ප්‍රේමණීය හිඩැස

මොහොතකට පෙර ඔවුන් උන් තැන මෙය යැයි කියන්නට මෙන් සීරුවට ඇතිරූ ඇඳ ඇතිරිල්ලේ පොඩි වී හැකිළුණු තැනට ඔබ්බෙන් ගලවා දැමූ මුතු ඇට පොටකි. ඇඳ රෙද්දෙහි වර්ණයටම සමාන යැයි කිවහැකි එය බැලූ බැල්මට නොපෙනුනත් කණ්නාඩිමේසයට මඳක් ඉහලින් ඇති සෑන්ඩ් ස්ටෝන් බිත්තියේ සවි කර ඇති බිත්ති ලාම්පුවෙන් නික්මුන මන්දාලෝකය ඇති කල සෙවනැල්ල එය උළුප්පා පෙන්නීය. කාමරයේ අනෙක්පස ඇති පු‍ටුවක ඇන්දක් මත දැමූ ස්ටෝන්ස් සාරිය මත වැ‍ටුණු විදුලි එළිය පංකාවේ සුළඟ විසින් වරින් වර කාමරය පුරා විසුරවා දැමුයේ මොහොතකට පෙර රාගී සුසුමින් කැළඹීගිය වා තලයේ දරාගැනීමට නොහැකි වත්මන් නිශ්චලභාවය බිඳින්නට මෙනි.

කවීෂ හිඳගෙන හුන් තැනින් නොනැඟිටම අත මානයේ තිබූ ජංගම දුරකථනය ගෙන වෙලාව බැලීය. රාත්‍රී අටටත් කිට්‍ටුය. ඈ නානකාමරයට ගොස් පැයකට ආසන්නය. ඔහු සෝෆාවෙන් නැඟිට බැල්කනියේ විසල් ජනේල විවෘත කර දැමුයේ පරිසරයේ අඳුරට කාමරයට එන්න ඉඩ හරිමිනි. නමුත් ජනේලයෙන් එලියට ආ කාමරයේ වූ ආලෝකය අඳුර හා සටන් වැද මඳ දුරක් ඈතට පලවා හැරියේ ඔහු බලාපොරොත්තු නොවූ පරිදිය.

ජනෙල් පළු දෙක මැදින් පැමිණ අඳුර මරා දැමූ ආලෝක ඉර දිගේ සීරුවට ඉදිරියට ගොස් බැල්කනියේ සීතල යකඩ වැට අල්ලාගත් ඔහු ජනේලයෙන් එපිට ඇති ඉමක් නොපෙනෙන මහ සයුරේ ඇතින් පාවෙන ආලෝක ගුලි දිහා බලා සිටියේ මින් පෙර නොදැකි දසුනක් මෙන් ය. අඳුරු මුහුදේ ඈත ක්ෂිතිජයේ ඇති කුඩා එළි පේලි ඉඳහිට නොපෙනී යන්නේද අහසේ තරු මෙන්ය. මඳ වෙලාවක් ඒ දෙස බලා සිටි ඔහුට අහස හා මුහුද තනි යායක්ව පෙනුනේ බොඳ වී ගිය දෙනෙතට හසුවීමට තරම් ක්ෂිතිජ මායිමේ දැල්වෙනා එළි දීප්තිමත් නොවූ නිසාවෙනි.

කවීෂ…

එක්වරම පි‍ටුපසින් නැඟි හඬින් ගැස්සී කල්පනා දැහැනින් මිදුනු ඔහු සීතල යකඩ වැට අත්නොහැරම උරහිසට උඩින් හිස හරවා පි‍ටුපස බැලීය.

වර්ෂා….

මොහොතකට පෙර නොදු‍ටු සුන්දරත්වයක් තෙත් හිසකෙසින් යුතු ඈගෙන් නික්මේ. පපු මත්තට හැඳ උන් ලා ක්‍රීම් පැහැති නානකාමර තුවායෙන් නිරාවරණය වූ ඈගේ දඟයුග මෙතෙක් සීතලේ බැල්කනියට වී හුන් ඔහුගේ ගත සිත යලි උණුසුම් කරන්නට විය.

ඔයා ඉස්සර හිටියට වඩා හැඩවෙලා……

කෝමල බැල්මක් හෙලා රතුවූ මුහුණින් ඈ බිම බලා සිනාසුනාය.

පුදුම හමුවීමක් නේද ? ….. මෝටර් රියෙන් බසිනාවිට නැවතූ තැනින් ඔහු නැවතත් කථාව පටන්ගත්තේය.

හ්ම්….

මම දැනගන හිටියෙ නෑනෙ දේවින්ද ඔයාගෙත් යාළුවෙක් කියල….. එක අතකට නොදැන හිටිය එකත් හොඳයි, ඔයා එනව කියල මම දැනගෙන හිටියනම් සමහර විට මං නොඑන්නත් ඉඩ තිබුන.

ඇයි ඒ… ඔයා මාව දකින්න ඒ තරම්ම අකමැත්තකින්ද හිටියෙ ?

නෑ… මං කැමැත්තෙන් හිටියෙ. ඒත් ඔයා අකමැතිවෙයි කියල මම හිතුවෙ.

ඔයාටනම් ඉස්සර වගේම පිස්සු… හී හී….

ඇගෙ සිනහව තවමත් පෙර මෙන්ම චමත්කාරය. හිනැහෙන විට පුංචි වෙන ඇස්වලටත් වලගැහෙනා වම් කම්මුලටත් පෙම් බැඳි අතීතය ඔහුට සිහි විය.

වර්ෂා….

ම්..

ඇයි අපිට අපේම වෙලා ඉන්න බැරි උනේ…..

එන්න. අපි මෙතනින් වාඩිවෙලා කතාකරමු…

ඈ ඔහුගේ අතින් ඇද බැල්කනියේ පසෙක තිබූ කාමරයෙන් පෙරී එන ලා එළියට මඳක් නිරාවරණය වී ඇති දිගු සීතල යකඩ බංකුව මත වාඩි වූවාය.

ඔයා ඇඳුමක් දාගන්නෙ නැද්ද?

කමක් නෑ මෙහෙම හොඳයි.

නෑ ඉන්න.. මම ඕවර්කෝට් එක ගෙනැත් දෙන්නම්. නැත්නම් මේ සීතල මුහුදු සුළඟට ඔයා ලෙඩවෙයි. එහම උනොත් ආයෙ අනිද්දට ආපහු ෆ්ලයි කරන්න අමාරුවෙයි.

කාමරයට ගිය ඔහු ඇඳවිට්ටමේ දමා තිබූ ඕවර් කෝට් එක ‍රැගෙන විත් බැල්කනිය අසල හිටගෙන කාමරයට පි‍ටුපා මුහුද වෙත නෙත් යොමා සිටි ඈගේ උර මතින් දමා ඉන වටා දෑත් යවමින් තම තුරුළට ගෙන ඇගේ දකුණු උරහිස මත තම නිකට රඳවාගත්තේ අපමණ සෙහෙනෙහසිනි. ක්ෂණයකින් සිදුවූ දෙයින් ඈ නොසන්සුන් වුවද ඒ මින් තුන්වසරකට පමණ අපමණ ලොබ බැඳි සුපුරුදු උණුසුම ඔහු හා ඈ අතර තිබූ ඇඳුම විණිවිදින තුරු පමණි.

වර්ෂා… ඔහු ඇසෙන නෑසෙන ස්වරයෙන් ඇගේ සවනට මිමිණුවේය.

ම්ම්.. … ඔහුගේ ගැඹුරු, හැඟුම් බර හඬ ඈ සවනත වැටෙත්ම මැකී ගිය හිරිගඬු වැටිය නැවතත් ගෙල පුරා පැතිර ගියේය.

ඔයා ඇයි මාව දාල ගියේ ….?

කවීෂ…

ම්..

ඒ ප්‍රශ්ණය එච්චරටම සාධාරණ නෑ කියල ඔයාට හිතෙන්නෙ නැද්ද?

මංද.

කවීෂ… අපි අපිට නැති උනේ ඇයි කියන එකට උත්තර හොයන්නෙ නැතුව ඉඳිමුද?

ඇයි ඒ….?

එන්නකො.. අපි වාඩිවෙමු අතනින්, දැන් නම් මගෙ කකුල් දෙකත් රිදෙනව.

යමු…

ඇයි ඔයා ඔතන වාඩි උනේ.. වෙනද වගේ මගෙ උකුලෙ ඔළුව තියාගෙන ඉන්න අකමැතියිද?

අකමැත්තකට නෙමෙයි වර්ෂා… අවුරුදු තුනක් තිස්සෙ පිච්චිලා යාන්තම් නිවීගෙන ආපු මගෙ හිත ආයෙම අවුලවාගන්න මට බෑ.

ඔයා හරිම අසාධාරණයි කවීෂ. ඇයි ඔයා අමතක කරන්නෙ ඒ වගේම කාලයක් මමත් ගතකලා කියන එක?

වර්ෂා.. අපි ආයෙම මේ රණ්ඩුවෙනවද ?

හි හී…. ඔව් නේද…?

ඉස්සර වගේමයි අපි තාමත්.

නෑ කවීෂ.. ඉස්සර අපි රණ්ඩුවෙනකොට තේරෙන්නෙ නෑ රණ්ඩුවෙනව කියල.

හ්ම්.. ඒකත් ඇත්ත තමා.

මට ආරංචි උණා ඔයාගෙ අම්ම නැතිවුණා කියල. ඒත් මම ගියපු අලුතම නිසා නිවාඩු ගන්න බැරි උනා හොස්පිට්ල් එකෙන්, අනික කන්ට්‍රැක්ට් එකේ විදියට වැකේෂන් යන්න පුළුවන් අවුරුද්දෙ අන්තිමට විතරයිනෙ.

ඒකට කමක් නෑ වර්ෂා. අම්මා ඔයාට සලකපු විදියට මම කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ ඔයා ඒවි කියල. අනික ඔයා ආවානම් නෑදෑයොන්ගෙන් ඔයාට ප්‍රශ්ණයක් වෙන්නත් තුබුන. හැමෝම ඔයා එක්ක තරහෙන් හිටියෙ ඒ කාලෙ.

ඔයත් ?

කොච්චර රණ්ඩු උනත් එදා ඔයා සේරම දාල යයි කියල මමවත් හිතුවෙ නෑනෙ.

ඒත් මම ඇහුව එකට ඔයා උත්තරයක් දුන්නෙ නෑ නෙ

මොකක්ද?

ඔයත් මාත් එක්ක තරහෙන්ද කවීෂ හිටියෙ ?

ඒක තරහක්ම කියල කියන්න බෑ වර්ෂා. ඒක මහා සංකීර්ණ හැඟීමක්. මහප්‍රාණ ඔළුවෙ තියාගෙන හිටපු නැදෑසනුහරයක් මැද මහේ හිතට එන ඕනම විකාරයක් කියන්න පුළුවන් ආදරණීය හිතත් අරගන ඔයා ගියාම මාව හිස් වෙලාම ගියා. ඒ හිස්කම පිරවුනේ නෑදෑයො ටික වටවෙලා ඔයාගැන කියාපු වැරදිවලින්. අන්න ඒ පීඩනය හිතින් පිට වුනේ ඔයා ගැන ඇතිවෙච්ච වෛරයක් විදියට. ඒකම තමයි ඔයා කැනඩා යනව කියල දැනගත්තත් වචනයක්වත් කතාකරන්න නොහිතුනේ. ඒත් මමත් ලංකාවෙන් ඇවිල්ල තනියම කාමරේකට කො‍ටුවෙලා ඉන්නකොට තමයි කල්පනා උනේ ඔයාට මාවදාල යන්න පරිසරය හැදුවෙත් මම නේද කියල. මට තිබුන ඔයාවත් අරන් ගමෙන් යන්න ඒ දවස් වලම.

නෑ කවීෂ, එහෙම නොවුන එක හොඳයි

ඒ කියන්නෙ ඔයා කැමතියි මාව දාල යන්න වෙච්ච එක ගැන ?

කැමැත්තටත් වඩා මට උවමනාවක් තිබුන කිව්වොත් හරි ඒ පරිසරයෙන් ඈත්වෙන්න. මම බය උනා හතරවටෙන්ම මට ආපු පීඩනය මාව පොඩි කරල දායි කියල. මම ජීවත්වෙන්න ආස ගෑණියෙක් කවීෂ.

ඇයි ඔයා මට කිව්වෙ නැත්තෙ අපි මෙහෙන් යමු කියල, එහෙම කිව්වනම් මම ඔයත් එක්ක එනවනෙ.

මම බලාපොරොත්තු වුනා ඔයා මාව තේරුම් ගනී කියල. අනික මම ඒ දවස් වල මට උන කෙණෙහිළිකම් ඔයාට කියල සාධාරණයක් බලාපොරොත්තු උනා නම් එතන ලොකු විනාසයක් වෙන්න තිබුන. ඊටත් මම එහම කිව්වනම් මායි නෑදැයොනුයි අතරෙ හිරවෙලා ඔයා ප්‍රශ්ණ ගොඩක පැටලෙන්න ඉඩ තිබුන. සමහර වෙලාවට ඒකෙ බරත් මගෙ කරට එන්න තිබුන. ඉතින් එවෙල මට කරන්න තිබුන හොඳම දේ තමයි ප්‍රශ්ණවලින් ඈත්වෙලා යන එක. මට දැන් තේරෙනව මම ඒ ගත්තෙ හොඳ තීරණයක් කියල

ඇයි ඔයා එහෙම හිතන්නෙ ?

මම හැම ප්‍රශ්ණයක්ම දරාගෙන සාම්ප්‍රදායික ගෑණියෙක් වගේ ඔයාත් එක්ක හිටියනම් ඔයාටයි මටයි කිසිම දවසක අපි දෙන්නට උනේ මොකක්ද කියල තේරුම් ගන්න බැරිවෙන්න ඉඩ තිබුන. එහම උනානම් අද වගේ අහම්බෙන් දැක්කත් හිනාවක්වත් නැතුව වෙන් වෙලා යන්න හොඳටෝම ඉඩ තිබුන. ඒත් අද …….. අවුරුදු තුනකට පස්සෙ නිවිහැනහිල්ලෙ කල්පනා කරල නිවිච්ච හිත්වලින් එක කාමරේක බොහෝම සන්තෝසෙන්. ඉතින් ඔයාට හිතෙන්නෙ නැද්ද මම ගනිපු තීරණය හරි කියල.

ඒත් ඔයාට අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද නිස්කාරනේ දෙතැනක ගෙවිල ගියපු අපි දෙන්නගෙ ජීවිතේ ?

නෑ කවීෂ, අපි දෙන්නගෙ ජීවිතේ නිස්කාරනේ ගෙවිල ගියේ නෑ…. ඒ අවුරුදු තුනේ ඔයයි මමයි තනියම ජීවිතේට මුණදීල යම්තාක් දුරකට හරි යථාර්තය තේරුම් ගත්ත. ඒ වගේම ඔයා මාස්ටර් ඩිග්‍රී එකක් කලා, මම ඇල්බටා හොස්පිට්ල් එකේ ස්ටාෆ් නර්ස් කෙනෙක් උනා. ඉතින් ඔයාට හිතෙනවද ඒ පහුගිය කාලෙ අපරාදෙ කියල.

හ්ම්… වර්ෂා හිතනවද අපිට ආයෙම සන්තෝසෙන් ඉන්න පුළුවන් වෙයි කියල.

ඔයා අහන්නෙ මීට අවුරුදු හතරකට කලින් ප්‍රශ්ණ ඇතිවෙන්න කලින් තත්වය ගැනනම්; ඔව් මම හිතනව පුළුවන් කියල. ඒත් ඔයා අහන්නෙ අදින් පස්සෙ එක වහලක් යට ජීවත්වෙන එක ගැනනම්; අපිට ඒ ගැන ගොඩක් කතාකරන්න තියනව. ඒ වගේම විසඳගන්න දේවල් ගොඩක් තියනව. අනික මේ හැඟීම ගිණි ගත්තු පුළුං ගොඩක් වගේ ඉක්මනට පත්තුවෙලා ඉක්මනටම නිවිල යන එකක් නෙමෙයි කියල කාටද කියන්න පුළුවන්. සමහර වෙලාවට හෙට උදේට ඔයයි මමයි පුරුදු ජීවිත වලට අයෙම ගියාම මේ පුළිඟුව නිමිල යයි. ඒක නිසා මම කැමති නෑ හිත ගොඩක්ම සන්තෝසයෙන් තියන වෙලාවක ජීවිතේගැන ලොකු තීරණ අරගන්න. අපි ජීව්තේට ඉඩදෙමු යන්න ඕන පාර හොයාගන්න. එහෙම හොඳයි නේද කවීෂ ?

Leave a Reply