කංකුණාපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි

සමාන්තර විශ්වයක එක්තරා රටක් තියෙනවලු. ඒ රටේ තියෙනවලු අවුරුදු ගාණක් තිස්සේ ඒ රටේ ජීවත් වුන ජනකොටසක් තුල මුල් බැසගත්ත දහමක්. මේක එසේ මෙසේ දහමක් නෙමේලු. ශාක පැළටි දිහා අවිහිංසාවෙන් බලන්න උගන්වන පාරිසරික දහමක්ලු. ඒ රටේ ජීවත් වෙච්චි මිනිස්සු ඒ දහමට කියන්නේ

“කංකුන් දහම”.. කියලලු

මේ දහමේ ඉගැන්වෙන විදියට කංකුන් වැවීම සහ කංකුන් කැපීම කියන්නේ මනුස්සයෙක්ට කරන්න පුලුවන් නරකම වැඩක්ලු. කොටින්ම මැරුනයින් පස්සේ මහා දුක් වේදනාවන් වලට මූණපාන්න සිද්ධ වෙන විදියේ බරපතල වැරැද්දක්ලු.

දැන් සීන් එක එහෙම වුනාට සමාන්තර විශ්වයක තියෙන මේ රටේ බොහෝමයක් මිනිස්සු කංකුන් කනවලු. උයලා කනවලු, තෙල්දාලා කනවලු, උදේට කනවලු, දවල්ට කනවලු, රෑට කනවලු, අරක්කු බොද්දි බයිට් එකට ගන්නවලු (අර අහවල් දහමට අනුව බොන එකත් නරක දෙයක් වුනාට මෙතනට අදාල නැති නිසා ඒ කාරණාව මෙන්ෂන් කරන්නෙ නෑ).. කොටින්ම කංකුන් නොකන ජීවිතයක් ගැන හිතන්නවත් බැරි තරමටම කංකුන් කනවලු. ඒ මිනිස්සු ඒ තරම්ම කංකුන් රසට වහ වැටිලාලු ඉන්නෙ. කංකුන් පෝෂ්‍යයදායි ආහාරයක් නිසා කංකුන් නැතුව බෑ බෑ කිය කිය කංකුන්ම කනවලු.

ඔය මිනිස්සු කංකුන් කන අතරේ අර කලින් කිව්ව පාරිසරික දහමෙන් ඔලුව කුරුවල් කරගත්තෙ නැති මිනිස්සු අහනවලු මෙහෙම ප්‍රශ්නයක්..

“යකුනේ, තොපි කංකුන් වවන්න එපා.. කපන්න එපා.. ඒක හරි නරකායි කිය කිය කංකුන්මනේ කන්නේ? මොකක්ද ඒකෙ තේරුම අපිට තේරෙන්නෑනේ.. කංකුන් නොකා හිටියොත් කංකුන් වවන උන්, කපන උන් කංකුන් වවන්නේ කපන්නේ නෑනේ”..කියල.

ඔහොම ඇහැව්වාම අර පාරිසරික දහමෙන් ඔලුව කුරුවල් කරගත්තු සෙට් එක කියනවලු

“අයියෝ ඕකවත් තේරෙන්නැද්ද අනේ..? අපි කංකුන් කෑවට අපි කන්නේ කඩේ තියෙන ඒවානේ.. අපි වෙනුවෙන් වැව්ව කංකුන්වත් අපි වෙනුවෙන් කැපුව කංකුන්වත් නෙමේ නේ.. උන් වවන නිසානේ අපි කන්නේ..ඔය දැනටමත් වවල, කපල වෙලඳපොලේ තට්ටුවල තියෙන කංකුන් ඉතින් දැනටමත් වගා කරල ඉවරයිනේ, ඉතින් අපි ඕක ගත්ත නොගත්ත කියල අලුතින් ඒ කංකු වලට වෙන්න දෙයන් නෑනෙ.. මා වෙනුවෙන් නොකැපූ නොවැවූ කංකුන් කෑවට කමක් නෑ කියලනේ අනේ තියෙන්නේ..” කියල.

දැන් මේක මාරම හරුපයක් කියල ඔය පාරිසරික සෙට් එකට නොතේරුනාට මොළේ කළඳක් හරි තියෙන ඕනම ගොනෙක්ට තේරෙනවලු. සරලවම කියනව නම්..

මිනිස්සු කංකුං පරිබෝජනය කරන නිසානෙ කංකුං වලට මාකට් එකක් හැදිලා ඉල්ලුමට සරිලන සැපයුමක් හැදිල තියෙන්නෙ. ගොවියා කංකුං වවන්නෙ ඒවා විකුනන්න පුලුවන් බව දන්න නිසානෙ. කංකුං පරිබෝජනය කරන කට්ටිය තව වැඩි උනොත්, තව තව ගොවියෝ වැඩි වැඩියෙන් කංකුං වවන්න පෙලඹෙනවානෙ. කංකුං පරිබෝජනය කරන කට්ටිය අඩු උනොත්, විකුනාගන්න අමාරු නිසා ගොවීන් කංකුං වවන එක අඩු කරනවානෙ. ඒ කියන්නෙ කංකුං මාකට් එක පාලණය කිරීම සම්පූර්නයෙන් තියෙන්නෙ පාරිභෝගිකයාගෙ අතේනෙ. එක එක පුද්ගලයා හරි, ටික ටික කංකුං පරිබෝජනයෙන් ඉවත් වෙනවා නම්, ටික ටික කංකුං වැවීම අඩුවෙනවානෙ.

කවුරුවත් කංකුං මාලුවක් කන්න හිතුනාම කංකුං ගොවියා මුනගැහිල කංකුන් ඕඩරයක් දාලා කංකුන් වැවෙනකන් ඉන්නෙ නෑනෙ. කඩේට ගිහිල්ලා කඩේ ඒ වෙලාවෙ තියෙන “දැනටමත් වවල, කපල” තියෙන ඒවා තමයිනෙ ගන්නෙ. එහෙම ගන්න අයගෙන් තමයි කංකුං මාකට් එක හැදෙන්නෙ.

ඕකනේ කතාව.

දැන් සීන්ස් එක එහෙම වුනාට ඔය රටේ මිනිස්සුන්ට තේරෙන්නෑලු කංකුං වැවීම කියන්නෙ ගොවියෙකුට කරන්න පුලුවන් නරකම වැඩක් නම්; කවුරු උනත් කංකුං වැවීම අවුල් කියල හිතනවා නම්; ආර්ථික හේතු නිසා මිනිසුන් කංකුං වැවීමට පොලඹවන කංකුං මාකට් එක නැති කරන්න, හෝ අඩු කරන්න ඔබට කරන්න පුලුවන් සුලුම දේ තමන්ගේ පෞද්ගලික කංකුං පරිබෝජනය නැවැත්වීම හෝ අඩු කිරීම කියල. ඒ සුලුම දේ වත් නොකර, කංකුං වැවීම නිසා පරිසරයට වෙන හානි, හා ගොවීන් කංකුං වැවීම කොච්චර වැරදි වැඩක්ද, වගේ පාරිසරික ටෝක් ඉෂු කිරීම පට්ටම මෝල් ගොන් විහිලුවක් කියල.

ඔය සරල හේතු-පල සම්බන්ධය තේරුම් ගන්න බැරුව ඉන්න සමාන්තර විශ්වයක තියෙන ඒ රටේ මිනිස්සු කලින් කිව්ව අර පාරිසරික දහමේම තියෙන මාරම ගැඹුරු හේතු-පල සීන් ගැන දාර ටෝක් ඉෂූ කරනවලු. ඒවායේ ගැඹුර ගැන සෙට් වෙලා සාකච්ඡා කරනවලු. ඒ වගේ ගැඹුරු සීන්ස් තියෙන දහමක් තමාට තියෙන එක ගැන මාරම ප්‍රවුඩ් වෙනවලු.

ඔය නරිනාටක බලන් ඉන්න ඔය රටේම ඉන්න මොළේ කුරුවල් නොවිච්චි මිනිස්සුන්ට මේ සීන්ස් දැකලා පශ්චාත්භාගයෙන්ම හොඳටම හිනාලු.

පෝස්ට් එක ඉවරයිලු.
කියෙව්වට ස්තූතියිලු.
.
.
.
.
.
– මුල් අදහස වන් ඇන්ඩ් ඔන්ලි Ritigala Jayasena ගේය. අදහසේ සිරා බව නිසාම එහෙන් මෙහෙන් එඩිට් පාරක් දමා මගේ වගේ පළකලෙමි.

Leave a Reply