දිවුල් සම්බෝල ඔරිජින්ල් විදිටය

පිටකොටුවේ මේන් ස්ට්‍රීට් එකේ තැනින් තැන තියන අච්චාරැ කරත්ත වල තියන අච්චාරැ වර්ග අතරින් මම කන්න කැමතිම දිවුල් සම්බල්.

ඒක හදලා තියෙන්නේ මම කැමතිම විදියට නොවුනත් වෙන ඔප්ශන් එකක් එකක් නැති නිසා කනවා. මොකද නොකා ඉන්න එක ඊට වැඩිය අමාරැ නිසා.

දැන් බලන්න පුළුවන් අච්චාරැ නොකා ඉන්න බැරි තරම් මොකක්ද තියන අමාරැව කියල. ඒකේ රඟ දැනෙනනේ කාලා බලලා තියන කෙනෙකුටම තමයි. ඒක මේ ආවට ගියාට තේරැම් කරන්න බෑ.

අච්චාරැ කියන්නේ වෙනම කළාවක්, හදනවා වගේම කන එකත්. මේ පහල තියෙන්නේ එහෙම එක කළාවක්

අපි හදමු ජූල් (දිවුල්) සම්බෝල

ඕනකරන ජාති:

  • 01. ජූල් (දිවුල්) ගෙඩියක්:

ගෙඩියක් කිව්වට ඔය වැඩේට ඕනම ගෙඩියක් ගන්න බෑ. මෙන්න මේ වගේ ගෙඩියක් තමයි ඕන කරන්නේ .

ගහෙන් කඩාපු එකක් වෙන්න ඕන, පැහිල වැටෙන ගෙඩි ඔට්‍ටු නෑ. කහට වැඩි හොඳටම අමුවත් ඔට්‍ටු නෑ.

දැං ඉතිං ඔය දකුණු පලාතෙ හරි, උතුරු මැද හරි නොවෙන කට්ටිය මොකද කරන්නේ. මොකෝ අනික් පලාත්වල ඔය ශුෂ්ක කළාපයෙ හැදෙන ජූල් ගස් අහම්බෙකින් මිසක් හැදෙන එකක්යැ.

කොළඹ ඉන්න කට්ටියට ඔත්තුවක් දෙන්නං.

ඔය වැල්ලවත්ත මාර්කැට්‍ටුවෙ තියනව, තව බො‍රැල්ලෙ එළවලු තට්‍ටු තියන හරියෙ සමහර දවස්වලට ආච්චි කෙනෙක් විකුනනව, අනිත් තැන තමයි නුගේගොඩ ඉස්ටේසම ලඟ. ඔය නුගේගොඩ නං වරදින්නෙ බොහොම කලාතුරකින් තමයි.

කඩෙන් ගන්නවහං හොඳට බලල ගන්න ඕන, සමහර හෙඩිවල පොත්ත ඩිංගක් නියපොත්තෙං හීරුවම කොළ පාට මතු උනාට නැට්ට කඩාපු තැන පරන පාටයි, එහෙම වෙන්නෙ කලින් කඩලා පරණ වුන ගෙඩි තමයි ගොඩක් වෙලාවට.

එහෙම ගෙඩිවල මදය ලාවට ඉදීගෙන එනවා, ඒවාට කියන්නේ දුඹුල් කියල. ඒවායෙන් හැදුවොත් පොඩි බෙරි ගතියකුත් එක්ක ලාවට පැණි රසක් එනවා. හරියට අර මම කලින් කිව්ව පිටකොටුවේ අච්චාරැ කරත්ත වල තියන ඒවා වගේ.

හරි ඔය මදෑ. හරි ගෙඩියක් ‍තෝරගත්ත කියමුකො. මෙන්න මෙව තමයි ඕන කරන අනිත් ජාති.

  • 02. ලුණු [සාමාන්‍ය ප්‍රමානයේ ගෙඩියකට ලුනු කැට නං තේ හැන්දක්, කුඩු නම් තුන් කාලක් විතර]
  • 03. කොච්චි කරල් පහක් විතර [කොච්චිත් ඔය මම කියපු තැං වල තියනව ඕන පදං]

කොච්චි හොයාගන්නම නැත්නං ගම්මිරිස් ගන්න, අමු මිරිස් නං කිට්‍ටුකරන්න එපා. රසය හොඳටම වෙනස් වෙනව. ඒක නිසා කොච්චිම හොයාගන්න බලන්න. කොච්චිවල රසයයි, සුවඳයි හරිම සුවිශේෂයි. අච්චාරැ කරත්තවල තියන ඒවාට නම් කොච්චි කිට්ටුකරලාවත් නෑ. තියෙනේනේ රතු මිරිස් කුඩු සහ ග්ම්මිරිස්.

  • 04. හිරමනයක්
  • 05. ඇඹුරුම් ගලක් [ෆුඩ් ප්‍රොසෙසර්ස්, බ්ලෙන්ඩර් එහෙම හරියන එකක් නෑ, නියම රහ ගන්න ඇඹුරුම් ගලක් ඕනෙමයි]

ඕන ජාති හරිනං පටංගම්මු වැඩේ.

ඔය ‍තෝරගත්තු ජූල් ගෙඩිය හෝදල පිහිදාල ගන්න. පිහියක් අරං කට්ට පොඩි නොකර දෙකට පලාගන්න.

පොල් බිඳිනව වගේ මහ පිහියෙ මොට්ට පැත්තෙං එහෙම ගහනව නෙවෙයි. එහෙම උනොත් කට්ට පොඩිවෙයි. කට්ට පරිස්සං කරගන්න. කට්ටෙං පස්සෙ පොඩි වැඩක් තියනව.

දැං පොල් ගානව වගේ හීනියට පලාගත්තු ජූල් බෑ දෙක කට්ටටම ගාගන්න. ඇඹුරැම් ගල සේදුවා නම් මතක ඇතුව පිහිදාලා වේලා ගන්න නැත්නම් සම්බෝලේ දියාරැවෙනවා. ඊලඟට අර කොච්චි කරල් පහයි ලුණුයි තෙත නැති ඇඹුරුම් ගලේ දාල හොඳට හීනි වෙන්කං අඹරගන්න.

කොච්ච්යි, ලුණුයි ඇඹරෙන කොට බොහොම හොඳ සුවඳක් එන්න ඕන දැං.

ඊලඟට ඔය ගලටම හීනියට ගාගනිපු ජූල් පොඩ්ඩ පොඩ්ඩ දාල හොඳට හීනිවෙනකං අඹරගන්න හරියට පොල් සම්බෝල අඹරනව වගේ.

ඔක්කොම ඇඹරුවම ගලේතියෙද්දිම ආපහු හොඳට ඇඟිලි වලින් අනාගන්න. පොල් සම්බෝල වගෙ විසිරිලා නෙමෙයි එකට තලපෙයක් වගේ පොඩ්ඩක් එකට ඇලිල තමයි මේක තියෙන්නෙ.

ඊලඟට ඩිංහක් විතර දබර ඇඟිල්ලට අරගෙන දිවේ තියල ලුණු, මිරිස් බලල අඩුපාඩු හදාගන්න ඕන.

සැරනං මදි වෙන්න බෑ. එක ගෙඩියකට ඔය දාපු කොච්චි හොඳටම ඇති. අනික කොච්චි රහ දැනෙන්නෙ කාගෙන යනකොට තමයි. ඒක නිසා එක පාරටම සැර මදියි නේද කියලා තවත් මිරිස් දාන්නේ බලාගෙන.

ඕං හදල අහවරයි !

දැං අර පරිස්සං කරපු ජූල් ක‍ටුදෙක අරගෙන ඒවාට ගලේ තියන ජූල් සම්බෝල පුරවගන්න. ඔක්කොම ඔය ක‍ටු දෙකට දාන්න බැරිනං අතිං තදකරල පුරවගන්න.

දැං ඔය පුරවගත්තු ක‍ටු දෙක පැත්තකිං තියල, ඇඹරුම් ගල හෝදල කුස්සිය එහෙම අස් කරල, තවත් ඔය සම්බෝලෙ කන අය කට්ටිය ඉන්නවනං එක බෑයක් ඒ පැත්තටත් දීල, අනිත් බෑයත් අරං බොහොම නිස්කලංක තැනකට යන්න.

වත්තෙ කෙලවරක තියන ගහක්, වතුර පාරක්, වගේ නිදහස් තැනක් නං ඔය සම්බෝලෙ මාරම රහයි. එහෙම නැත්නං සති අන්තයෙ පත්තරේ බලනගමනුත් අගෙයි.

ඕකෙ නම සම්බල් උනාට අනිත් සම්බෝල වගේ වෙන දේවල් එක්ක නෙමෙයි කන්නෙ, නිකන්මයි මේක කන්නෙ.

කනව කිව්වට මෙක හපන්න නරකයි, මහපට ඇඟිල්ලටයි, දබර ඇඟිල්ලටයි  පොඩ්ඩ පොඩ්ඩ අරං දිවේ තියල උඩුතල්ලට දිවෙං තද කරල හෙමීට ගිලිල්ල ඕන. එතකොට තමයි නියම රස එන්නේ. කහට රස, ලාවට එන ඇඹුල් රස, ලුණු, කොච්චි, දිවුල් සුවඳ.. මේ ඔක්කෝම එකතු වුනාම ටොප්.

කාල ඉවර උනාම තවත් වැඩක් තියනව.

මතකද මම ඉස්සෙල්ල කිව්ව ජූල් සම්බෝල කට්ටට පුරවල හොඳට තද කරන්න කියල, ඔහොම තද කරාට පස්සෙ ඔය සම්බෝලෙ තියන ඉස්ම ගතිය හිරමනේට නොගෑවී ඉතුරු උන ජූල් වලට උරාගන්නව.

දැං ඔය හිස් කට්ට අත්දෙකට මැදිකරල අල්ලෙන් පොඩි කෑලි වලට කඩල දත් වලිං ලෑටි ගාල කන්නත් ඕන. ජූල් සම්බල් කතාවෙ ඔතන තමයි මම ආසම තැන.

දිව්‍යලෝක රහයි ඒ ඩිංග.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *