පොල් බඩ

ඉස්සර ආච්චිලගෙ ඉඩං වල හරි අහල පහල ඉඩමක හරි පොල් ගහක් කපනව කිව්වොත් මං ඔය කාගෙ හරි අතක එල්ලිලා යනවමයි එතනට.

පහල ගෙදර පුංචිමාම තමයි ගමේම ගස්වලට වගකියන්නෙ.  අත් පොරවයි, මහ පොරවයි කඹ රෝලයි අරං යනවනං ඉතිං මට ගෙදර ඉන්න බෑ. මං ඉතිං කෑගහනව.

පුංචි මාමේ…. පොල් ගහක්දෝ……?

පොල්නං ඉතිං හරි, මං ඉගිල්ලෙනව… අනිත් ගස් වගේ නෙමෙයි පොල්ගහක් කපනකොට හරි හරි වාසි තියෙනව.

කලටි, කුරුම්බ, වෑවර, ලුණු ගොබලු, ඊලඟට මං ආසම පොල් බඩ.

වෙනදනං ඔය කුරුම්බ, වෑවර වලට මං මහ පෙරේතයි, හැබැයි පොල් ගහක් කපන දවස් වලටනං මං ඔය ගහ කපන්න කලින් බිමට වලු පිටින් කපල දාන වෑවර ගෙඩියකට වැඩිය වග කියන්නෙ නෑ.

ඇයි ඉතිං තව ඩිංග වෙලාවකින් පොල්ගහේ කරටිය බිමනෙ.

දඩ බඩාං……. හුරා…. පොල්ගහ බිමෝ………

ඊටපස්සෙ පහලගෙදර පුංචිමාම අත් පොරව අරං එහව කරටිය පාහින්න, කඳ කුට්ටිකරන්න කලිං කරටිය කපල අහක් කරනව, නැත්නං පොල් කඳ පෙරලනව බොරු, ඇයි කරටිය සුවල්ප බරක් යැ.

බෙල්ල කපන්නැහෙ කපල අහක් කරාට පස්සෙ අපිට ඕන එකක් කරගන්න ඉඩ ඇරල මහ පොරවෙන් කඳ දෙකුට්ටි කරනව. එහෙම දීල ගියාට  අපි පුංචි උන්ට පුළුවන්ද අර මහ විසාල කරටිය පලන්න.

එහෙමයි කියල බලං ඉන්න තරං ඉවසිල්ලක් කොයින්ද අපිට. අපේ කොලු නඩේ ඉන්න ලොකුම එකා අර පැත්තක තියෙන අත් පොරව අරං පොල්පිති පාහිනව.

මෙක වැඩි වෙලාවක් කරන්න හම්බවෙන්නෙ නෑ. පුංචිමාම මේ නාඩගම බලං ඉන්න බැරුව ඇවිල්ල කරටිය දෙබෑකරල දෙනව.

ඊට පස්සෙ ඕං අපිට මඟුල් වගේ.

අර කරටිය වටේ තිබිච්ච මෝරපු පොල් පිති අහක් කරාට පස්සෙ මෙන්න සුදු පාට ලා පොල් පිති, පොල් කොළ, පොල් මල්, කොළපු, හනසු සේරම දිලිහී දිලිහී තියෙනව.

ලා පොල් මලේ පොඩි පොඩි ගෙඩිත් තියනව, ඒවනං ඉතිං කන්න බෑ. කහට රහයි ඒත් වෙනද ලෙලි ගහල, මහ පිහියෙන් ගහල බිඳල කන පොල් ගෙඩි පිටිං කජු කනව වගේ කනකොට අමුතු ගතියකුත් ඇඟට එන.

අච්චර රහ බඩ තියෙද්දි මොනවටද කහ කඩ කෑලි කන්නෙ කියල ඒව අතින්ම අඹරල කඩල දාල, ඔය මෝරපු පොල්පිති කෑලි එහෙම අයිං කරල පාදගන්නව අපේ නිධානෙ, ලා කරටිය

බුදු අම්මේ ඒවයෙ රහ, හරිම කිරි රහයි, හරිම සුවඳයි. මටනං දැනුත් සුවඳ දැනෙනෙව. ඒ වයෙනුත් මං වැඩියෙම ආස ලාම ලා පොල් කොළ වලටයි, කිරි පාට කොළපුවත් එක්ක තියෙන පොල් මල් වලටයි තමයි. ඒව හරිම මෘදුයි.

පුංචිකාලේ කාලෙ කවුද පස්සෙන් පැන්නුවෙ නැත්නං දත් මදින්නෙ, ආච්චි තමයි ඉතිං එයැයිගෙ අත්දෙකිං මාව හෙල්ලෙන්න බැරි විදියට ඇඟට හිර කරං දබර ඇඟිල්ලට කුඩුකරපු අඟුරු අරං බරස් බරස් කියල බලෙන්ම මද්දවන්නෙ. මගෙ දාංගලේට වීදුරුමහත් තුවාලවෙනව එතකොටනං.

ඒත් ඉතිං ආයෙමත් පොල් ගහක් කපන දවස වෙනකල් ඇඟිළි ගැන ගැන ඉන්නේ.

Leave a Reply