නිදුක්වීම !

“මම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !”

මෙහි නිදුක යනු කුමක්ද?

“නිදුක” යනු “ලප්ඩියුසි” වැනි හුදු වචනයකි.  “නිදුක” යන්නෙහි යම් අර්ථයක් ඔබ සතු වූවද “ලප්ඩියුසි” යනු කිමක්දැයි ඔබට නොවැටහේ. ඒ ඔබගේ දැනුමේ අඩුපාඩුවක් නිසා නොව එම වචනය මෙතුවක් කල් ඔබගේ වචන කෝෂයේ නොපැවතුනු නිසාවෙනි. එම “ශබ්ධය” මේ මොහොතෙහි මා විසින් ඇතිකරන ලද්දකි. “ලප්ඩියුසි” යනු මෙය යැයි කිසියම්ම දෙයකය ඈඳා නොමැති නිසාය. අවැසි නම් පාං පිටි බෝලයකට කැරට් අලයක් ඔබා පුච්චා ඒ නම තැබිය හැක. එතැන් පටන් ඔබ “ලප්ඩියුසි” හඳුනයි.

එසේ යමෙකට ඈඳා “නිදුක” යනු මෙය යැයි අපි උගෙන ඇත්තෙමු. ශබ්ධාර්ථයෙන් ගත්කල එහි සරළ අර්ථය “දුකෙන් ඈත්වීම හෝ දුක නැතිකිරීම” ට ආසන්න එකක් විය හැක.

“බල්ලාගෙන් ප්‍රවේසම් වනු”, “දුම්රියෙන් ප්‍රවේසම් වෙනු” යනුවෙන් දැන්වීමක් දු‍ටුකල අපි ප්‍රවේසම් විය යුත්තේ “බල්ලාගෙන්ය”, “දුම්රියෙන්” ය යනුවෙන් අවබෝධයක් ලැබේ. එහි ගැටළුවක් නැත. අප බල්ලා හා දුම්රිය යන ඇඟවුම් පදවලින් අදහස් කරන්නෙ මේවාය යන්න දැන සිටිමු.

එසේම දුකෙන් මිදීමට නම් අප “දුක” යනු කුමක්දැයි අවබෝධයකින් යුක්ත විය යුතුය. මිදෙන්නේ කෙසේදැයි අදහසකින් සිටිය යුතුය.

අතපයක වේදනාව, හිසේ ඇම්ම, පපුවේ කැක්කුම, ආදී රෝග පීඩාවක් දුක විය හැක, එහෙමත් නැත්නම් පෙම්වතා පෙම්වතිය ගේ වෙන්වීයාම දුකකි, දරුවන් වෙන්වීයාම දුකකි, ලබැඳියන් මියයෑම දුකකි, බලාපොරොත්තුවූ වැ‍ටුප් වර්ධක නොලැබීයාම දුකකි, බඩුමිල වැඩිවීම දුකකි, ඉන්ධන මිල වැඩි වීම දුකකි…….. මෙවන් දුක් තව අටෝරාසියකි.

ඕන ඔට්‍ටුවක්, ඔබයි මමයි දන්නේ මෙවන් සිල්ලර දුක් පමණි.

සිල්ලර දුක්?

ඔව්, මෙය සිල්ලර දුකක් යැයි ගැ‍ඟෙන්නේ සමස්ථ ජීවිතයම දුකක්යැයි අප උගෙන ඇති හෙයිනි. කට පාඩම් කල ගිරවුන් මෙන් “ජීවිතය දුකයි” යනුවෙන් මහ ලොකුවට කීවාට එය එසේමදැයි අප කිසිවෙක් [කිසිවෙක් = මෙය ලියන මම සහ කියවන ඔබ] සොයා නැත. එනමුත් “ජීවිතය දුකක් – එය අප දන්නවා” යැයි අප සිතට ඇඟවීමක් ලබා දී ඇත්තෙමු. එපමණකින්ම සැනසී අප ජීවත්වෙමු.

එතනින් එහාට ගිය “දුකක්” පිළිබඳව වැරදී හෝ අවබෝධයක් ඇති අයෙක් වෙතොත් ඔහු හෝ ඇය මේ බ්ලොග් සටහන කියවන්නේ නැත. එය වගකීමෙන් කිවහැක.

නැවතත් අප “නිදුක් වෙත්වා” වෙත යමු.

එහිදී ඔබ “මා නිදුක් වෙත්වා” යන්නෙන් ප්‍රාර්ථනා කරනුයේ ආසන්නතම දුකෙන් මිදීම විය හැකිය. එහෙමත් නැත්නම් මා කලක් කලාමෙන් මෙලෝ දෙයක් නොසිතා ඔහේ කියන්නං වාලේ හිස් සිතින් “මම නිදුක්වෙත්වා” යැයි කියනවා විය හැක. යම් දුකකින් අත්මිදීම අරභයා එසේ පතන්නේ නම්, එය ඉහත විස්තර කල දුක් ගොන්නෙන් එකක් ව්ය හැක. හුදු ප්‍රාර්ථනවකින්ම පමණක් ඔබට සහ මට සුළු හෝ එවන් දුකකින් මිදිය නොහැක. එම දුකෙන් මිදීමට ක්‍රමයක් සොයාගත යුතුය.

උදාහරණයක් ලෙස ඔබගේ වත්මන් දුක අසනීපයක් නම් ඔබ බෙහෙතක් ගතයුතුය. වෛදවරයෙක් හමුවට යායුතුය. එසේ නොමැතිව බද්ධපර්යංකයෙන් සිට “නිදුක් වේවා – නිදුක් වේවා” යැයි සිතීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් අත්වීමකට ඉඩක් නොමැත. මෙහිදී “සාර්ථක” යනුවෙන් විශේෂණ පදයක් එක් කලේ මිමිනීමකින් එම මොහොතේ අවධානය රෝගයෙන් ඈත්වී මඳ අස්වැසිල්ලක් ලැබීමට ඉඩක් ඇතිවිය හැකි නිසාවෙනි.

එහෙමත් නැත්නම් ඔබේ දුක දරුවාට සුදුසු පාසැලක් සොයාගැනීමට නොහැකිවීම විය හැක. එවිටද ඔබ මුමුණ මුමුණා සිට පලක් නැත. පාසැලක් සොයා ගත යුතුය. එහි ක්‍රමය පිළිබඳ ඔබට ගැටළුවක් නැත. ඔබට අවැසි වී ඇත්තේ දුකින් මිදීමය.

ඔබ සිතැඟි පරිදි යම් යම් දේවල් ඒ ආකාරයෙන් සිදුනොවීමද දුකකි. අශාවන් ඉ‍ටුනොවීමද දුකකි, බලාපොරොත්තු කඩවීමද දුකකි.

එම සිතැඟී, ආශාවන්, බලාපොරොත්තු සැම විටම “හොඳ” යැයි සමාජ සම්මත දෑම වීමේ නියමයක් නැත. සමාජ විරෝධී ආශාවන් හා බලාපොරොත්තුද යමෙකුට තිබිය හැකිය. එවන් දෑ ඉ‍ටුවී දුක නැතිවීමක්ද බලාපොරොත්තුව?

“මම නිදුක්වෙම්වා” යෙන් නොනැවතී “සියළු සත්වයෝ නිදුක් වේවා” යැයිද පතමු.

සියළු සත්වයෝ දුකින් තොරවෙත්වා යන්න එහි සරළ අර්ථය විය යුතුය. මේ සියළු සත්වයෝ යනු අම්මා තාත්තා, සහෝදර සහෝදරියන්, බිරිඳ, සැමියා, ළමුන්, බල්ලන්, පූසන්, හරකුන්, ඌරන්, කුකුලන්, මීයන්, මාළුන් මැස්සන් ඇතුළු මුළුමහත් සත්ව ලෝකයමය. එසේ නොමැතිව “සියළු මිනිස් සත්වයෝ නිදුක්වේවා” යැයි කිසිවෙකු පවසනවා මා අසා නැත.

හුදු මන්ත්‍රයක් ජපකිරීමකින් එහා ගිය සියළු සත්වයන්ගේ නිදුකට හේතුවන කිසියම්ම ක්‍රියාවක් කිරීමට ඔබ පෙළඹේද?

නිවැසියන්ගේ දුක නැතිකිරීමට ඔබ කුමක්නම් කරයිද? හරකාගේ, බල්ලාගේ හූනාගේ, කුකුලාගේ මරණ දුක නැතිකිරීමට ඔබ කුමක් කරයිද? මදුරුවාගේ කුසගිණි දුක නැතිකිරීමට ඔබ මතුරනා “සියළුසත්වයෝ නිදුක්වෙත්වා” යන්නෙන් උපකාරයක් කරනවාද? වරදක් කර හිරේ විලංගුවේ වැටී සිටිනා හිරකරුවාගේ “සිරවී සිටීමේ දුකට” ඔබ කුමක් කරයිද? හොරකමක් කිරීමට නොහැකිව ළතැවෙන හොරාගේ දුකට ඔබට යමක් කල හැකිද? සිංහයාගේ කුසගින්නෙන් පසුපස එළවාගෙන යන මුවාගේ මරණ බිය නම් “දුක” සමණය වීමට නම් අභය ලැබිය යුතුය. එවිට සිංහයාගේ කුසගින්න නම් “දුක” ට කුමන ප්‍රතිකර්මයක්ද?

ඕං මං අද මෛත්‍රී කලා යැයි සිතා පැත්තකටවී එරමිණියාගොතාගෙන ඔබ ඔබ විසින්ම රවටාගැනීමකට ලක්කරමින් අනුන්වද රවටමින් සිටිනවාද?

Leave a Reply