මැනේජරයට දෙකක් අනින්න

ඉතිං මල්ලි…. කොහොමද..

දිලීප් කතාව පටන්ගත්තෙ වෑන් එකේ පිටිපස්සෙ ඉඳල දෙවෙනි සීට් එකේ හරි බරි ගැහිල වාඩිවෙනගමන්. හැම අවුරුද්දකම වගේ සම වයසෙ නෑදෑ සහෝදරයො එක්ක යන ට්‍රිප් එක දෑවුරුද්දක්ම මඟ හැරුනත් මෙවර කොහොම හරි එන්න පුළුවන් වීමෙ සන්තෝසය ඒ වචන වල ගැබ්වෙලා තිබුන.

දන්නෙ නැද්ද අයියෙ.. ඔන්න ඔහේ ඉන්නව.

මොකෝ මල්ලි නිකං හුලං බැහැල වගේ…. මොකෝ ජානී එක්ක කොක්කක්වද්ද? හෙහ් හෙහ්.

හපෝ නෑ අයියෙ, ඒව ගානට කරගෙන යනව. ඕං ලබන අවුරුද්දෙ මැයිමාසෙ දිහාට නිවාඩු එහෙම ගන්න බලාගෙන ඉන්න ඕනෙ හරිය.

අප්පද බොල… ඒකත් එහෙමයි එහෙනං… සන්තෝසයි බං…. හැබැයි පු‍තෝ අර ධම්මිකය කොලා වගේ ‍තෝ මට විතරක් එන්නෙයි කියලනං නං කාඩ් එකක් දෙන්නෙ නෑ හරිද… උඹෙ ලිස්ට් එකේ තුන්දෙනෙක්ට ඉඩ තියාගං…

හරි හරි අයියෙ.. උඹයි අක්කයි කොල්ලයි ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ.. හෙහ් හෙහ්…..

එතකොට මේ හුලං බැහැපු සීන් එක රස්සාවෙ ජල්බරියක් නේද..?

අඩේ.. දිලීප්පයියට දිවැස් තියනවද?

හෙහ් හෙහ්.. ඕක තේරුං ගන්න දිවැස් මොටෝ බං, ආයෙ උඹල වගේ තනිකඩ කොල්ලන්ට ප්‍රශ්ණෙකට කියල තියෙන්නෙ රස්සාවයි පරස්තාවයි විතරක් වෙච්චිකොට.

දැං මොකෝ අවුල බං…. ?

මෙන්න මේකයි කියල හරියටම කියන්න දෙයක් නෑ අයියෙ. ඒත් මට නං දැන් එතන වැඩකරන එක එපා වෙලා තියෙන්නෙ. හෙන කැපිලි එතන තියෙන්නෙ.

කැපිලි කිව්වෙ මල්ලි?

ඩිපාට්මන්ට් මැනේජරයට පේන්නෙ මගේ වැරදිමයි. ඌට පොඩි වැ‍රැද්දක් ඇති මාව අල්ලගෙන දිගට හරහට ලෙඩ දානව. අනික උගෙ ෂෝ-කෝස් මේල්ස් වලට රිප්ලයි කරන්න ගියාම කොරවෙලා යනව. ඌ දාන්නෙම මාව හිරවෙලා යන පොයින්ට්ස්මයි.

තව ?

තව කියන්නෙ, දැං මම එතනට ගිහිල්ල අවුරුදු පහකටත් වැඩියි. අයිය දන්නවනෙ කම්පැනි එකක අවුරුදු පහක් කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙයිනෙ. සීනියර් කියල සතපහක සැලකිල්ලක් නෑ.. මට පහල ඉන්න එකාටත් සලකන්නෙ මට වගේ. ඉතිං අයියෙ එපාවෙන්නෙ නැද්ද මං අහන්නෙ?

අවුරුදු එක හමාරකින් ඉන්ක්‍රිමන්ට් එකක් ඇවිල්ල නෑ, ප්‍රමෝෂන් නෑ, ඊටත් මට තරම් පර්සනල් ඉෂූස් තියන එකක්වත් ඔතන වැඩ කරන්නෙ නෑ අයියෙ. අයියම දන්නවනෙ මට ගෙදර ගැන බලන්න ඕන, මල්ලිව ක්ලාස් යවන්න ඕන, අළුත් ගෙදර ෆවුන්ඩේෂන් එකෙන් එහාට යන්න අවුරුදු දෙකක් ගිහිල්ලත් බැරි උනා. අනික මැනේජරය මේ දේවල් ගැන හොඳටම දැනගෙන තමයි මේ ලෙඩ ඔක්කොම දාන්නෙත්.

ඊලඟට අනිත් උන්ගෙ වැඩත් මං අදින්න ඕන, උන් එන්නෙම පරක්කුවෙලා.. ඒත් උන්ට කිසිම ඇක්ෂන් එකක් නෑ ඔන්න මං නිවාඩුවක් ගන්න ගියාම දාහක් දේවල් කියනව. ඉතිං අයියම හිතල බලන්න එපා වෙන්නෙ නැද්ද කියල එහෙම තැනක වැඩ කරන්න.

හරි මල්ලි. අපි හිතමුකො ඔය ඔක්කොම හරිය කියල. ඒත් මල්ලී කම්පැණි එකක සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් කරන්න කලින් ගොඩක් දේවල් ටොප් මැනේජ්මන්ට් එකට හිතන්න වෙනව. ආයතනයේ ස්ථාවරත්වය, ඊලඟ අවුරුද්දේ අපේක්ෂිත ආදායම, රිස්ක් එක, අපේක්ෂිත වියදම…. ඔන්න ඔය වගේ මහා ගොඩක් දේවල්. හදිස්සි ඉන්ක්‍රිමන්ට් එකක් දීල ඊලඟ අවුරුද්දෙ බිස්නස් එක වහල දානවට වැඩිය නියමිත වෙලාවට ඒ දේවල් කරන්න තමයි ඕනම කම්පැණි එකක් කැමති.

අනික මල්ලි එක රුපියල් දාහක ඉන්ක්‍රිමන්ට් එකකින් උනත් අවුරුද්ද අන්තිම මහා විසාල බිලක් එකතුවෙනව ආයතනයට. මොකද උඹට විතරක් ඒක දුන්නොත් උඹත් එක්ක එක මට්ටමේ ඉන්න අනිත් උන් ඩිසපොයින්ට් වෙනව. එතකොට උන්ගෙ පර්ෆෝමන්ස් බහිනව. ඒක නිසා ගොඩක් වෙලාවට මුළු ආයතනයටම බලපාන පොදු සූත්‍රයක් යටතේ තමයි පඩි වැඩි කරන්නෙ. ඊට අමතරව ඒ ඉන්ක්‍රිමන්ට් එකට සමානුපාතිකව ඕ.ටී පැයකට ගෙවන ප්‍රමානය, ඊ.පී.එෆ්, බෝනස්…. ඔය වගේ දීමනා සේරම වැඩි වෙනව.

එතකොට අයිය කියන්නෙ අපි ඉන්ක්‍රිමන්ට් ඉල්ලන්න එපා කියලද?

පිස්සුද බං..? ඉන්ක්‍රිමන්ට් ඉල්ලපල්ල, හැබැයි ඒ ඉල්ලන දේ ඒ විදියටම නොවුනම මළ පන්නගෙන බෙරිහන්දෙන්න කලින් එහෙම වෙන්නෙ ඇයි කියල පොඩ්ඩක් තේරුම් ගන්නත් බලපන්. එහෙම නැත්නං කෙළවෙන්නෙත් උඹටමයි.

හෙහ් … උන් කොහෙද මට කෙළවන්නෙ, මේ මඟුලක් කට අස්සෙ තියාගෙන වෙන රස්සා හොයන්නත් බෑ. ගේමට ගේම ඉල්ලගෙන මාත් ඉන්නව. මොකෝ උන් මාව අස්කරන්නද ?

කම්පැණි එක්ක ගේම ඉල්ලන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි මල්ලී.

ඒව කොහෙද මාත් එක්ක අයියෙ, අනික උන් දන්නව මම වැඩකාරය කියල, මම ඔතනින් නැවතුනොත් ඩිපාට්මන්ට් එකම කලැප්ස් වෙනව බලාගෙන ඉඳැද්දි. ඒක නිසා මං මොනව කලත් උන්ට බෑ මාව අස්කරල දාන්න.

ගේම ඉල්ලනව කියල මල්ලි මොනාද කරන්නෙ ?

මොනාද මට කරන්න බැරි අයියෙ.. මමනෙ එන ක්ලයන්ට්සලගෙ මේල්ස් වලට ඇක්ෂන් ගන්නෙ.. ඉස්සර දත කාගෙන නොකා නොබී ඒවට රිප්ලයි කලාට දැං මම මගේ පාඩුවෙ, නිවිහැනහිල්ලෙ තමයි කරන්නෙ, සමහර ඉෂූස් සෝල්ව් කරන්න දවස හමාර යනව. ඔහොම යනකොට ලොක්කන්ට තේරෙයි හොඳට. හෙහ් හෙහ්.

ඒ කියන්නෙ මල්ලිට එන කැපිලි කෙටිලි නිසා මල්ලි ඉස්සර වගේ වැඩ කරන්නෙ නෑ … එහෙමද ?

ඔව් අයියෙ, ආයෙ මට එපා උනොත් එපා උනාම තමයිනෙ. දන්නවනෙ මගෙ හැටි.

මම මල්ලිගෙන් දෙයක් අහන්නද ?

අහන්න අයියෙ ඕනෙ දෙයක්.

අපි දැන් හිතමු මල්ලිට මේ කම්පැනි එකෙන් ලොකු අසාධාරණයක් වෙනව කියල. මල්ලි බලාපොරොත්තුවෙන්නෙ මොනවගේ සාධාරණයක් ද මෙතනදි ?

සාදාරනයක් කියන්නේ අයියේ….. මේ… මේ.. මගෙ පස්සෙන් එලවන්නෙ නැතුව, මගෙ පාඩුවෙ වැඩක් කරගෙන යන්න දෙනවනං මට ඇති.

හරි, අපි මෙහෙම හිතමු. ඔන්න මල්ලි තමයි ඔය ඩිපාට්මන්ට් එකේ හෙඩ්. මල්ලිගෙ යටතෙ ඉන්නව වැඩ කරන්න උනන්දුවක් නැති, හැමතිස්සෙම ඇරගන්ට්, ඩල් කැ‍රැක්ටර් එකක් තියන මනුස්සයෙක්. එතකොට මල්ලිට මිනිහ ගැන මොකක් හිතෙයිද ?

දිලිප්පයියත් ඔය වටෙන් එන්නෙ මං වැරදියි කියල කියන්න නේද?

නෑ අනුරාධ මල්ලි.. මම හදන්නෙ ඔයාගෙ ප්‍රශ්ණෙ ඔයාටම තේරුම් කරවන්න, ඔයාව ඔය කියන ඩිපාට්මන්ට් හෙඩ්ගෙ සපත්තුදෙකට බැස්සම මෙතන තියන අවුල ලිහාගන්න පුළුවන් වෙයි.

ඉතිං කියන්නකො.. මල්ලි ඒ මිනිහට මොනව කරයිද ?

මංද අයියෙ..

හරි මං ලේසි කරන්නම්කො. ඔන්න ඒ මනුස්සය ප්‍රඩක්ෂන් ලයින් එකේ මොනා හරි අවුලක් කරනව, එතකොට මල්ලි මොනා කරයිද?

හ්ම්.. ඉන්ක්වයර් කරයි. ඩිසිප්ලිනරි ඇක්ෂන් ගනී.

හරි, ඊලන්ඟ දවසෙ මේ මනුස්සය ග්‍රම්පි මූඩ් එකෙකින් ඔ‍ෆිස් එකේ වැඩ ඔනවට එපාවට කරයි, එතකොට ඔයා මොනව කරයිද?

මුකුත් කරන එකක් නෑ.. ඒත් මිනිහ ගැන පොඩි අප්සට් ෆීලිං එකක් ඇතිවෙයි.

හ්ම්….

හැමදාම ඔය වගේ ඒ මනුස්සය මෙලෝ රහක් නැති විදියට ඔ‍ෆිස් එකේ ඉන්නකොට ඔයා මොනව කරයිද ? ඔයා ඇයි හිතන්නෙ මෙලෝ රහක් නැති මනුස්සයෙකුට පාඩුවෙ රස්සාව කරගෙන යන්න දීල, සැලරි ඉන්ක්‍රිමට්ස් ඒ මදිවට තව බෝනසුත් දෙන්න ඕනෙ කියල ?

මල්ලී ප්‍රයිවට් සෙක්ටර් එකේ තියන කම්පිටිෂන් එකත් එක්ක ඇරගන්ට් වෙලා බෑ, වැල යන අතට මැස්ස ගහන්න ඉගෙන ගන්න, එහෙම නැතුව සවයිව් වෙන්න බෑ. හැබැයි එතනදි අදහස් වෙන්නෙ නෑ රස්සාව ‍රැකගන්න ලොක්කට ගොට්ට අල්ලන්න ඕන කියල. හරියට ඔළුව කල්පනා කරනවනම් කොන්ද කෙලින් තියාගෙන රස්සාව කරන්න ඕන තරම් ඉඩ තියනව.

ඒ උනාට අයියෙ මේ ම්නිහ මට කැපිල්ල දාන එකමනෙ වැඩේ. මට ඒ වෙලාවට හැටක් විතර අනින්න හිතෙනව ඌට.

මෝඩ වැඩ කරන්න එපා මල්ලි.. ඩිපාට්මන්ට් හෙඩ් එක්ක ඇරගන්නව කියන්නෙ ගොඩක් වෙලාවට කැරියර් එකට බැරියර් එකක් දාගන්නව වගේ වැඩක්, මනුස්සයෙක් එක්ක ඇරගන්න යන්නෙ නැතුව රස්සාව කරන එක වෙනමම කලාවක් බං. අනික මම හිතන්නෙ නෑ හොඳ මැනේජර් කෙනෙක් කිසිම වෙලාවක තමන්ගෙ කෝ-වර්කර්ස්ලට ඇණයක් වෙනව කියල හේතුවක් නැතුව. මොකද මිනිහ දන්නව හැමෝගෙම ඔප්ටිමම් කන්ට්‍රිබියුෂන් එක නැත්නම් දවස අන්තිමට ෆෙල් වෙන්න මිනිහමයි කියල.

තව එකක් මල්ලි, අමාරු සි‍ටුවේෂන් එකකදි ඔයා කොහොමද සවයිව් වෙන්නෙ කියන එකත් සෑහෙන්න වැදගත් විදියට නෝට් ඩවුන් වෙනව ඔයාගෙ හයිරාකි එකේ කොච්චර උඩට යනවද කියන එක තීරෙණය කරනකොට. ඒක නිසා මල්ලි දැනට වැඩ කරන කම්පැනි එකේ කැරියර් ඩිවලොප්මන්ට් එකක් බලාපොරොත්තුවෙනව නම්, මැනේජ්මන්ට් එකත් එක්ක ලෝයල් විදියට වැඩකරන්න, ප්‍රශ්ණ එන වෙලාවට නෙගෝෂියේට් කරගෙන මැනේජ් කරගන්න පුරුදුවෙන්න වෙයි.

හැබැයි එහෙම වැඩ කරගෙන යන අතරෙත් මල්ලිට හිතෙනවනම් මේක හරියන කෙළියක් නෙමෙයි කියල කරන්න තියන හොඳම වැඩේ තමයි පුළුවන් තරම් කාලයක් හොඳින් වැඩ කරල හිත හොඳින් වෙන තැනකට යන එක.

මොන එකකටද අයියෙ වැඩ කරන්න බැරි නම් හොඳ හිතින් අයින් වෙන්නෙ, කෙළවෙලාම යන්න කියල අරූගෙ මූණට දෙකක් දීල වෙන එකකට යනව මිසක්.

ඔයා දන්නවද අලුතින් රස්සාවකට යනකොට අළුත් කම්පැණියෙ අය ඔයාගෙ එම්ප්ලොයිමන්ට් රෙකෝඩ් එකෙක් ඉල්ලගන්නව ඔයා අන්තිමට වැඩ කරපු කම්පැනි එකෙන්. රෙපියුටේෂන් එකක් තියන ස්ටෑන්ඩඩ් එකක් තියන කම්පැණි එකක ඉම්ප්ලයිඩ් රෙස්පොන්සිබිලිට්ය් එකක් තමයි නිවැරදි එම්ප්ලෝයී රෙකෝඩ් එකක් දෙන එක. හදිස්සියෙවත් ඔයා ප්‍රශ්ණයක් ඇතිකරගෙන නම් රිසයින් වෙලා තියෙන්නෙ, එහෙමත් නැත්නම් ඔයාගෙ සේවා කාලය සතු‍ටුදායක නෙවෙයි නම් ඔයාට අළුත් රස්සාව ලැබෙන්න තියන ඉඩකඩ බොහෝම අඩුයි.

ඒක නිසා මල්ලි නිවිහැනහිල්ලෙ හිතල බලන්න ඇයි හෙඩා ඔයා එක්ක වලිබර වෙලා තියෙන්නෙ කියල. කේන්තියෙන් නැතුව සාධාරණ ඇහැකින් බැළුවොත් ඔයාට ප්‍රශ්ණෙ තේරුම් ගන්න පුළුවන් වෙයි. මොකද මේ ප්‍රශ්ණෙන් එළියට එන්න ඕන ඔයා විසින්මයි. එහෙම නැතුව ඔයා දැනට කරගෙන යන විදියට දිගටම ගියොත් සිද්ධවෙන්නෙ ඔයා තව තවත් මඩ වලේ ගිලෙන එක මිසක් ගොඩ ඒමක් නම් නෙමෙයි අනුරාධ

Leave a Reply