ගැහැණියක් විදියට මම

කාන්තාවන් ප්‍රසිද්ධියේ මේවගේ ප්‍රකාශ කරනවා ඔබ දැකලා ඇති..

“ගැහැණියක් විදියට මම මේ කාරණය දකින්නේ මේ විදියට…”

“කාන්තාවක් වශයෙන් මම මේ අවස්ථාවේ ආඩම්බර වෙනවා….”

“රටේ පවතින අහවල් ප්‍රශ්නය වෙනුවෙන් කාන්තාවන් විදියට අපි එකතු වෙලා අහවල් කාරණා කාරණා කරන්න ඕන…”

***

අද මම මේ ගැන මගේ මිතුරු ලැයිස්තුවේ ඉන්න දක්ෂ ලියන්නියක් වන මිතුරියකගෙන් ඇහැව්වම ඇය කිව්වේ ඇයත් ලියන්නේ කාන්තාවන්ට පමණක් බවත්, පිරිමින්ට කැමති නම් ඇයගේ ලිපි කියවන්න නිදහසක් ඇති බවත් (ඇය ඔය ගැන කිව්වේ ‘සතුට’ ගැන සාකච්ඡා කෙරෙන පෝස්ට් එකකට අදාලවයි. පොදුවේ සියලු මිනිසුන්ට අදාල කරුණු කාරණා ඉදිරිපත් වෙලා තිබුන පෝස්ට් එකකට අදාලවයි).

නමුත් ඔතනදි මට ආපු ප්‍රශ්නය තමයි, බැරි වෙලාවත් මම හරි තවත් පිරිමියෙක් හරි පෝස්ට් ලිව්වොත් “පිරිමින් වශයෙන් අපි…” වගේ වචන දාලා හරි, නැත්නම් “මම ලියන්නේ පිරිමින්ට.. කාන්තාවන්ට කැමති නම් කියවන්න පුළුවන්…” කියල… ඒක ඉතාම sexist ආකල්පයක් කියන එක ගැහැණියක් ඒකෙම අනිත් පැත්ත කියනවට වඩා පෙනෙයි නේද, ඒ ආකල්පය කීදෙනෙක් අතින් ප්‍රශ්න කිරීමට ලක් වෙයිද කියන කාරණය.

මට අනුව නම් ඔව්, එහෙම අදහස් ඉදිරිපත් කරනවා නම් ඒ ආකල්පය ප්‍රශ්න කිරීමට ලක් විය යුතුයි.

නමුත් කාන්තාවක් ඒ විදියේ ආකල්පයකින් අදහස් ඉදිරිපත් කරද්දි බොහෝ දෙනෙක් ඒ අවුල නොදකින්නේ ඇයි? මේක ලංකාවට විතරක් පොදු දෙයක් නෙමෙයි. මුළු ලෝකෙම මුල් බැසගෙන තියෙන ආකල්පයක්.

කාන්තාවන්ට පමණක් අදාල මාතෘකා නැතිය කියලවත්, ඒවා ගැන කාන්තාවන් විදියට සාකච්චා කල යුතු නැහැ කියලවත් නෙමේ මම මේ කියන්නෙ. ඒත් මට අනුව නම්, කාන්තාවන්ට පමණක්ම අදාල වෙන මාතෘකා ඒ තරම් මහ ලොකු ප්‍රමාණයක් නැහැ.

සමාජීය ප්‍රශ්න බොහෝමයක් කාන්තාවන්ට, පිරිමින්ට දෙපිරිසටම බලපාන කාරණා. බොහෝ මාතෘකා වලට මිනිස්සුන්ගේ ලිංගිකත්වය මොකක්ද කියන එක අදාල වෙන්නේ නැහැ.

“මේ ගැහැණු ළමයා පන්තියේ වැඩියෙන්ම ලකුණු ගත්ත එකට කාන්තාවක් වශයෙන් මට සතුටුයි..” කියන එකයි

“මේ අතිවිශාල ලබු ගෙඩිය මුලින්ම දැකලා පත්තරේට කෝල් කිරීම ගැන කාන්තාවක් වශයෙන් මට හරි ආඩම්බරයි” කියන එකයි එක වගේම නොගැලපෙන ගොං කතා කියලයි මට හිතෙන්නෙ..

එකම ආකල්පයක්, පාවිච්චි කරන කෙනා කාන්තාවක් වෙද්දි empowering වෙන්නයි, පිරිමියෙක් පාවිච්චි කරද්දි sexist වෙන්නයි හේතුවක් තියෙන්න බැහැ.

මේකට හේතුව යම් කාන්තාවක්, තමා කාන්තාවක් විදියට හඳුන්වා දීමෙන් යම් අදහසක් ඉදිරිපත් කරද්දි, යම් දෙයක් කරද්දි,  වෙනත් කාන්තාවන් ඉදිරියේ ඒ අදහසට හෝ හැසිරීමට යම් පිළිගැනීමක් ලැබෙන නිසා වෙන්න පුලුවන්.

නමුත්, ලිංගිකත්වය මත බෙදා වෙන් කිරීම්, වෙනස් සැලකිලි එපා කියන කාන්තාවන්ම, මේ විදියේ ආකල්ප දරාගෙන ඉඳීමෙන් සහ කිසිම අදාලත්වයක් නැතුව තැනටයි නොතැනටයි තමන්ගේ “කාන්තා බව” ඇදල ගන්න එකෙනුයි අවසානයේ වෙන දේ තේරුම් ගන්න වර්තමාන ඇමරිකාවේ ලිබර්ල් මතදාරී තරුණ තරුණියන් පත් වෙලා තියෙන විකාරරූපී මානසිකත්වයත්, විකෘති සහගත හැසිරීම් දිහාත් බලලා පුළුවන්. අන්තිම ප්‍රතිපලය විදියට නිර්මාණය වෙලා තියෙන්නේ කාන්තාවන් කියන්නේ මාර entitled, විශේෂ ජීවී කොට්ඨාශයක්‍ ය කියල හිතන, ඒ අනුවම ආකල්ප හැඩ ගැහුන සමාජයක් නිර්මාණය වෙලා. (කාන්තාවන් කියන්නේ එහෙම අමුතු විශේෂ ජීවී කොටසක් නෙමෙයිනෙ නේද?)

කාට හරි ලිංගිකත්වය මත පදනම් වුන වෙනස්කම් නැති සමාජ ක්‍රමයක් නිර්මාණය කරන්න උවමනා නම්, මුලින්ම තේරුම් ගන්න, කවදා හරි නිර්මාණය වෙන “ලිංගිකත්වය මත වෙනස්කම් නැති” සමාජය තුළ ලිංගිකත්වය අදාලම නැති පොදු සමාජීය කාරණා ගැන කතා කරද්දි, ඒ කතා කරන තැනැත්තා “පිරිමියෙක්ද?… ඒ වගේම තමා කාන්තාවක්ද?” කියන එක අදාලම නොවන බව.

එහෙම නැත්නම් හොඳ අරමුණකින් වුනත්, ඔබ අතින් වෙන්නේ පවතින ක්‍රමයෙන් වෙනස්, ඒත් වෙනත් ආකාරයක ලිංගිකත්වය මත අසාධාරණකම් සිද්ධ වෙන සමාජයක් නිර්මාණය වෙන්න දායක වීම වෙන්න පුළුවන්. ඒ සමාජ ක්‍රමයේ, මේ සියලු කාරණා වල ප්‍රතිපලයක් විදියට වෙනත් ආකාරයක පීඩිතයෙක් නිර්මාණය වෙලයි අන්තිමේදි නවතින්නෙ.

 

Leave a Reply