කලාකරුවා නම් වූ යාචකයා

“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු”

ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි.

“අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ මුදලට නෙමේ, කලාව විකුණලා බඩගෝස්තරය රැකගන්න හදන මිනිස්සු නෙමේ අපි”

ඒ කලාව ගැන කතා කරද්දි ඔවුන් කියන කතාය.

බහුතරයක් කලාකරුවන් තමාව හඳුන්වාගන්න කැමති එසේය. සමාජය ඉදිරියේ තමාගේ ප්‍රතිරූපය හෙවත් තමාගේ ඉමේජ් එක හදාගන්න කැමති එසේය.

ඔවුන්ගේ කැමැත්ත තමන් සමාන්‍යයන්ගෙන් වෙනස් අමුතුම මිනිස්සුන් කණ්ඩායමක් විදියට හඳුන්වා ගැනීමටය. තමාගේ වෘතිය සමාජයේ අනිත් මිනිස්සුන්ගේ වෘතීන්ගෙන් වෙනස්, වෙනම තලයක වෘතියක් විදියට හඳුන්වා ගැනීමටය.

ඒහෙත් බොහෝ වෙලාවට ඔවුන් හදාගන්නට හදන ඔය ‘අමුතු’ ස්ටේටස් එක ඇතුළේ ඇත්තේ ව්‍යාජතවයක් මිසක යථාර්තයක් නොවේ.

කලාකරුවා කියන සංවේදී අමුතු මනුස්සයා රකින ඒ තත්වය හෙවත් ස්ටෑන්ඩර්ඩ් එකට කෙළවෙලා යන්නේ, ඔහුත් අනිත් මිනිසුන් සේම මුදලට වැඩ කරන කෙනෙක් කියන යථාර්තය පිළිගන්න සිද්ධ වුවහොත්ය.

කලාකරුවා යනු ඔබ අප වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන, අපේම සමාජයේ ජීවත් වෙන, අපිටම තියෙන අවශ්‍යතා තියෙන, දවස ගානේ අපිම මූණ දෙන ප්‍රශ්න වලට මූණ දෙන, අපි වගේම නිකම්ම නිකන් මනුස්සයෙක් යන යථාර්තය කලාකරුවා සඟවන්නට තනන්නේ එබැවිනි.

කලාකරුවා නම් සංවේදී මිනිසා යන බෝඩ් ලෑල්ල පිටුපස සැඟව ඇති අමිහිරි යථාර්තය එයයි.

තමන්වම සහ සමාජයම රවට්ටගන්නා කලාකාරයො බොහෝමයක් දෙනා පත්වෙලා තියෙන තත්වය මොනවගේද?

ඔවුන් බොහෝමයක් දෙනා ජීවිතේ අන්තිම කාලය ගත කරන්නේ අතේ පිච්චියක් නැති හිඟන්නො බවට පත් වී තමා කල ‘සේවය’ වෙනුවෙන් සමාජයෙන් හිඟමන් යදිමිනි.

ඔවුන්ට ඒ ඉරණමට මූණ දෙන්න වන්නේ තමාගේ හැකියාවට නිසි මිලක් නියම කරගන්න හැටි නොදැන, තමාට හැකි කාලයේ උපයන මුදල් නිසි ලෙස කලමණාකරනය කරන්නෙ නැතිව නැති නාස්ති කරගත්ත නිසා මිසක, ඔවුන් මුදලට තමාගේ හැකියාවන් විකුණන එක ප්‍රතික්ෂේප කරපු උතුම් මිනිස්සු නිසා නොවේ.

මේ ප්‍රවණතාවයේ වෙනසක් දකින්න හැක, වර්තමානයේදී. අතීතයට සාපේක්ෂව.

උදාහරණයකට භාතිය සන්තුෂ් ගමු. දශකයකට වැඩි කාලයක් පුරා එකම තත්වයෙන් ඔවුන් තමාගේ ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් රඳවාගෙන ඉන්නේ ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවට වගේම ඔවුන්ගේ සාර්ථක කලමණාකරනය නිසාය. සරලවම කියනව නම් ඔවුන් හොඳ කලාකරුවන්ට අමතරව හොඳ බිස්නස්කාරයන් වීම නිසාය. (මේ කතා කරන්නේ මාර්කට් එක හරියට කියවලා වැඩ කරපු විදියේ කළු සුදු බව ගැන නොවේ, භාතිය සන්තුෂ්ව අතීත කලාකාරයන්ට සමාන කරනවත් නොවේ)

‘කලාකරුවා’ යනු තවත් එක් වෘතියක් මිසක පූජ්‍ය පක්ෂය මෙන් සමාජයෙන් නඩත්තු කල යුතු පිරිසක් නොවේ. කලාකරුවාට වගේම කලා නිර්මාණයකට පැහැදිළිවම මිලක් තිබේ. එය සැවොම දන්නා කතාවක්, ඔය යථාර්තය කොළේ වහල යටගහන්න හදන්නේ කලාකරුවාම මිසක වෙන කවුරුත් නොවේ.

ඒ යථාර්තය අපි පිළිගත යුතුය. ඒ යථාර්තය කලාකරුවා පිළිගන්න යුතුය.

තමා කරන්නේ “සේවයක්ය” කියන බේගලේ පැත්තකින් තබා තමා කලමණාකරනය කරගන්න තමා වගකීම කලාකරුවා ගත යුතුය

තමාගේ වෘතිය, වෘතියක් විදියට පිළිඅරගෙන, එය මනා සැලසුමක් තියාගෙන හරියට කලමණාකරනය කරගන්න සමත් වුන දවසට කලාකරුවාට මේ සමාජයේ පැවත්මක් තිබෙනු ඇත.

ඒ වගකීම අරන්, ඒ අනුව වැඩ කරන්න ගතහොත්, කලාකරුවා කියන කෙනාට මීට වඩා ගෞරවාන්විත තැනක් සමාජයේ හිමිවනු ඇත.

එහෙම දවසකදි ජීවිතයේ අන්තිම කාලයේදී සමාජයෙන් හිඟා නොකා ගෞරවයෙන් හිස කෙළින් තියාගෙන අවසන් ගමන් යන්න පුළුවන් වනු ඇත.

Leave a Reply