹා කෙටූ එක්කෙනා, සංසාරෙ පුරාවට පතාගෙන ආව කෙනා” වගේ දේවල් ?

හෙහ් හෙහ්.. ඒ මචං වඩාත් උචිත ජාන අතරෙ ඇතිවෙන ආකර්ෂණය, හරියට කාන්දම් දෙකක් අතරෙ ඇතිවෙන ආකර්ෂණය වගේ. එහෙම නැතුව ඕක කොටන්න බඹෙක් ඕනෙ නෑ. ඔතන තියෙන්නෙ පොඩි ආගමික – සංස්කෘතික මික්ස් එකක් මචං. ඔන්න ඕක තේරුංගන්න බැරිවෙච්ච කොහේ හරි ඉඳපු සාහිත්‍යකාරයෙක් ගොතාපු කෙබරෙකට අහුවෙලා ඉන්නෙ. අනික මචං ඔය පෙරුම්පුරන සංකල්පය ආවෙත් ආගමික සාහිත්‍යක් හරහානෙ. එහෙම නැතුව ගෑණියෙක්ටයි ම්නිහෙක්ටයි එකට ඉන්න පෙරුම් පුරන්න ඕනෙද, මොකෝ ඔය එකට ඉන්න උන් සේරම පෙරුම් පුරපු උන්ද?

ඔය මෙලෝ සතෙකුට තේරුංගන්න බැරි සාහිත්‍ය ටෝක් සේරම ගෙනාවෙ සෙක්ස් කැතයි කියල හිතපු මිනිහ තමයි බං. ලස්සනට පාට කලාම වේලිච්ච බලුබෙට්ටක් උනත් සල්ලි දීල අරං යන මිනිස්සු ඉන්න සමාජයක ඕක ලේසියෙන් තේරුම් ගන්න ටිකක් අමාරුයි.

උඹ ඕව වෙන කාටවත් කියන්න එපා, අල්ලං ගොහිං දායි අංගොඩ… එතකොට නිර්ධා උඹෙ පස්සෙන් එන එකෙයි මේ උඹෙ කෙහෙල්මල් තියරියයි අතරෙ තියන සම්භන්දෙ මොකක්ද?

දැම්මම උඹ මට  පිස්ස කිව්වොත් කතාවෙ ඉතුරු ටික ඇහුඅම කියන්න දෙයක් නැතිවෙයි, ඒක නිසා පොඩ්ඩක් ඉවසල ඉඳිං නිර්ධට ඇප්ලයි වෙන්නෙ කොහමද කියල කියනකං.

හොඳට බලපන් ට්‍රිප් එක ආපු උන්ගැන කල්පනා කරල. ආපු එකොලොස් දෙනා අතරෙන් නිර්ධායි මායි විතරයි තනිකඩ උන්ට ඉන්නෙ.

ඇයි මිනිහො එතකොට මං ?

උඹට ඉන්නෙ කෙල්ලො දෙතුන්දෙනෙක් විතර.. අමතකද ?

ඒ එකෙක්වත් සීරියස් කරන ඒව නෙමෙයිනෙ බං, අනික උන් එකෙක්වත් මෙතන නෑ නෙ.

හරි. මම තව ටික වෙලාවකින් ඒකට උත්තර දෙන්නම්, දැන් අහපන්කො මම කියන්න හදන දේ.

නිර්ධා කියන්නෙ මාත් එක්ක අවුරුදු දෙකක් විතර එකට ක්ලාස් ආපු කෙල්ලක්. ඒ කාලය පුරාවටම මාත් එක්ක වචන දෙක තුනකට වඩා කතානොකරපු කෙනා උඹ අද කියනව මට කැමතීයි වගෙයි කියල. ඒක උඹ මට කියන්නෙ මේ කැලේ මැද කෑම්ප් එකට ආවට පස්සෙ. මට හොඳටම ෂුවර් උඹට මීට කලින්, ඒ කියන්නෙ කොළඹ ඉන්න කාලෙ එහෙම දෙයක් තේරුනේ නෑ, ඒ වගේම නිර්ධාට එහෙම අවශ්‍යතාවයකුත් ඇතිවෙලා තිබුනෙ නෑ කියල.

දැං උඹ මොකක්ද කියන්න හදන්නෙ … ?

අහගෙන ඉඳපන්කො. එතකොට තේරෙයි.

මම කියාගෙන ආවෙ සිවිලයිස් සොසයිටි එකේදි කිසිම උනන්දුවක් නොපෙන්නූ නිර්ධා එකපාරටම මේ කෑම්ප් එකේදි මම ගැන උනන්දු උනා කියලනෙ. උඹ දන්නවද ඇයි කියල ?

කියපන්කො බලන්න ?

ඉස්සෙල්ලම බලපන් නිර්ධා කියන්නෙ කවුද කියල, ඒකි හොඳ බර අත්තක්, පෙනුමෙත් කිසිම වැ‍රැද්දක් නෑ, ඉගනගන්න දක්ෂයි. කොටින්ම ඒකිට කොල්ලෙක් හොයාගන්න කිසිම කම්පිටිෂන් එකක් නෑ.  ඉතිං ඒකිට කිසිම කලබලයක් ඇත්තෙ නෑ කොල්ලෙක් හොයාගන්න, ඇති තරම් කාලය ගන්නව වැඩිපුරම හොඳ දේ පික් කරගන්න.

දැන් බලපන් අපි දැන් ඉන්නෙ කොහෙද කියල, සිංහරාජෙ ෆොරස්ට් කෑම්ප් එකක, ග‍ඟෙන් එගොඩ, හැතැප්ම දෙකක පයින් යන දුරෙන් මෙහා වාහනයක් නෑ මෙ ග‍ඟෙන් එගොඩ යන්න තියන බැරල් බෝට්‍ටුව ඇරෙන්න. සත්තු සර්පයො ඉන්න පුළුවන්, ඕනෙම වෙලවක අණතුරක් වෙන්න ඉඩකඩ වැඩියි.

ඉතිං ?

ඉතිං කියන්නෙ මචං, මේ කැලේ මැදදි නිර්ධට ආරක්ෂාව ඕනෙ, ‍රැකවරණය ඕනෙ. ඒ පෙළඹවීම කරන්නෙ නිර්ධාගෙ ජාන, සියවස් ගනනාවක් තිස්සෙ වර්ධනය වෙවී ආපු පැවැත්ම ‍රැකගන්න වලිකන ජාන. ඒක ලබාගන්න තියෙන්නෙ උඹෙන් හරි මගෙන් හරි එහෙමත් නැත්නම් අපේ ගයිඩ්ගෙන් හරි තමයි. මොකද මේ ගමන ආපු අනිත් උන් ඔක්කොම කපල්ස්.

ඒක තමයි මං කියන්නෙ, උඹේ තියරිය හරි නම් ඇයි ඒකි මට නැතුව උඹට ඇහැ දාන්නෙ?

උඹ කලින් කිව්වනෙ කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක සීරියස් නොවෙන රිලේෂන්ශිප් තියනව කියල.

ඔව් ඉතිං ?

නිර්ධාගෙ ජාන එයාව පොළඹවන්නෙ යන්න පුළුවන් හොඳම තේරීමට යන්න. උඹත් එක්ක ඒකිගෙ පැවැත්ම ස්ථාවර නෑ. එහෙම කෙනෙක් එක්ක නව ජානපරම්පරාවක් ආරම්භ කලොත් ඒවායේ පැවැත්ම පිළිබඳව ගැටළුවක් මතුවෙනව. ඒක නිසා නිර්ධා උඹට සමීප වෙන්නෙ නෑ. ඒ වගේම තමයි නිර්ධා ගයිඩ්ව නොදන්න නිසා ඌට සමීපවෙන්නෙත් නෑ. එතකොට ඉබේම නිර්ධාගෙ ජාන නිර්ධාව පොළඹවනව වඩාත්ම රිලයබල් ඔප්ෂන් එක ‍තෝරගන්න.

ඒ කියන්නෙ උඹ තමයි මෙතන නිර්ධට ඉන්න ගැලපෙනම එකා ?

ඔව්, මේ පරිසර සාධකත් එක්ක මාව ‍තෝරාගන්න තමයි නිර්ධාගෙ ජාන ඒකිව පොළඹවන්නෙ. හැබැයි සමහරවිට ඒ පෙළඹවීම තාවකාලික එකක් වෙන්නත් පුළුවන්, ආරක්ෂාවක් ලබාගන්න විතරක්ම වෙන්නත් පුළුවන්. ආයෙම කොළඹ ගියාම ඒකි කලින් හිටිය වගේම මාව නොදන්න ගානට ඉන්නත් ඉඩ තියනව. ඉතිං මං ඕකට ආදරේ කියල ටොම්පචයක් ඇප්ලයි කරගත්තොත් මට මොකක්වෙයි කියලද උඹ හිතන්නෙ ? පපුව පැලිල මැරිල යන්නත් බැරි නෑ.

මචං.. ඔන්න නිර්ධා මේ පැත්තට එනව.

අපි මේ කතාව දැනට නවත්තමු. ඇහුනොත් හොඳ නෑනෙ.

හෙහ් හෙහ්.. ඇයි කෝ උඹෙ මෙච්චර වෙලා කියාපු පඬි ටෝක්, මොකෝ උඹෙ ජාන කිව්වද කටපියාගෙන හි‍ටු කියල ?

ඒව කියන්න බෑ මස්සිනා…. අතට ආපු චාන්ස් එකට පයිං ගහල තව කොච්චර කාලය හූල්ලන්න වෙයිද කියල කවුද දන්නෙ. අනික මගේ ජානත් කැමති නැතෑ තව කාලයක් පවතින වැඩක් කරන්න.

 

Leave a Reply