ජාත්‍යාල් පික්ෂුව

මිනිසුන් රටවල්, ආගම්, භාෂා, ජාතීන්, වර්ණ, දේශපාලනය පාදකකොට බෙදීමකට ලක් වී ඇතිබව දනිමු. මෙය ලංකාවට පමණක් අදාල වූ කාරණාවක් නොව මුළුමහත් ලෝකයේම තත්වයයි. මේ බෙදීම හේතුකොටගෙන තමා විශ්වාස කරන හරපද්ධතිය අනෙකා විශ්වාස නොකරීමේ හේතුවෙන් අනාදිමත් කාලයක පටන් අප එකිනෙකා මරාගත්තෙමු, මරාගනිමින් සිටිමු, මතුවටද මරාගනිමු !!!

ඉතිං මිනිස්සුන්ට මෙච්චර කෙළියක් වෙනකං තේරුනේ නැද්ද? මුකුත් කරන්නෙ නැද්ද?

මොකෝ නොතේරී.. ඔය කියන්නෙ “ලෝක සාමය ඕනෑ” “අන්තර් ආගමින සහජීවනය ඕනෑ” “ජාතීන් අතර සමඟිය ඕනෑ” කියල කතා මහා ගොඩක් එලියට ආවෙ ඒක තේරිච්ච හන්ද නේන්නං.

ඉතිං අනේ එහෙම සංකල්ප ආවකියල මොකක්වත් වෙනස් වෙලා නෑ නෙ. ඔය හි‍ටු කියල ලෝකෙ වටේම උන් මරාගන්නෙ තවමත් ගජරාමෙට.

එහමටමත් නෑ.. ඔය සමහර එවුන් එකතුවෙලාත් ඉන්නෙ සමහර තැන්වල. අපේ රටෙත් ටික කලකට ඉස්සෙල්ල ඔක්කොම එකතුවෙලා ඉන්නව වගේ පෙනුනනෙ චණ්ඩියා මට්‍ටුකරන කල්. හා නැද්ද?

ඒ….. ඇත්තමයි. එහෙම බැලුවම මිනිස්සු අතරෙ සමඟියක් නැත්තෙම නෑ නේද?

*********************************

එක එක ජනකොට්ඨාශ අතර සමඟියක් නැහැ කියල පාරටම කියන්න බෑ. මිනිස්සු එකමුතු වෙනව, සමඟි වෙනව. ඒත් ඒ හැම වෙලාවකම පෞද්ගලික උවමනාවන් උඩ. ආත්මාර්ථය සඳහා. තනි තනිව කරන්න බැරි දේවල් කරගන්න. ඉලක්ක සපුරා ගන්න. ඒ ඉලක්ක සපුරා ගත්තට පස්සෙ ආයෙම උන්නටත් වඩා දරුණු විදියට වෙන්වෙලා යනව සමහර වෙලාවට.

පහුගිය යුධ කාලේ ශ්‍රී ලාංකිකයන් ඔක්කොම වගේ ආගමික, ජාති, භාෂා වශයෙන් ඇති වෙනස්කම් පැත්තකට දාල එකමුතු උනා, නැත්නම් අඩුමගානෙ එහෙම උනා කියල එන්නුවනෙ. තර්ජනය නැතිවෙලා ගියාට පස්සෙ. ඒ එකතුවේමේ හේතුව නැතිවෙලා ගියාට පස්සෙ ආයෙම පොඩි පොඩි ඉරිතැලීම් පටන්ගෙන. සමහර වෙලාවට ඒ ඉරි තැලීම් එකපාරටම බැලුවම සමහර කෙනෙක්ට නොපෙනෙන්න පුළුවන්. ඒත් කල් ගිහිල්ලහරි වැව් බැම්ම පුපුරන්න ඉඩ තියනව.

මේකට පැහැදිලිවම පේන උදාහරණයක් ගනිමු.

ඉන්දියාවේ විවිධ ආගමිකයන් බොහෝමයක් දෙනා එකතුවී බ්‍රිතාන්‍යන්ගෙන් දිනාගත් නිදහස ගෙදර අරං එනකොටම එහේ ගිණි විජ්ජුම්බර. මෙන්න එකට උන්න, මෙච්චර දවසක් එක පතේ කාපු උන් ඒකෙම පහරල එකිනෙකා මරාගන්නව. මරාගගෙන ඉස්සෙල්ලම කුට්ටි දෙකකට රට කැඩුන. ඊටපස්සෙ ඉන්දියාව විදියට ඉතුරුවෙච්ච කොටස තවත් අනු කොටස්, ප්‍රාන්ත වලට කැඩිල වෙන්වෙලා ගියේ භාෂාව, ආගම වගේ කාරණා මූලික කරගෙන. තව ඉස්සරහට තව තවත් කොටස්වලට නොබෙදෙයි කියල කියන්න බෑ.

ආත්මාර්ථයන් මූලික කරගෙන ඇතිවෙන ඕනෑම එකමුතු වීමක අවසානය ඕක තමයි. පොදු සතුරා විනාස උනාම ආයෙම හිටියටාත් වඩා දරුණු විදියට බෙදීමකට ලක් වෙනව.

ඇයි මිනිස්සුන්ට වෙන් වෙන හිතෙන්නෙ කියල කල්පනා කරල බැලුවම පැහැදිලිව පෙනෙන කාරණය තමයි ඔවුන් අනෙකුත් අයගෙන් වෙනස් කියල දරන මතය. මෙම මතය පාදක කරගෙන තමයි අනෙකුත් ප්‍රශ්ණ සියල්ලම පැන නඟින්නෙ.

මොකක්ද මේ වෙනස? කොහොමද අඳුරගෙන්නෙ?

ශාරීරිකව මිනිස්සුන් නිසිවෙක් වෙනස් නැහැ උස, මිටි සහ වර්ණය හැරෙන්න. ඒ වෙනස සිද්ධ උනේ ලෝකයේ විවිධ දේශගුණික කලාපවල සුළු ජාන වෙනසකින් උපදින අය පරිසරයට වඩාත් අනුගතවී ක්‍රමිකව ඔවුන්ගේ සංඛ්‍යාව බහුතරය වීම හේතුවෙන්.

එසේ නොමැතිව මිනිසාගෙ එකිනෙකාගෙන් වෙනුවූ ජෛව විද්‍යාත්මක වෙනසක් ඇත්තේ නැහැ. අඩුම තරමේ විවිධ වර්ණ විවිධ, ශරීර ප්‍රමාණ හේතුවෙන් ඔවුන් එකිනෙකාගෙන් වෙනස් උප විශේෂයක්ද වෙන්නෙත් නෑ. බල්ලෙකුයි එළුවෙකුයි අතරෙ එකතුවීමකින් පැටව් බෝවෙන්නෙ නෑ, ඒවගේම මීයෙකුයි ලේනෙකුයි අතරෙත් නව පරම්පරාවක් බිහිවෙන්නෙ නෑ. ඒ උන් සත්ව විද්‍යාත්මකව වර්ග දෙකකට අයත් නිසා. නමුත් අප්‍රිකානු පිරිමියෙකු හා ඇස්කිමෝ ගැහැණියකගේ රමණයෙන් පැටියෙක් උපදිනව, ඒකා මනුස්ස පැටියෙකු මිස වෙනයම් මොකෙක්වත් නෙවෙයි.

එසේනම් මේ කියන මිනිසුන් අතරෙහි පවතින වෙනස මොකක්ද?

කෙනෙක්ගෙ උප්පත්තිය පරීක්ෂාකරල මේකා අයිති අහවල් ආගමට, අහවල් ජාතියට කියල කියන්නෙ පුළුවන් දොස්තර කෙනෙක් ඇත්තෙ නෑ. ඒත් යම් යම් සංකල්ප ඔළුවේ තියාගෙන ඉන්න ඕනම මනුස්සයක්ට කියන්න පුළුවන්. හැබැයි ඒ සංකල්ප ගැන දැනෙනා නොදැනෙනා ඇඟවීමක් මිසක් වෙන දෙයක් ඇත්තෙ නෑ. ඒ සංකල්පයන් ආවේ කොහෙන්ද කියල පැහැදිලිව කියන්න ඔවුනට බෑ. ඒ අය අතට අහුනොවෙන ඇහැට පේන්නෙ නැති, ඒත් තියනව කියල විස්වාස කරන ඇඟවීමක් මූලික කරගෙන මෙන්න මෙයා මේ “ජාතියේ” කියල.

ඉපදිච්ච දවසේ ඉඳල කාලයක් යනකන් කිසිම කෙනෙක් දන්නෙ නෑ තමන් මොන “ජාතියට” අයිති කෙනෙක්ද කියල. ඒ උනාට අවුරුදු හය හතකට පස්සෙ සමාජයෙන් එන ඇඟවීම බාර අරගෙන මම “අහවල් ජාතියේ එකෙක්” කියල මානසික රාමුවක් හදාගන්නව. මනුස්ස දරුවෙක් විදියට ඉපදිච්ච මගෙ පොඩි එකාට මම ඉගැන්නුවෙ නැත්නම් පුතේ උඹ “සිංහලයෙක්” කියල, සමාජයෙන් ඇඟවීමක් ආවෙ නැත්නම් “උඹ සිංහලයෙක්” කියල පොඩි එකාට “දෙමළ යැයි කියාගන්නා” මනුස්සයකුයි උගෙයි අතරෙ වෙනසක්, ඇඟවීමක්, ඇතිවෙන එකක් නෑ. එහම නැත්නම් මගේ පොඩි එකා ඉන්දියාවෙ කෙනෙක්ට හදාවඩා ගන්න දුන්නොත් බංගාලි / සික් / දෙමළ / ජාතිකයෙක් වෙයි, ඇමරිකාවෙ කෙනෙක් හදා වඩාගත්තොත් ඇමරිකානු ජාතිකයෙක් වෙයි. උප්පත්තියෙන්ම ජාතිය වර්ගකිරීමේ ක්‍රමවේදයක් තිබිනනම් එහෙම වෙන්න පුළුවන්ද ?

චාරිත්‍ර වාරිත්‍ර, ඇඳුම් පැළඳුම්, ආහාරපාන විධි ක්‍රම, ආගම, භාෂාව වගේ අටෝරාසියක් කාරණා ලැබෙන්නෙ ඉපදුනාට පස්සෙ. යමෙක්ට තමන් මෙන්න මේ “ජාතියේ” කියල ඇඟවීමක් එන්නෙ හැදී වැඩෙන සමාජයේ පවතින “ජාතිය” පිළිබඳ මතත් එක්ක.

ලංකාවෙ උපන්න කෙනෙක්ට පැහැදිලිවම කියන්න පුළුවන් වෙන්නෙ තමන් “ලාංකිකයෙක්” කියල විතරයි. ඒක විතරයි හැබෑවටම පවතින “වර්ගකිරීම”. හැබෑවටම නොපවතින “සංකල්පයන්” හැබෑවටම පවතිනවා කියල විස්වාස කරන්නෙ පිස්සො. හැබෑවටම නොපවතින සංකල්පයක් තමන්ට ආදේශකරගෙන මං අහවලා කියල හිතාගෙන ඉන්න අයට “පිස්සො” කියලත් කියනව. මම සිංහලයෙක්, දෙමළෙක් කියලනැති දෙයක් විස්වාසකිරීමත් පිස්සුවක් තමයි.

පොඩිකාලෙ ඉඳල අපිට මිත්‍යාමත මහගොඩක් උගන්නල අහවරයි. ඒකට වගකියන්න ඕනෙ අපේ අධ්‍යාපන ක්‍රමය, ගුරුවරු, දෙමව්පියො, වැඩිහිටියො. ඔවුනට ඒවා ඉගැන්නුවෙ ඊට කලින් පරම්පරාව. හැබැයි ඒ ඉගැන්වීම කලේ කිසිවෙක් ‍රැවටීමේ අදහසකින් නෙමෙයි. ඒක තමයි පරම සත්‍ය කියල විස්වාස කරල. ඒ නිසා මෙතන හරි කවුද, වැරදි කවුද කියන එක මහා සංකීර්ණ දෙයක්.

මිනිස්සු ඇණකොටාගන්නෙ මරාගන්නෙ මේ “ජාතිය” කියන සංකල්පය මත ඉඳගෙන. කවදාහරි මිනිසුන්ට සංසි‍ඳෙන්න ඕනෙ නම් හැබෑවටම නොපවතින එක මානසික රාමුවක් වෙච්ච “ජාතිය” කියන සංකල්පය බැහැර කරන්න වෙයි.

හැබැයි “ජාතිය” කියන සංකල්පය බිඳල දාන එක දැනට ගොඩනඟා ඇති හරපද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනව. ඒකට අකමැති බොහෝදෙනෙක් ඉන්නව. ඒක නිසා මේ කියන්නෙ එක ‍රැයකින් කරන්න පහසු දෙයක් නෙමෙයි.

Leave a Reply