බට කිරිල්ල  තුවක්කුව

මගෙ මතකෙ හැටියට ඔය වෙනකොට මගෙ වයස අවුරුදු පහකට අඩු වෙන්න ඕන. මොකද මම ආච්චිලගෙ ගෙදර හිටියෙ මොන්ටිසෝරි යන්න කලින්.

සමහර වෙලාවට ඔය මම ඉස්කෝලෙ නිවාඩුවට ගමේ ගිය දවසක වෙන්නත් පුළුවං. මං පුංචි පන්ති වල ඉන්නකොට හැම ඉස්කෝලෙ නිවාඩුකාලෙටම සතියක් දෙකක් ගමේ යනවමයි.

මොන එකකටද මංද මම ගමේ හරිම ජනප්‍රියයි, ඒ සමහර විට මම රුප්පෙ රාළහාමිගෙ මුණුපුරා හන්ද වෙන්න ඇති. එහෙමත් නැත්නං මගෙ තිබිච්ච කුතුහලයට කිසිම බයක් හැකක් නැතුව හැම කෙනාම එක්ක කතා කරපු හන්ද වෙන්න ඇති.

ඔය ජනප්‍රියකම හන්ද මට ගොඩක්ම හිටියෙ මට වැඩිය වැඩිමල් යාළුවො. හින්නි මාම, හීං මාම, රොට්ටි සීය, එගොඩහවත්තෙ ලොකු සීය. වඩනම්බි මාම. ඔය මගෙ මතකයෙ තියන නං කීපයක් විතරයි. ඔය කට්ටිට අතරන් වඩනම්බි මාම තමයි මගෙ හොඳම යාලුව. එයත් එක්ක තමයි මම කරපු වික්‍රම කරපු තරමක් කලේ

මට මතකයි දවසක් මට අපේ පුංච් අම්ම කෙනෙක් ගෙනැවිත් දුන්න පුංචි දවුලක්. ඕක ගෙනැත් දෙන්න හේතු උනේ පෝයට පංසල් ගියාම මම හැම තිස්සෙම හේවිසි කාම්රේට දුවන හන්ද. ගියාම ඉතිං මම නෙවෙයි දවුල හරි තම්මැට්ටම නොගහ ආපහු එළියට එන්නෙ.

ඔය ගෙනැවිත් දුන්න පුංචි දවුල ගහන්න ඇත්ත දවුලට පාවිචිචි කරනව වගේ බොකු ගැහිච්ච කඩිප්පුවක් ඕන උනා.

මගෙ අම්මේ….. වඩනම්බි මාමයි මමයි ඇවිදපු තරමක් මගෙ හිතට හරියන කෝ‍ටුවක් හොයන්න. පුංචි කාලෙ එහෙමයි නෙ ඉතිං. හිතට හරියන එක නැත්නං අම්මෙ මුත්තෙ කිව්වත් හරියන්නෙ නෑ නෙ.

වඩන්ම්බි මාමා හරි ජාති වැඩ කරන මනුස්සයා…. හොඳට මතකයි මට බට කිරිල්ල තුවක්කුවක් හදලා දුන්න දවස.

ඒක හම්බුන වෙලාවෙ ඉඳලම වැඩේ පටෝං පටෝං සද්දේන් වෙඩි තියන එක තමයි, හරි ජාති බඩුවක් ඒක නම්.

මෙන්න මෙහෙමයි හදන්නෙ………..

ඉස්සෙල්ලම හොයාගන්න ඕන ඔය පහල තියන පින්තූරෙ වගේ අඩියක විතර දිග අඟල් 1 ත් 1 1/2 ත් අතරෙ  විෂ්කම්භය තියන උණ බටයක්. ඕකෙ සිදුර පැන්සලක ප්‍රමානය විතර වෙන්න ඕන. මෝරපු කහ උණගහක අග්ගිස්ස ගන්න පුළුවන් නම් හරියටම හරි.

මතක තියාගන්න, හොයාගන්න  ඕන පුරුක් දෙකක් අතරෙ බටයක්, අඩුම තරමෙ එක පැත්තකවත් පුරුකක් තියෙන්නෙ ඕන [ඔය පින්තූරෙ හොඳට බැලුවොත් පෙනෙයි උඩම තියන අංක එක ගහපු බටේ දකුණු පැත්තට වෙන්න ඔය කියාපු පුරුක තියෙනව]

ඊලඟට ඔය උණ බටේ දිගට අඟල් බාගයක් කොට, හයිය හොඳ කෙළින් තියන හයිය කෝ‍ටුවක් හොයාගන්න ඕන. වඩනම්බි මාම නං කලේ පුවක් ලී පටියක් එයාගෙ හොඳට කැපෙන පිහියෙන් හීනියට පැන්සලක් වගේ රවුං කරල ගනිපු එක. ඒක නං මරු ගාන. මතක තියාගන්න ඔය කෝ‍ටුවෙ හරි පුවක් කූරෙ හරි එක පැත්තක් ඩිංගක් විතර මහත් උනොත් හොඳයි, අනිත් පැත්ත උණ බටේ සිදුර තුලින් ලේසියෙන් එහා මෙහා යවන්න පුලුවන් වෙන්න ඕන.

ඔය ඔක්කොම ජාති හොයාගත්තට පස්සෙ ඔන්න දැං අපි මේක හදනව.

ඉස්සෙල්ලම උණ බටේ පුරුක පැත්තෙ ඉඳල අඟල් තුනහමාරක් විතර මෙහායින් කපාගන්න, හරියටම උඩම තියෙන අංක එක ගහපු බටේ ඊතලේ ලඟින්. ඕකට මොකක් පාවිචිචි කලාද මංද, දැං තියන ඔය යකඩ කපන කියත් පටියක් නං නියමෙට ගැලපෙනව, මොකෝ සමහර වෙලාවට පිහියෙන් කැපුවොත් උණ බටේ පැලෙන්නෙ පුළුවන්. අනික කැපුම කැත වෙන්නත් හොඳටම ඉඩ තියෙනව.

ඊලඟට අර කෝ‍ටුව හරි හීනි කරගත්තු පුවක් ලී කෑල්ල අරං අර මහත පැත්ත අර කලින් කපා ගනිපු උණ බටේ පුරුක තියන පැත්තට තියල තද කරන්න. මහත වැඩිනං පිහියෙන් හූරගන්න, හීනි වැඩිනං තව ලීපතුරක් හරි දාලහරි, ඇද්දම නොගැලවෙනන තද කරන්න. දැං ඕක හරියට උඩ පිංතූරෙ තියන අංක හතර වගේ වෙන්න ඕන

ඊටත් පස්සෙ ඉතුරු උණබට කෑල්ල අරං ඒකෙ සිදුරට අර කලිං හදාගත්තු ගැජට් එක බස්සන්න, හරියට අංක පහ වගේ.

ඕං හදල අහවරයි !.

මෙ මොකක්ද ??

තුවක්කුවක් නං වෙඩි තියන්න එපැයි. මේකෙං කොහොමෙයි වෙඩි තියන්නෙ ?.

ආ ඒකට තව පොඩි බඩුවක් ඕන, කිරිල්ල ගෙඩි. ඔය කිරිල්ල කියන්නෙ පෙනුමෙන් හරියට තද කොළපාට පුංචි තිබ්බ‍ටු ගෙඩි වගේ. හැදෙන්නෙත් ඒ වගේ පොකුරු, හැබයි හයියයි. කටේ දාල විකනකොට  සෙවෙල ගතියකුත් එක්ක පොඩි ඇඹුලක් එනව, අන්තිමට ඉතුරු වෙන්නෙ කොස්සක් වගේ රොඩ්ඩක්.ඔය ගෙඩි පැන්සලක විෂ්කම්භය තියන උන බටේට ගානට.

ඉස්සෙල්ලම එක ගෙඩියක් අරන් සිදුර තියෙන බටේ එක පැත්තෙකින් තියල තද කරන්න ඕන. වටේ තියන පොත්තයි සෙවෙල ගතියයි හන්ද එයාර් ටයිට් විදියට හිරවෙනව.

ඊට පස්සෙ අර කූර හයිකරපු බටේ අරං කූරෙන් තද කරන්න අර කිරිල්ල ගෙඩිය හරියටම බටෙන් බාගයක් දුරට යනකන්. ඊට පස්සෙ තව කිරිල්ල ගෙඩියක් අරං අර පලවෙනි ගෙඩිය වගේම  අඟලක් දෙකක් විතර බටේ ඇතුලට දාගන්න.

ඊටත් පස්සෙ අර දිග බටේ කෙලවර අහසට එල්ලකරල අර කූර හයිකරපු බටෙන් අන්තිමටම දාපු කිරිල්ල ගෙඩිය එක පාරටම හයියෙන් ඉස්සරහට තල්ලු කරන්න.

ඒත් එක්කම පටාං ගාල පොඩි ලා දුමකුත් එක්ක අර ඉස්සෙල්ලම දාපු කිරිල්ල ගෙඩිය අහසට විදිනව. [ඔය පහල තියෙන්නෙ බලාගන්නකො]

ඔය කිරිල්ල හොයාගන්න නැති මේ කොළඹ පදිංචියට ආවට පස්සෙත් මම ඔය බට කිරිල්ල තුවක්කුව හැදුව. පාවිචිචි කරේ නං කටිං විකල පොඟවල හදා ගත්තු පත්තර කොල බෝල.

පරණ බෙහෙත් තුවක්කුවකුවකට වගේ කොළ බෝලෙ දාල කොටන්න ඕන. විදිනකොට කිරිල්ල තරං සද්දෙකුයි දුමකුයි නැති උනාට ඒකට මාව ආපහු පුංචි කාලෙට ගෙනියන්න පුළුවං උනා.

ප /ලි :

කැමති අය ඉන්නවනං  තම තමංගෙ පොඩි උනුත් එකතුකරං හදල දෙන එකයි ඇත්තෙ. කඩෙං ගෙනැවිත් දෙන ප්ලාස්ටික් සෙල්ලං බඩුවකට වැඩිය මටනං ඕක සෑහෙන්නෙ වටින දෙයක් වුනා. මොකද මමත් සහභාගි උනා නෙව ඕක හදන්න.

ඒ දවස්වල මට, උණ බටේක හැඩේ, ඒක කපන විදිය, උණ බටේ ඈතුළෙ සුඹුල් තියන බව, තියුණු උණ පතුරකට අත කැපෙන විත්තිය, පුවක් පටියෙ කීරි තියෙන විත්තිය, පරිස්සං උනේ නැත්නං අතේ ඇනෙන බව, කිරිල්ල ගෙඩිය හැදෙන්නෙ පොකුරු විදිය බව, ඇඹුල බව තේරුනා.

පස්සෙ කාලෙ ලොකු උනාම, ඕකෙ මිකැනිසම් එක පාදක වෙල්ලා තියෙන්නෙ සරල පිස්ටන ක්‍රියාකාරීත්වය මත බව,

කිරිල්ල ගෙඩියෙ තියන සෙවෙල ගතිය උණ බටෙයි, ගෙඩියයි අතරෙ ලිහිසි මාධ්‍යයක් විදියට ක්‍රියාකරන බව,

ගෙඩියෙ කොළපාට පොත්තට යටින් තියෙන කෙඳි ලේයර් එක උණ බටයයි කිරිල්ල ගෙඩියයි අතරෙ වායු රෝධකයක් විදියට වැඩ කරනන බව,

අර ඉස්සෙල්ලම ඇතුල් කරපු ගෙඩිය අනෙක් කෙළවරෙන් වේගයෙන් පිටවෙන්නෙ,

දෙවෙනියට දාපු ගෙඩිය අර පුවක් කූරෙන් ඉස්සරහට තල්ලු කරනකොට ඇතිකරන වායු පීඩනයෙන් කියලත් තේරුණා.

බොහොම සරළ.. ඒත් විනෝදජනක වැඩක් කරනවනම් !!

Leave a Reply