තමංගෙම ඇහැකිං ලෝකෙ දිහා බලන්න පුලුවං උනොත්

මරක්කල මිනිස්සු හරි දරුණු අයනෙව. හිතක් පපුවක් නෑ.

හරක් කපන්නැනේ මිනිස්සු කපනව කේන්ති ගියාම.

කඩා වඩාගන්නමයි බලන්නෙ. එකෙක් ඔලුව දැම්මොතිං ඇති පලාතම උංගෙ වෙන්න, ඇයි ඉතිං සුලු ප‍ටු දරුපවුල් යැ උන්ට ඉන්නෙ.

හරි හමං රස්සාවකුත් නැතුව කොහොම කනව බොනවද මංද.

මං හිතන්නෙ ඕකුංට පල්ලියෙන් සලකනව අති. නැත්නං කොහෙද.

 


 

දෙමළු කියන්නෙ අපිව කන්න උපන් ජාතියක් නෙව. ඕකුං කොච්චර කිව්වත් කොටින්ට කැමතියි. ඇයි ඉතිං ඕකුංට කියල රටක් තියන එකක්යැ.

තමංටමෙයි කියල රටක් තියනවට අකමැති කව්ද. යන යන තැන කෝවිල් හදාගෙන මහ උජාරුවට ඉන්නහැටි බලන්න එපායැ.

අල්ලපු ගෙදර ඉන්න එකා දෙමළ වෙච්චි, අපි ඕකට කොච්චරවත් උදව් පදව් කොරල ඇති. එක දවසක් ඇහිල තියනවද ප්‍රභාකරන්ට වචනයක් කියනව.

යුද්දෙ ගැන කතා කරනකොට ඌ ලිස්සල යනව.

 


 

හා… අපි නං ඉතිං උපං ගෙයි සිංහල,

සිංහ ලේ !.

මහ ආඩම්බර කාර අතීතයක් නෙව අපිට තියෙන්න.

සුද්ද කොළ අතු අඳැං මස් පුච්චං කන කාලෙ අපි මෙහේ සත්මහල් ප්‍රාසාද හදනව.

ඔය යෝධ ඇලේ බැස්ම හැතක්මට අඟලයි. කෝ වෙන රටක ඔහොම කරල තියෙනව.

අනුරාධපුරේ එන සුද්දො පුදුම වෙනව ඔය ගල්කණු දැකල. ඒ විතරක් නං මදෑ ඇයි සීගිරිය, ඕක නෙව ලෝකෙ අටවෙනි  පුදුමෙ.

[ඔය ඉතිං අපි දැනගෙන හිට් තරම]

 


 

ඔය උඩ තියෙන්නෙ මං පුංචි එකා කාලෙ ලංකාවෙ ජනවර්ග තුනක් ගැන අහපු කතා. මම විතරක් නෙවෙයි තවත් අයත් අනන්තවත් මේ වගේ කතා අහල ඇති.

හැබැයි ඔතන තියෙන්න සිංහලයෙක් වෙච්ච් මං සිංහලුංහෙන්ම අහපු කතා නෙ. සිහල නොවෙන මිනිස්සුන්ට සිංහලුං ගැන කියන්නත් මේ වගේම කතා නැතිවෙයිද …?

මේ පහල තියෙන්නෙ මට කියන්න තියෙන තවත් කතා තුනක්,

 


 

කොලොන්නාවෙ සුලෙයිමාන් අංකල්ලගෙ ගෙදර තමයි මම කැම්පස් යන කාලෙ නැවතිලා හිටියෙ.

ලොකුමාම තමයි තමයි මට එහේ හොයල දුන්නෙ, හරිම හොඳ මිනිස්සු.

අංකල්ගෙ පුතාල දෙන්න “අලමුයි අස්ලමුයි” ඒ කාලෙ ඉස්කෝලෙ හය, හත පන්තිවල ඉන්නෙ ඇත්තෙ. හරිම ශෝක් කොල්ලො දෙන්න.

අලම් ජීලාවො මාලු කන්න හරි පෙරේතයි. මාලු ලෑල්ල දකිනකොට කෑගහනව “ජීලාවෝඕඕඕ……” කියල.

දෙන්නටම සිංහල ඉගැන්නුවෙ මම.

ඊට අවුරුදු ගානකට පස්සෙ, අපි කොලඹ පදිංචියට ආවට පස්සෙ අම්ම හැම තිස්සෙම වගේ කතා කරන සුලෙයිමන් අංකල්ලගෙ ගෙදර අපි ඔක්කොමල ගියා.

හරිම උණුසුම් පිලිගැනීමක්. ඔය මම මුස්ලිම් ගෙදරකට සතු‍ටු සාමීච්චයකට ගියාමයි.

අලම්ම්ම්…… කම් ඇන්ඩ් සී හූ ඉස් හියර්… සුලෙයිමාන් අංකල් කෑගැහුව.

ම්ම්ම්ම්ම්…..අප්පේ… සිරී ආන්ටි…..

පුතාට මතකයි නෙ,

අමතක වෙනෙ කොහොමද, මම ඕලෙවල් පාස් උනේ ආන්ටිගෙ සිංහල වලින් නෙ…..

 


 

අවසනාවකට මට දෙමළ කතාවක් නෑ. මම හිතන්නෙ ඒකට හේතුව මම උපන්න කාලයේ වැ‍රැද්ද් වෙන්න ඇති.

ඒත් අනන්තවත් දෙමළ මිනිස්සු ඉන්න මේ කොලඹ ඔය කලින් කියපු ජාතියෙ දෙමළෙක් මුනාගැහිල නැ. හැබයි මට මුනනොගැහුනාට ඉන්නවද දන්නෙත් නෑ….

[දන්නවනං කියන එකයි….]

 


 

මට සිංහල කතා අනන්තවත් තිබුනත් කියන්න තරං හිතෙන්නෙ නැත්තෙ ගොඩක් දෙනා අහල තියෙන ලියල තියන්න තරං විශේෂයක් නොහිතෙන හන්ද.

තමන්ගෙ දේවල් කොහොමත් අගයක් නෑ ලු නෙ.

 


පසු වදන:

අපි හැමෝම ලෝකය දකින්නෙ අපි අපිට තියෙන අත්දැකීම් වලට අනුව. අත්දකීමක් කිව්වට අනුං කියපු දේවල් උනත් තමංගෙ කරගෙන.

ඉස්සරින් ම මම ලියල තියෙන මම අහපු කතා නෑහී, මගේ ම අද්දැකීම් වලින් ඔය දේවල් තේරුං ගන්න ඇහැක් උනානං මම ලෝකය දිහා බලන විදිය කොච්චරනං වෙනස් වේවිද?

ලෝකය මම දිහා බලන විදිය වෙනස් වේවිද……

මගෙ දරුවට වත් තමංගෙම ඇහැකිං ලෝකෙ දිහා බලන්න පුලුවං උනොත්………

කැත උනත් ලස්සන උනත් එතකොට ඒ උගේම ලෝකෙ නෙ.

එතකොට ඌටවත් අනුංගෙ වැරදි වලට වන්දි ගෙවන්න සිද්ද නොවේවි.

Leave a Reply