මා කිසිවිටෙකත් ඔබට අවංක නැත !

මා කිසිවිටෙකත් ඔබට අවංක භාවයක් පෙන්වා නොමැත. මා එසේ වර්තමානයේ නොකලත් අනාගතයේදී හෝ එසේ ඔබ කෙරෙහි අවංක වේ යැයි සිතන්නේනම් ඔබ ඔබවම රවටා ගැනීමකි.

සමාවෙන්න මා කෙදිනක හෝ කිසිවෙකුටවත් පූර්ණ ලෙස අවංක නොවෙමි.

මා පමණක් නොව අන් කිසිවෙකුත් තවෙකෙකුට පූර්ණ අවංක භාවයක් පලකරන්නේ යැයි මම නොසිතමි. මාගේ කළු සුදු  ජීවිත අන්තයන් අතර බොහෝ විසල් කලාපයක් අළු පැහැයෙන් පිරී ඇත.

මේ බාහිරෙන් පෙනෙන රූපය ඇතුලේ සිටින සාන්තුවරයෙකු හෝ යක්ෂයෙකු නොවන මා කිසිම විටෙක කිසිවෙකුට පූර්ණ ලෙස විවෘත නොවෙමි.  කිසිවෙකුට මා පූර්ණ ලෙස වටහා ගැනීමට සුළු හෝ ඉඩක් නොතබමි.

වැරදීමකින් හෝ කිසිවෙකුට මාගේ සිතුවිළි කියවන්නට හෝ ඇතුලාන්තය දකින්නට හැකි වූයේනම් මා හිරගෙවල් හතක සිරකර දමනු ඇත්තේම ය. එහෙයින් මා පැලඳ සිටිනා වෙස් මූණෙන් සැබෑව සඟවා සිටිමි. දොරගුළු තදකරමි. එය මා උවමනාවෙන්ම කරන්නෙකි. එය මාගේ පැවැත්ම සඳහාමය. කිසිවෙකු ‍රැවටීමට ඉන් මා අදහස් නොකරමි.

මා සුන්දර මනුස්සයෙකු ලෙසම පමණක් ඔබ දකින්නේනම් රුචි වෙමි. කැරළි ගසන විප්ලව වාදියා කිසි වෙටෙකත් ඔබට හෙලි නොකිරීමට පරිස්සම් වෙමි.

නිතොරින් මන්දස්මිතියක් ම පෙන්වමි. ඒ පණු කෝම්බ වූ දත් ඔබ කෙරෙන් වසන් කිරීමටය. දරාගත නොහැකි වේදනාවක් පැමිනිකල්හි අඳුරු ගුහාවට වැදී හඬමි. නැවතත් ඔබ දකින්නට පැමිනෙන්නේ කඳුලු වියැකුනු පසුව මිස ඊට පෙර නම් නොවේ. මා දුර්වලයෙකු බව පෙන්වීමට අකමැත්තෙමි. මිනිස් වනාන්තරයේ දුර්වලයන්ට පැවැත්මක් නැති වග මා අත්දැකීමෙන් උගෙන ඇත. ප්‍රත්‍යක්ෂකොට ඇත්තෙමි. එහෙයින් සැබෑ දුර්වලයෙකු වූ මා ඔබ සැම ඉදිරියේ “පොර” මැට්ටෙන් ශරීරය වසා ශක්තිවන්තයෙකු ලෙස නැඟී හිඳිමි.

ශරීරයේ ඉහඳ පණුවන් නළියන වණ කැලැල් නොපෙනෙන්නට අඳිමි, පලඳිමි. ඉන් හමනා නහය හාරන දුගඳ නැසීමට සුවඳ ගල්වමි. කුණු වී ඕජස් ගලන ආධ්‍යාත්මය සුදු පිරුවටයකින් වසාගෙන ශාන්තු වරයෙකු ලෙසින් ඔබ ඉදිරියට පැමිනෙමි. ඒ සියල්ලම ඔබ සියල්ලන් අතර මාගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහාමය.

ජීවිතයේ අනේක විධ කටයුතු රාජකාරි මැද, ඇතැම් විට ඒවා මඟහැර මම බ්ලොග් ලියමි. එහි සටහන් කරන්නේ මාගේ ජීවිතයේ සිදුවීම් ය. මතක තබා හැනීමට අවැසි සිදුවීම් ය. චණ්ඩිකම් ය. වැඩිපුර ලැජ්ජාවක් නොහිතෙනා පාරාජයන් ය, අහිමි වීම්ය. කොළුකම් ය.

කිසිම විටෙක කළුවරේ දොර වහගෙන කරන දේවල් නොලියමි, අඳුරේ සැඟවා තැබීමට පරිස්සම් වූ කිසිවක් නොලියමි. කොටින්ම මාගේ ජීවිතයේ සිදුවූ, රෙද්දක් ඇඳන් කියන්නට බැරිවූ කිසිවක් මෙහි සටහන් කර නොතැබීමට පරිස්සම් වෙමි. ලියන්නේම මාගේ ප්‍රතිරූපය වර්ධයනය කෙරෙනා දේවල්මය. හාණි වන කිසිවෙක් ලියවෙන්නේම නැත. ඇතැම් විටෙක ආන්දෝලනාත්මක පෙලඹවීමක් ඇතිකරනා යමක් ඉඳ හිටෙක ලියවෙන්නට ඉඩක් නැත්තේ නැත. එයද මතුපිටින් බැලූ කල්හි සෘජු ලෙසම නොපෙනෙන, එනමුත් සැඟවූ යටි අරුතයකින් ප්‍රතිරූප වර්ධනය කරන්නන්මය. මාගේ සමාජීය ප්‍රතිරූපය එක අඟලකින් හෝ ඉහල නංවාගැනීමට මට නොදැනුවත්වම මා ක්‍රියාත්මක වෙමි. එය දලඹුවෙකුගේ ශරීරය පුරා ඇති විෂ ‍රැඳුනු සියුම් කෙඳි ‍රැස ඌ ආරක්ෂා කරනවා මෙන් මා ගොදුරු කර ගැනීමට බලා ඉන්නාවුන් ගෙන් ආරක්ෂා කරයි.

ඇතැම් විටෙක යමෙකුගේ විප්ලවකාරී අදහස් ඇති හෝ මට එකඟවිය නොහැකි කරුණු ඇති ලිපියක් කියෙවා හිතට නැ‍ඟෙන අවංකම හැඟීම ඊට යටින් සටහන් නොකරන්නෙමි. විටෙක සැර හොඳටම බාල කර හෝ සීනි දැවටූ පෙරුංකායං ගුලියක් වන් සටහනක් තබමි. ඒ කිසිවෙකුගේ හිත තැලීම මට තරම් නොවන්නේයැයි සිතෙනා බැවිනි. කිසිවෙකුගේ හරි වැරදි භාවය තීරණය කිරීමට මට අයිතියක් නැත.

මට සමාජය හැදීමේ භාරදූර වගකීමක් නැත. එවන්, මට පාලනය කරගත නොහැකි වගකීමක් ගැනීමටද කිසිම අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නැත. මම මගේ දරුවා හදාගනිමි. ඌ උගේ දරුවන් හදනු ඇත. මගේ සමාජ ශෝධනය එතනින් අහවරය. එනමුදු හිතුකොත් එකෙකු ඉඳහිට කොනිත්තමි, ඒ ඌ ආපසු හැරී මාව කොනිත්තන්නේ නැතැයි සිතුනොත් පමණි. ටොක්කක් ඇන්නත් පසුව හිස අතගාමි. එහෙත් යම් ලිපියකට තබනා සටහන පූර්ණ අවංක සටහනක් නොවෙන අවස්ථා ද නැත්තේ නොවේ. ඒ හැම විටෙකම ඒවා කඩු, කිණිසි නොවේ, හුදෙක් මල්, කඳුළු සහ සිනහවකි. එයින් ඔවුන්ට සතුටක් අත් වේනම් එයම මාගේ සතුටට හේතුවකි. මා එවන් ප්‍රතිසටහනක් මාගේ ලිපියක් යටින් සටහන් වී ඇතිබව දැකීම මට සතුටක් වන්නාසේම ඔබ ගේ සටහනකට යටින් ඔබගේ මතය හෝ ස්ථාවරය තහවුරු වන ප්‍රතිසටහනක් දැකීම ඔබටද සතුටක් වන බව දනිමි.

මා මුදල් හම්බකරගෙන නැත, එමෙන්ම මිනිසුන්ද හම්බකරගෙන නැත. මා සමාජශීලී සත්වයෙක් නොවේ. මුළුගැන්වී සිටීමට කැමැත්තෙමි. ලෙහෙසියෙන් කෙනෙකු හා මිත්‍ර නොවෙමි. මම බොහෝ විට මා ආරක්ෂාකාරීය යන්න තහවුරු වී නැත්නම් කම්ෆර්ට් සෝන් එකෙන් පිටතට යාමට අකමැතිය. එසේ නමුදු දන්නා අඳුනන මිනිසුන් බොහෝමයක් ඇත. මා ඔවුන් මිතුරන් ලෙස හැඳින්වීමට අකමැත්තෙමි. ඒ මිතුරා යන්නට මාගේ අර්ථකතනය වෙනස් බැවිනි. දන්නා කියනවුන් හා මිතුරන් අතර මා වෙනසක් දකිමි. බොහෝ කලකකට පෙර දන්නා කියන උන් වී සිට පසුව මිතුරු වී මා හා එක පළලේ ලගින්නට ඉඩ දුන් කිහිප දෙනෙක් මට ඇත. නමුත් ඇතැම් විටෙක උනට මා අවැසි විටෙක මා උන් අහලකවත් නැත. එය උන් මාගෙන් බිඳවීමට තරම් හේතුවක් නොවන බව, මට උන් අවැසි සෑම විටෙකම මා අසල හිඳීමෙන් ඔප්පු කර ඇත.

මෙය මාගේ වර්තමානයේ ඔබ ඉදිරියේ විවෘත වියහැකි උපරිමය ය. මින් එහාට මා වටා ඇති කෝශයේ එකදු සිවියක්වත් නොගලවමි. එසේ වුවහොත් මා පිළිස්සී යනු ඇත.

කොටින්ම මා පෘතුග්ජනය !

Leave a Reply