ඔබ ලබන්න කැමති ආදරය විතරමද? එහෙනම් පුටු කකුලක් හොයාගන්න.

ඔබ ආදරය ලබන්න කැමතිද?

උත්තරය “ඔව්” නම් අයිතිකරගන්න හදන්න එපා !!

තවත් මනුෂ්‍ය ප්‍රාණියෙක් ඔබට කිසිම මොහොතක අයිතිකරගන්න බෑ. පු‍ටුවක්, මේසයක්, වාහනයක් අයිතිකරගන්න පුළුවන්. ඒත් පණ ඇති, මැරි මැරී ඉපදෙන සිතුවිලි පරම්පරාවන් තියෙන ප්‍රාණියෙක් බෑ කොහොමවත්ම ඔබට අයිතිකරගන්න. තමන්ගේ කියල කියන්න. අඩුම තරමෙ ගෙදර ආදරේට කියල හිතාගෙන ඇතිකරන බල්ලෙක්, පූසෙක්වත් බෑ කිසිවෙකුට අයිතිකරගන්න. නීතියෙන් අයිති උනත් සිතුවිලි වලින් අයිති නෑ.

දෙමව්පියන්ට දරුවො වත්, දරුවොන්ට දෙමව්පියන් වත්, සැමියට බිරිඳවත්, බිරිඳට සැමිය වත් කිසිසේත්ම අයිති නෑ. කිසිම විටක ආදරය, අයිතිය කියල පටලවාගන්න එපා.

ඔබ හිතනවනම් යමෙක් ඔබට අයිතියි කියල, එතන ඉඳල ඔබ ඉන්නෙ ලොකු අසතුටකින්. ඔබට යමෙක් අයිතිනම් ඉබේම ඔබ ස්වාමියා හා අනෙකා සේවකයා වෙනව. යමෙකු කෙරෙහි ආධිපත්‍ය පතුරවන්නනම් ස්වාමියා සෑම විටෙකම නිවැරදි වෙන්න ඕනෙ. ඔබ යටි හිතින් හිතනව මම ම තමයි හරි. මගේ මතයම විතරයි ක්‍රියාත්මක වෙන්න ඕන කියල. ඒ ස්ථාවරයේ ඉඳල තමයි ඔබගේ යටත් වැසියා ගැන හිතන්නෙ. එහෙම උනාම ඔබ බලාපොරොත්තු  වෙනව ඔබේ සිතුවිලි හැසිරෙන විදියටම අනිකාගේ සිතුවිලිත් හැසිරෙයි කියල. ඇත්තටම එහෙම  එහෙම වෙනවනම්  එතන කිසිම හිත් රිදවීමක් නෑ, ගැ‍ටුමක් නෑ. ඒත් අවාසනාවකට යථාර්ථය ඒක නෙමෙයි.

යමෙක් යමෙකුට අයිතියි නම් කෙනෙක් සෑම විටම අනෙකාට කොන්දේසි විරහිතව එකඟ වෙන්න ඕනෙ. කොන්දේසි විරහිතව යටත් වෙන්න ඕනෙ. හරියට පු‍ටුවක් වගේ. ඕනෙ වෙලාවට වාඩිවෙන්න පාවිච්චි කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් උඩක තියෙන දෙයකට ලං වෙන්න ආධාරකයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් එහමත් නැත්නම් පලල ලිපට දාන්න පුලුවන්. ඒ, පු‍ටුව කිසිම ක්‍රියාවකට ප්‍රතිචාර නොදක්වන නිසා. ඒක නිසාම ඔබට පු‍ටුවත් සමඟ කිසිම හිත් රිදවීමක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒත් ප්‍රාණියෙක් එක්ක එහෙම බෑ. අනන්තවත් එකඟ නොවීම්, පුංචි පුංචි විප්ලව, අරල, මත ගැ‍ටුම් අනන්තයි.

ඔබ ජීවත් වෙන්නෙ ඔබේ දෙමව්පියන්ට, සැමියාට, බිරිඳට උවමනා විදියටද? උත්තරය යම්තාක් දුරකට “ඔව්”, සහ යම්තාක් දුරකට “නෑ”

“ඔව්” කියන කොටසේදි ඔබ යටත්. “නෑ” කියන කොටසේදි ඔබ ස්වාධීනයි.

සමහර වෙලාවට ඔබ “ඔව්” කියන කොටසේදි ඉන්නෙ හිතේ පූර්ණ එකඟතාවය මත නෙවෙයි. ප්‍රීතියෙන්, සන්තෝසයෙන් නෙමෙයි. නමුත් කලාතුරකින් හෝ ඔබේ චිත්තාවේගත් ඔබව අයිතිකරහන්නාගෙ චිත්තාවේගත් එක්ක එකට සමපාත වෙනවනම් ඔබට සතුටෙන් ඉන්න පුළුවන්. ඒත් ඒ බොහොම කළාතුරකින්.

“නෑ” කියන කොටසේදී, ඒ කියන්නෙ ඔබ ස්වාධීන අවස්ථාවේ බාහිරෙන් බැළුවොත් ඔබ සතුටින්, ඒ කියන්නෙ ඔබව ක්‍රියාත්මක කරන්නෙ, ඔබ ක්‍රියාත්මක වෙන්නෙ ඔබේම සිතුවිලි මත. තමන්ට කැමති දේ කරන්න තියෙනකොට හැමෝම සතුටින්. ඒත් පුංචි ගැටළුවක්. ඔබේ ස්වාධීන අදහස් නිසා ඔබ යුගලයේ අනිකාට, (දෙමව්පියන්, සහකරු හෝ සහකාරිය, ඇතැම් විට දරුවන්) මානසික හෝ කායික පීඩාවක් වෙනව කියල ඔබට යම් අවස්ථාවක වැටහුනොත් ඒ මොහොතේ ඉඳල ඔබ අසතුටෙන්. ඒත් එහෙම වෙන්නෙ ඔබේ හිත අනෙකාගේ සිතුවිලි තේරුම් ගන්න තරං මෘදු විවෘත නම් විතරයි, එහෙම නැත්නං අනෙකා වේදනාවෙන් පීඩිතව ඉන්නකොටත් ඔබට සතුටින් ඉන්න පුළුවන්. ඒක ඔබට සාපේක්ෂව නොවුනත් අනෙකාට සාපේක්ෂව මහ කාලකණ්නි සතුටක්.

නීති දණ්ඩන පනවල යමෙක් යටත්කරගන්න පුළුවන් උනාට ආදරේ දිනාගන්න බෑ. සුළු කාලයකට නීති දාල බලපෑම් කරල යමෙක් ඔබ වෙත රඳවගන්න පුළුවන් වෙයි, ඒත් ඒ අනිකාට තමන්ගෙ චිත්ත පීඩාව දරාගන්න පුලුවන් වෙනකන් විතරයි. දවසක් එනව ඔබේ බැමි පුපුරවල දාන්න තරම් විභව ශක්තියක් ඔබේ ක්‍රියාකාරකම් තුලින් ඔබ නොදැනුවත්වම  ඔබ විසින්ම අනෙකා තුල ඇතිකරල. එදාට ඔබට ශක්තියක් නෑ එයට එරෙහිව නැඟී සිටින්න. ඔබ අසරණයි.

දැං ඒකට මොකද කරන්නෙ අපි ?.

අපි හැමෝම, ඒ කියන්නෙ යුගලයම එකිනෙකාට පූර්ණ නිදගසක්, කොන්දේසි විරහිත නිදහසක් දුන්නොත්, අනිකාව අයිති කරගන්න උත්සාහ නොකලොත් මං හිතන්නෙ පුළුවන්. වරදවා තේරුම් ගන්න එපා, මම මේ කියන්නෙ කුඩු ගහන එකාට කුඩු ගහන්නත් බඩු ගහන එකාට බඩු ගහන්නත් නිදහස දෙන්න කියන එක වගේ ප්‍රාථමික කාරනාවක් වත් තනි තනි ඒකක වශයෙන් වෙන්කරල අරන් විශ්ලෙෂනය කරන්න පුළුවන් කාරනාවක් වත් නෙමෙයි. සමස්ථ ඒකකයම එකක් කියල සලකල තේරුම්ගන්න උත්සාහ කරන්න ඕන.

ඒත් ඒක මේ කියනව වගේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ, තව කෙනෙක් කෙරෙහි තමන්ගේ ආධිපත්‍ය යොදවා තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීම මිනිස් ස්වභාවය නිසා. කොයි මොහොතක හරි ඒ ආධිපත්‍ය බිඳවැ‍ටුනම තමන් විශේෂ පුද්ගලයෙක්, වැදගත් පුද්ගලයෙක් කියල හිතේ මෙච්චරකල් ගොඩනගා ගත්තු අභිමානය බිඳවැටෙනව. ඒක පොඩ්ඩක් නෙමෙයි සෑහෙන්න දරාගන්න අමාරු හැඟීමක්. මේ ලියන මටත් ඒක එහෙම්මම පොදු කාරණාවක් ඒත් මං හැම තිස්සෙම උත්සාහ කරනව.

අපි එකිනෙකාට පුළුවන් විදියට සුළු වශයෙන් හෝ නිදහසක් දෙන්න පුළුවන් නම්, අනිකා මත යොදවන බලපෑම අවම කරන්න පුලුවන් නම්, අනිකාගේ සපත්තු දෙක දාගෙන ඇවිදින්න පුළුවන් නම්, අනිකා වෙනුවෙන් ඔබට හිතන්න පුළුවන් නම් එදාට ඒ සම්භන්ධකම් අදට වඩා ලස්සන වෙයි, සුන්දර වෙයි.

අමතක කරන්න එපා; කිසිම කෙනෙක් ප්‍රශ්ණයකට ආදරේ කරන්න කැමති නෑ. ඒක නිසා ඔබ කිසි විටෙක අනෙකාට ප්‍රශ්ණයක් වෙන්න එපා. එහෙම ප්‍රශ්ණයක් වෙලා ආපහු ආදරයක්, ‍රැකවරණයක් බලාපොරොත්තු වෙන්නත් එපා !

මේ ලියාපු දේවල් කියවල තමන්ගේ අනිකා එක්ක යුද්ධ ප්‍රකාශ කරන්න යන්න එපා. බලහත්කාරයෙන් ලබාගන්න නිදහස තාවකාලිකයි. එහෙම උනොත් හැම තිස්සෙම කොයි මොහොතකහරි යටත් කරගැනීමට එන බලපෑමකට බයෙන් තමයි ජීවත් වෙන්න වෙන්නෙ. හැකි අයුරකින්, පැවැත්මට හානියක් නොවෙන විදියට ඔබේ අනිකාට නිදහස දෙන්න, අළුතෙන් තවත් කෙනෙක්ව අයිතිකරගන්න උත්සාහ නොකර ඉන්න. මතක තියාගන්න අයිතිකරගැනීම කියන්නෙයි සහයෝගයෙන් එකට ජීවත් වීමයි කියන්නෙ දෙකක්.

ඔබේ අනෙකාට නිදහසේ පියාඹන්න දෙන්න කුරුල්ලෙක් වගේ. එහෙම උනාම කොයිම මොහොතකවත් ඇස් මායිමෙන් එහාට පියාඹන එකක් නෑ. පියෑඹුවත් හිටියටත් වඩා ආදරයක් අරන් ආපහු එයි. වැරදිලාවත් ආපහු නො එන්නම ඈතට පියෑඹුවත් ඒක ඔබගේ මෙන්ම අනිකාගේත් දීර්ඝකාලීන සතුටට හේතුවක් වෙයි එසැනකින් දුකක් හිතට ආවත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *