තොරණේ විස්තරේ

ඔන්න එකමත් එක කාලෙක කිව්වට මීට ටික කාලෙකට ඉස්සර අපේ ගෙවල් වලට ටිකක් දුරින් තිබුන පංසලක ජනප්‍රිය ගමේ පොඩි එකාගේ ඉඳං මන්ත්‍රී ගොයියලා වෙනකල් ආශ්‍රය කරපු බොහෝ ඇසූ පිරූ තැන් ඇති නායක හාමුදුරු නමක් වැඩසිටියා.

අනේ ඉතිං ඔය කාගෙත් අවාසනාවකට සහ උන්වහන්සේ ගෙනා ආයුශ ඉවරවෙලා ඒ ලොකු හාමුදුරුවෝ අපවත් උනා…

ඉතින් දායක සභාව කැඳවල උන්වහන්සේගේ අවසන් කටයුතු කෙරෙන විදිහ කතාකරගෙන චිතකය ගහන පිට්ටනියට ඇතුලුවෙන පාරේ හාමුදුරුවෝ ගුණ කියවෙන තොරණක් ගහන්න ස්ථිර කර ගත්තා.

මේ වැඩේ බාරදුන්නේ ගමේ ගොඩේ මගුලට පිරිතට පෝරුව මන්ඩපේ ගහන සිරිසේනට.

ඉතින් සිරිසේනට උදව්වට කස්ටිය ඉන්නව ඒ අතරේ ගොක්කොල වලින් තොරණ ලස්සනට හදල තිබ්බේ.තොරණේ වැඩට හිටිය සිරිසේනයි කස්ටියයි සියල්ල කරත් හොඳ ගුණ වැයෙන වදන් පෙලක් සිරිසේනගෙ ඔලුවට ආවෙම නෑ…

ඔය අතරේ පිට්ටනිය ලඟින් පන්සලට යන උපාසක අම්මාකෙනෙක් ඔය සැරසිලි දැකලා අපේ ලොකු හාමුදුරුවෝ බුදුවෙන්න ඕන කිය කියා යනවා…

සිරිසේන ටකස් ගාලා ඔලුවට ආව අදහස ක්‍රියාත්මක කරලා හොඳට පද ගලපලා “ලොකු හාමුදුරුවෝ බුදු වේවා” කියලා අකුරු ටික කපලා උදව්වට උන්නු සෙට් එකට පෙන්නුවා කෝමද වදන කියල. කස්ටියට සංතෝසයි බාරගත්ත වැඩේ අන්තිම හරිය නිසා.ඉතිං සන්තෝසෙටයි ඇඟේ මහන්සියටයි පොඩ්ඩක් දාගමු කියලා සිරිසේනයි පිරිවරයි ඔන්න සප්පායම් වෙනවා.පොඩියට පටන්ගත්ත වැඩේ වැල් අකුරෙන් කතාකරන ගානටම ගියා.

සිරිසේන ලොකුකමට බීපු වෙලේ තමන් ගලපපු පදේ කිව්වා අපි මේකේ දැං ගහමු ලොකු හාමුදුරුවෝ බුදුවේවා කියලා.මං නගින්නම් මට ඉල්ලන අකුරුටික දීපං කියල සිරිසේනම ඉණිමග තියලා අකුරු ටික අමුණලා කස්ටිය චිතකෙටයි තොරණටයි වැඳලා ගෙවල්වලට පිටත් උනා…

ඔන්න ඉතිං ලොකු හාමුදුරුවන්ගෙ ආදාහනේ දවසෙ වැඩ ටික හරිද බලන්න ප්‍රධාන දායක මහත්තය වටෙන්ම හොයනව.වැඩ බාරදීපු උන්ගෙන් සිරිසේන නෑ.ටිකක් දවල් වෙන්න වගේ සිරිසේන පංසලට ඇවිත් වැඩේ ටක්කෙටම කරලා තීන්නේ හොඳ ගුණ වැයෙන පද පේලියක් ඇමිණුවත් එක්කලා එන්න මහත්තයෝ බලන්න කියලා ප්‍රධාන දායක මහත්තයයි පන්සලේ පොඩි හාමුදුරුවෝයි උජාරුවෙන් එක්ක ගියා තොරණෙ හැඩ නිල පෙන්නන්න.

තොරණ ලඟට යද්දි පොඩි හාමුදුරුවන්ට හත් ඉලව්වෙ ආ සිරිසේන මේ මොකක්දැයි ගහලා තීන්නෙ කියලා ඇහුවා නෙවෙයි ඇහුනා …

එවෙලෙ තමා හොඳ සිහියෙන් සිරිසේනයත් අකුරු ගහල තියෙන විදිහ දැක්කේ….නවනිංගිරාවයි. අනෙ හාමුදුරුවනේ කියවුනා ගහපු වදන් පේලියට.

වෙරි මරගාතේ “ලොකු හාමුදුරුවෝ බුදු වේවා” නෙවෙයි ගහල තීන්නේ

” බුදු හාමුදුරුවෝ ලොකු වේවා ” කියලා ඕං..

ඔන්න ඔහොමයි සිද්ධ උනේ…

කුෂාණ ජනිත

 

Leave a Reply