ක්ලියයෝපැට්‍රා සූර පප්පා සහ ඉරාජ් අයියා

පහුගිය දොහේ ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ කතාකළේ ක්ලියෝපැට්‍රා ගැනය. හදිස්සියේම ක්ලියයෝපැට්‍රා උඩ ආවේ කොහෙන්දැයි කියා කල්පනා කරද්දී මං දැනගත්තේ ඉරාජ් අයියාගේ අළුත් සින්දුවේ නම ක්ලියෝපැට්‍රා බවයි.

මං ඉතින් යූ ටියුබ් එකේ එකේ වීඩියෝ එකක් බලන්නේ ශ්‍රී ලංකාව ක්‍රිකට් මැච් එකක් දිනන්නා වගේ කලාතුරකින්ය. ඒ නිසා ඉරාජ් අයියා ක්ලියෝපැට්‍රා බැරිනම් ඈ හෙවත් අයේෂාව දමා වීඩියෝ එකක් හැදුවත් ඩේටා කපාගෙන ඒක බලන්නට තරම් රුදාවක් මට නැත.

අනික ඉතින් බුකිය දෙතුන් පාරක් උඩට පහළට ගියා කියන්නේ වීඩියෝ එක බැලුවා හා සමානය. ඔය අතරේ බුකියේ සමහර උන් කියන්නේ ඉරාජ් අයියාගේ සින්දුවෙන් සමාජයට ඉගෙනගන්නට ගොඩා…..ක් දේවල් තිබෙන බවයි.

ඕවා දකිදී මට සිතෙන්නේ මං අර ‘ළැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ළඳුනේ…’ වගේ සින්දු අසා නොතිබුණානම් මටත් මටත් ඕවා පිළිගන්නට හැකියාව තිබූ බවයි. එවුනාට ඉතින් කරන්නට දෙයක් නැත. මං එවැනි සින්දුත් අසා ඇත.

පොඩිකාලේ මම වටින් ගොඩින් ක්ලියෝපැට්‍රා ගැන ඇහුවා මතකය. එවුනාට ඒ කාලේ මං හිතන් හිටියේ ක්ලියෝපැට්‍රා යනු බර කිරන මෙව්වා එකක් වන්නට ඇති කියායි. මොකද ඒ කාලයේ මට ඒ වචනය ඇහුනේ ක්ලියෝපැට්‍රා නොව ‘කිලෝ පැට්ටා’ කියාය…. පස්සෙ කාලෙක ක්ලියෝපැට්‍රා යනු නටන කොටියෙකුත් එක්ක කිරිවලින් පුරවපු තටාකෙක නාන, නහය දිග අක්කා කෙනෙක් බව මා දැනගත්තෙ සූර පප්පාට පිං සිද්ධ වන්නටය.

සිංහල හඬකවපු කාටූන් කොච්චර බලා ඇතත් ඒ ඔක්කොම අතරින් සුපිරිම එක සූර පප්පායි. කතාවේ හැටියට ක්ලියෝපැට්‍රා අක්කා සීසර් අයියා, අපෙ අයියා සමඟ ඔට්ටුවක් අල්ලන්නේ මාස තුනකින්ද කොහෙද මාළිගාවක් හදන්නටය. ඊට පස්සේ ක්ලියෝපැට්‍රා අක්කා මාළිගාවේ කොන්තරාත්තුව මකබාස්ට බාරදෙයි. මකබාස් ගිහින් වෙද පප්පා, ජිම් පප්පා, සූර පප්පා සහ චූටි කුකූගෙන් මේකට උදව් ඉල්ලා ඊජිප්තුවට එක්කන් යයි.

වෙද පප්පාගේ අරිශ්ටෙ බී කම්කරුවෝ ටික තිසර පෙරේරා කැච් අල්ලන්නා සේ ගල් උඩ දම දමා මාළිගාව හදයි. ඊටපස්සේ නිකංබාස් කාරයා ඇවිත් කම්කරුවන් එක්ක මොන මොනවදෝ කුමන්ත්‍රණයක් කරයි. පස්සෙ කම්කරුවෝ ටික ‘අපි යන්නේ කොයි පාරේ , නිකංබාස් ගිය පාරේ කියා’ යන්නට යයි. ඊටත් පස්සෙ නිකංබාස් කාරයා මිනී ඔළුවකුයි, කටුස්සෙකුයි, පොළඟගෙ දළකුයි, නාගයෙකුයි, රස වෙන්නට රටඉඳි ටිකකුයි… නෑ නෑ නාරං බික් තුනකුයි දමා ‘දෙන්නම් මං අද පප්පලට, රැජිනට යවනවා කේක් එක…’ කියමින් කේක් එකකුත් හදයි. තව මුහුදු මංකොල්ලකාරයොයි, පිරමීඩයක් ඇතුළෙ අතරමංවෙන සීන් ගොඩකුයි අස්සෙ මාළිගාව හදා ක්ලියෝපැට්‍රා අක්කා ඔට්ටුව දිනයි. අපි ඉතින් කට ඇරන් ඕක දිහා බලන් ඉදියි….

සූර පප්පා (ඇස්ටෙරිx) කතා මාලාව මුලින්ම නිකුත් වන්නේ 1959 වසරේ ‘ෆ්‍රැන්කො-බෙල්ජියන් කොමික්ස්’ නම් සඟරාවේය. සූර පප්පා කතාව ලියන්නේ රෙනේ ගොසිනි (හරිද මන්දා…?) කියා ඩයල් එකකි. ඒකෙ චිත්‍ර අදින්නෙ ඇල්බර්ට් උඩර්සෝ කියා ඩයල් එකකි. උඩර්සෝ විසින් මුලින්ම සූර පප්පාගේ රූපය අදින්නේ හැඩි දැඩි සිරුරක් ඇති යුධ වීරයෙක් ලෙසටය. එවුනාට කතාව ලියපු ගොසිනිට ඕනැ වෙන්නේ සිරුරු ප්‍රමාණයෙන් කුඩා, ශක්තියට වඩා නුවණ තිබෙන වීරයෙකි. එනිසා උඩර්සෝ සූර පප්පාගේ රූපය නැවත් නිර්මාණය කර දැන් තිබෙන තත්වයට ගෙනෙයි. 1977 දී ගොසිනි මියයන අතර එතැන් පටන් උඩර්සෝ තනිවම සූර පප්පා කතා නිර්මාණය කරයි. පසු කලෙක ඒ කතාවලින් කාටූන් චිත්‍රපටිද හැදිණි. ඊට පස්සෙ සිරසෙන් ඒ කාටූන් සිංහල හඬකවා අපට පෙන්නුවේය. මොනවා උනත් සිංහල හඬකවපු සූර පප්පා බලලා ගන්න ආතල් එක ඉංග්‍රීසි කතාව බලා ගන්නට බැරිය. මොකද කියනවානම් මට ඉංග්‍රීසි තේරෙන්නේ නැත.

මොනදේ උනත් මැරෙන්ඩ විනාඩියකට කලිනුත් මතක්කර සිනහවෙන්නට තරම් දේවල් සූර පප්පා අපට ඉතිරි කර ගියේය. සීසර් එංගලන්තයට යන්නේ සුද්දගෙ රට යටත් කරගන්නටය. එවුනාට සුද්දො ඉරිදට යුද්ධ කරන්නේ නැති අතර ඔවුන් ඉරිදාට ක්‍රිකට් ගසති. ඔය අතරේ තවත් සමහර උන් රග්බි ගසති. එතකොට ජිම් පප්පා යෝජනා කරන්නේ රග්බිවල ඔක්කොම එක බෝලෙට පොරකන නිසා හැමෝටම බෝලය ගානේ බෙදාදිය යුතු බවයි. එවුනාට පීතර අයියානම් කියන්නේ එය ප්‍රශ්නයක් නෑ ගැටළුවක් කරගන්නට එපා කියායි. කොහොම උනත් රෝමන් කාරයෝනම් සුද්දාගෙ රටට ගිය එකට එතරම් කැමති නැත. එක්තැනක රෝමන් කාරයෙක් “සුද්දගෙ රටට ආවා ආවමයි කටට රහට කෑමක් කෑවෙ නෑ…. ඊයෙ මං බුලත් විටක් ගත්තා.ඒකෙ බුලතුත් නෑ, පුවකුත් නෑ…. ඔතලා තිබ්බ කොලේ විතරයි….” කියා කියන්නේ ඒ නිසාය. හැබැයි ඔවුන් යුදධෙට යන්නේ නම් “හුරේ….” කියාගෙනය. එතකොට සීසර් ලොක්කා කියන්නේ “හුරේ කියනකොට හිමින් කියනවලා….. මේ අස්සයා කුලප්පු වෙනවා….” කියායි.

ඔය අතරේ ජිම් පප්පාගේ හිතේ මල්කුමාරි ගැන ආදරයක් ඇතිවී ඔහු මල්කුමාරිට තෑගි දෙන්නට දඩාර සයිස් කළු ගලක් උස්සන් යයි. ඒක දැක ලොකු පප්පා කියන්නේ “වැඩක් නෑ ජිම් පප්පෙ…. ඔන්න ඕක අතඇරලා දාන්න……” කියාය. එතකොට ලොකු පප්පාගේ සේවකයෝ දෙන්නා ලොකු පප්පා නැග සිටින තැටිය බිමට අතැර දමයි….. ඔය අස්සේ “වෙළඳ පොළේ ඇවිදින්න….. මිළ ගණන් සසදන්න…. බඩාගෙන් වහල්ලු මිළදී ගන්න….” කියා වහල් වෙළෙන්දෙක් මල් කුමාරිවයි, කුමාරයාවයි උස්සන් යයි. මල්කුමාරිව බේරගන්නට සූර පප්පා හා ජිම් පප්පා හමුදාවට බැදෙන්නට යන අතර එතැන මේවගේ දෙබසක් තිබ්බා මතකය.

“නම මොකක්ද…..?”

“මගෙ නම බුරම්පි සිඤ්ඤොං ඤොං ඤොං….”

“සිඤ්ඤො කියලා ලියද්දි මොන ඤයන්නද …?”

“සිඤ්ඤො බැයිනම් අප්පු කියලා ලියාගන්නවා…..”

ඊටත් පස්සේ හංදියෙ මාළු කඩේ හර්කියුලිස් කළා වගේ වැඩ දොළහක් කරන්නට ගොස් සාධාරණ කොටා සමඟ ගිහින් ආණ්ඩුවෙ ඔපිස් එකකින් වැඩක් කරගන්නවා වගේ 838 අවසර පත්තරෙත් අරං, ගෑණුන්ගෙ මායම් වලින් බේරිලා, කෑම කාලා, හෙල්ල විසිකරලා, මල්ලව පොර ගහලා, වේගෙන් දුවලා, “මම වල්ලූරෙක්… මම වල්ලූරෙක්…..” කියලා, හොල්මන් ගුහා ඇතුළෙන් ගිහින්, මැරිච්ච රෝමන් කාරයන්ගෙ හොල්මන් එක්ක රැයක් ඉඳලා, නොපෙනෙන ලණුවක් දිගේ ගඟෙන් එගොඩ වෙලා අන්තිමට කන්දක් මුදුනට නැග්ගම කන්ද මුදුනෙ හිටපු සීයා “කව්ද බොලව් සීයා….. මං තමයි මේ කන්දෙ ඉන්න අයියා….” කියා කිව්වාත් මතකය.

තව ඉතින් ලෝකෙ රොටියක් වගේ තැටියක් කියා සිතා වෙද පප්පාව ලෝකෙ ගැට්ටෙන් දොට්ට දාන්නට ගිය හැටිත්, “ගෝල් කාරයන්ට මගෙ නැව ගිල්ලන්ඩ දෙන්නෑ…. මගෙ නැව මමම ගිල්ලවගන්නවා….” කියූ මුහුදු මංකොල්ලකාරයාද, “දෙන්ඩ…. අණ, පෙන්නන්නම්….. වැඩ” කියූ රණශූරයෝද, රැවුල වැවෙන අරිෂ්ටෙ බීපු නිදිකුම්බා තුමාද, “මේ සීසර්….. උනාට වැඩිය හොඳයි වෙන මොකක් හරි ර්….. එකක් උනානම්…. රෙද්ද….” කියපු සීසර් ලොක්කාද, බොරු සාස්තර කියපු සාස්තර කාරයාද, පිස්සු හැදුනු වෙද පප්පාද, “කෝ සින්දු…. සංගීතෙ විතරද….” කියා ඈසූ කෑ කෝ පප්පාද, හැටහුට හමාරක් තව එක එක එව්වෝද කවදාවත් අමතක වෙන්නේ නැතිය.

ඔය ඔක්කොම අස්සේ මට සිතෙන්නේ ඉරාජ් අයියා ඉස්සරහට හදන සින්දුවලින් සංගීතය සහ පද රචනාව අතුරුදන් වී ගොස් රූප රචනාව පමණක් ඉතිරි වෙන්නටත් ඉඩ ඇති බවයි. හැබැයි ඉතින් ශ්‍රී ලංකාවේ ඝාණ්ඨාර හැඩයට සාදන ලද නාරං පුඩිමක් කන ගමන් සූර පප්පා බලා ගන්න ආතල් එක ඉරාජ් අයියාගේ සින්දු දහයක් බැලුවත් ගන්නට බැරි බවනම් කිව යුතුමය. ගොඩාරියක් දිගට ලියූ නිසා දැන් මේක ඉවර කළ යුතුය. ඉවරයි කියලා කිව්වට, ඉවරම නෑ….. තව තියෙනවා….. එවුනාට ඒවා ලියන්නට මේකෙ ඉඩ නැත.

සූර පප්පප් පපපපා…..

සූර පප්පප් පපපපා…..

(මොකද පප් පප් ගාන්නෙ වචන ඉවරද….)

 

Leave a Reply