ඔබ නැති තැන (පහ)

ඈ මගේ මර්මස්ථානය ඉලක්ක කරල බොහොම දරුණු පහරක් එල්ල කලා.

කොයි මොහොතක හරි ඈ ඔය ප්‍රශ්ණය අහයි කියල හිතාගෙන හිටියත් ඒක මේ වෙලාවෙ මෙහෙම වෙයි කියල කිසිම වෙලාවක හිතිල තිබුනෙ නෑ. අනික එහෙම ඇහුවොත් මෙන්න මෙහෙම කියනවා කියල හිතාගෙන හිටපු දේවල් සේරම ලත් තැනම ලොප් වෙලා ගිහිල්ල.

මම මොන උත්තරයක් දුන්නත් ඈ පරළ වෙන එක නවත්තන්න බෑ කියන වග අත්දැකීමෙන්ම දන්න නිසා කේන්තියෙන් පුපුරණ ඇගේ මූණ මගඇරල ඊට ඈතින් තියන වඳ පීදිච්ච කෙහල් පඳුර දිහා ඔහේ මම බලාගෙන හිටිය.

ෆ්‍රැන්සිස්ට කොච්චර කිව්වත් ඔය පඳුර උගුල්ලල දාන්න කියල ඒතනට හිටවන්න හොඳ වෙන පැලයක් හම්බුවෙනකල් කියල හැමදාම කරඇරිය.

මොකෝ ගල් ගිලලද?

ඈ මේ ගමන නම් ලේසියෙන් අතාරින්නෙ නැති පාටයි.

පිරිමි අපි කොච්චර නම් ලොකුවට හිතාගන හිටියත් මේ වගේ වෙලාවට ගලේ පැහැරූ බළල්ලු වගේ අසරණයි. කරකියාගන්න දෙයක් නැතුව තුෂ්ණිම්භූතවෙලා ඉන්නව ඇරෙන්න මෙලෝ මළදානයක් කල්පනාවට එන්නෙ නෑ.

ඔව්.. ඒවට උත්තර නෑ… ගල් ගිලල වගේ බලාගෙන ඉන්න විතරයි දන්නෙ.

ගේ අස්සට වෙලා හිටියට මමත් දන්නව යමක් කමක්.. හිතං ඇති නටන නාඩගම් මම නොදන්නව කියල.

රෙද්දක් ඇඳන් කතාකරන්න බැරිකමට හිටිය මිසක් මුල ඉඳලම මම දන්නව නටපු මඟුල් එක එක පරට්ටියොත් එක්ක…

මගේ නිහඬ කම ඈට උත්තර සපයල. ඈ වගේ සියුමැළි ගැහැණියක් ඇතුලේ කවදාවත්ම ඉන්න බැහැ කියල හිතන තරම් දරැණු යක්ෂණිය ධීර්ඝ ශිෂිර නිද්‍රාවකට පස්සේ එළියට ඇවිල්ලා මාව ගිලගන්න නිය පඳුරැ විහිදවනවා.

***********************************

සර්.. දැන් ටිකක් රෑත් වෙලා…

මම මෙච්චර වෙලා අත් දෙකේම අල්ලට මැදිකරල තදින් අල්ලගෙන නළලට හේත්තුකරන් ඉඳපු වීදුරුව පහත් කරල ෆ්‍රැන්සිස් ගෙ මූණ බැලුව

ෆ්‍රැන්සිස්.. ඉවරයිද…..?

මගෙ ටේබල් එකේ ඉඳල ටේබල් දෙකක් එහායින් ෆ්‍රැන්සිස් ඉඳපු සින්ගල් ටේබල් දිහා බලන ගමන් මම ඇහුව.

මම අහවර කරල දැන් සෑහෙන වෙලාවක් සර්. බලං ඉඳල බැරිම තැන තමයි සර්ට කතා කලේ.

හෙහ් හෙහ් හෙහ්.. ඒක නේන්නං. මට වෙලාව ගැන හාංකවීසියක් කල්පනාවට ආවෙනෑ නෙ…

සර්ට තව ඉන්න ඕනෙ නම් අපි ඉඳල යමු…

නෑ… දැං අපි යමු ෆ්‍රැන්සිස්… අපි යමු. නෝනාත් බලාගෙන ඇති. මම ෆ්‍රැන්සිස්ගෙ අතින් අල්ලගෙන නැගිට්ට.

Leave a Reply