රිදෙන බලු වචන

බල්ලා !!!!!

කවුරුහරි ඔය වචනය ඇහුනම අමනාප වෙනවද?

සමහරෙකුගෙ උත්තරය “ඔව්” වෙනකොට තවත් සමහරකගෙ උත්තරය “නෑ”.

ඇයි මේ එකම ප්‍රශ්ණයට උත්තර දෙකක්?

උත්තර දෙකම නිවැරදි ද? උත්තර දෙකම වැරදි ද? එහෙම නැත්නම් එකක් හරි අනික වැරදි ද?

නෑ…. උත්තර දෙකම හරි !!!

එහෙම වෙන්නෙ ප්රශ්ණය යොමුවෙන්නා “බල්ලා” කියන වචනය දකින ආකාරය අනුව. එහෙම නැත්නම් වචනය යොමුවූ පාර්ශවය අනුව. එකම පුද්ගලයාගෙන් අවස්ථාවන් දෙකකදී කලින් වතාවෙ අහපු එකම ප්‍රශ්ණයට නැවතත් ඇසුවොත් ලැබෙන පිළිතුරත් එකක් නොවෙන්න පුළුවන්. එහෙම වෙන්නෙත් ඒ පුද්ගලයා ඒ ඒ අවස්ථාවේ “බල්ලා” කියන වචනය දකින ආකාරය අනුව.

දැන් අපි මේක පොඩ්ඩක් කරුණු කාරණා ඇතුව කියවල බලමු,

බල්ලාට “බල්ලා” කියල කිව්වට කිසිම ගැටළුවක් නෑ. කිසිම කෙනෙක් විරුද්ධ වන්නෙත් නෑ, බල්ලා ඒකට කැමතිද නැද්ද කියල දැනගන්න අපිට ක්‍රමයක් නැති උනත්, අපිට “මනුස්සයා” කිව්වම අමනාපයක් ඇති නොවෙනව වගේ බල්ලත් අමනාප වෙන එකක් නෑ කියල හිතන්න පුළුවනි. නමුත් මොනයම්ම මොහොතක හරි මනුස්සයෙක්ට “බල්ලා” කිව්වොත්…. අන්න එතන ප්‍රශ්ණයක් !!

ඇයි ඒ?

බල්ලා තමන්ට “බල්ලා” කියපු කෙනාට බුරාගෙන නොපැන්නට මන්නුස්සයාට බල්ලා කිව්වම ලැබෙන ප්‍රතිඵලය වෙනස්. එකම වචනයට පාර්ශවයන් දෙකකි ප්‍රතිචාර දෙකක්.
මනුස්සයෙක්ට ඒ වචනය ආරෝපනය උනාම එතන තියෙන්නෙ නින්දා සහගත බවක්. බරක් ඇති වචනයක්. සිව්පාවෙක් නොවන බව දැන දැනම මනුස්සයෙක් බව දැන දැනම ඒ තැනැත්තාට “බල්ලා” කියල ආමන්ත්රණය ලොකු බරක් තියන වචනයක්.

බල්ලාට “බල්ලා” කියද්දි නොතිබිච්ච “බරක්” මනුස්සයාට “බල්ලා” කියද්දි ඇතිවුනේ කොහොමද? ඒක කොහෙන් ආපු බරක්ද?

බල්ලාට “බල්ලා” කියනකොට ඒ වචනයෙ අපිට කෙලින්ම නොදැනුනත් බල්ලාගේ ගතිගුණ මෙය යැයි සමාජ සම්මතයන් පොදියක් ගැබ් වෙලා තියනව. ඒ ගතිගුණ බල්ලාට ආවේණික නිසා අපිට ඒ පිළිබඳව විශේෂ හැඟීමක් නෑ. ඒක හරියට පොල් ගහක පොල් හැදීම අරුමයක් නොවෙනව වගේ.

ඒත් කිසියම් වෙලාවක මනුස්සයෙකුට “බල්ලා” කිව්ව ගමන් අන්න අර වචනය පිටිපස්සෙ හැගිලා තිබුන බල්ලාට උරුම වෙච්ච “බලු ගතිගුණ” සේරම ටික එලියට එනව. ඊට පස්සෙ ඒ දේවල් සේරම ටික අර මනුස්සයාට ආරෝපණය කරල තමයි නවතින්නෙ.

මේ ආරෝපණය සිද්ධවෙන්න කලින් අපි බල්ලා පහත් සතෙක් හැටියට මැනගන්නව. හැබැයි ඒ මැනගැනීමෙන් පස්සෙ ඒ මානයන් “මනුස්සයා” එක්ක සංසන්දනය කරන්න යන්නෙ නෑ. සංසන්දනය කරන්න බෑ. ඒ සමානත්වයක් නැති දේවල් එකිනෙකට සංසන්දනය කරන්න බැරි නිසා. බස් එකයි ලොරියයි යම් යම් පැතිවලින් සංසන්දනය කරන්න පුළුවන්, ගඟයි මූදයි සංසන්දනය කරන්න පුළුවන්. ඒත් “බල්ලයි” “මනුස්සයයි” සංසන්දනය කරන්න බෑ. නමුත් ආරෝපණයක් කරන්න පුළුවන්.

එතනදි වෙන්නෙ බල්ලාගේ “බලු ගති” “මනුස්සයාට” ආරෝපනය කරල මනුස්සයාට ස්වභාවිකවම උරුම වෙලා තියන ගති ලක්ෂණ යටපත් කරල දැමීම. එතනදි මනුස්සයා ගැන පහත් හැඟීමක් ඇතිවෙනව.

ජීවිතයේ තියන භෞතික දේ ගැන සිතීම හරිම ලේසියි, ඒත් එතනින් පොඩ්ඩක් එහාට ගිහිල්ල භෞතිකව ස්පර්ෂකරල බලන්න බැරි දෙයක් ගැන කතාකරනකොට, හිතන කොට ඒ දේ තේරුම් යන්නෙ පුද්ගල බද්ධ කාරණාවක් හැටියට.

මම “සතුටින්” කිව්වම ඒ සතුටේ ප්‍රතිඵලයක් විදියට ඇතිවුන සිනාවක් දකින්න පුළුවන් උනාට කිසිම වෙලාවක “සතුට” දකින්න බෑ. මගේ සතුට මම තේරුම් ගන්නා විදියට නෙමෙයි තවකෙනෙක් තේරුම් ගන්නෙ. ඔහු එය දකින්නේ ඔහු සතුට නිර්වචනය කරන විදියට. සමහර විට ඔහු සිතන සතුට නොවෙන්න පුළුවන් මම ඒ මොහොතේ අත් විඳින්නෙ.

එතනින් තව පොඩ්ඩක් එහාට ගිහිල්ල අපි ගනිමු මිනිස්සුන්ගෙ නමක්

ධර්මදාස !!

ඔතන පැහැදිලිවම පේන තේරුම තමයි “ධර්මයේ දාසයා” කියන එක, දාසයා කියන්න එක ආයෙ අමුතුවෙන් මෙතන තේරුම් කරන්න උවමනාවක් නෑ. ඒකෙන් වෙන්නෙ අනවශ්‍ය විදියට ලිපිය දිග වෙන එක විතරයි. “දාසයා” කියන එක විවිධ භාෂා වලින් ලිව්වත්, කිව්වත් ඒකෙන් ඇඟවෙන්නෙ එකම දෙයක්!

නමුත් “ධර්ම” කියන කොටස ඊට හාත්පසින්ම වෙනස්, එක එක පුද්ගලයා “ධර්ම” දකින්නෙ තම තමන්ගෙ දැක්මට අනුව. එතනදි ඉස්ලාම් භක්තිකයාගෙ ධර්මය කිතුනුවාගේ ධර්මයට වඩා වෙනස් [යම් යම් පැතිවලින්, ඒ දෙකේම මූලාරම්භය පේගන් බවට තියන තර්ක පසෙක ලා සැලකීමේදී]. බෞද්ධයාගේත් එසේමයි. එතකොට “ධර්ම” කියන්නෙ එකිනෙකට වෙනස් අර්ථයක් ඇති දෙයක්.

“ධර්ම” කියන සිංහල අකුරු තුනෙන් ඇඟවෙන දේ, දැක්වෙන දේ නමක් විදියට භාවිතා වෙන්නෙ සිංහලයන් අතරේ විතරක් වෙන්න ඕනෙ. එතකොට සිංහලයන් බහුතරයක් බෞද්ධයන් වීම තුල [නමට හෝ !] සමාජ සම්මතයෙන් “ධර්ම” කියන නම සිංහල බෞද්ධ කියා හඳුන්වාගන්නා සමාජ කොටසට අයිතියි. “ධර්මදාස” කියන නම නාමික බෞද්ධයෙකුට යෙදුවා කියල කිසිම කෙනෙක් අමනාප වෙන්නෙ නෑ. මොකද කිසිම කෙනෙක් ඒ මනුස්සයාගෙ “බෞද්ධ” කම මනින්න යන්නෙ නැති නිසා.

ඒක නිසා තමයි “ධර්මෙ” චන්ඩියෙක් වීමත් “ධර්මදාස” ලෝක හොරෙක් වීමත් “සුධර්මා” ගණිකාවක් වීමත් ලොකු සමාජ කතිකාවතක් දක්වා දුර නොයන්නෙ. කොටින්ම කිව්වොත් අර කලින් කියාපු “බල්ලා” තරමට “ධර්ම” නමක් විදියට බර නෑ මනුස්සයන් හා ගලප්පන්න යෑමේදී.

ඒත් ඊලඟට ගන්න යන වචනෙ සෑහෙන්න බරක් ඇති එකක්!

සිද්ධාර්ථ !!

නමේ තේරුම “අර්ථයක් සිද්ධකරන්නා” යන්න උනත් බෞද්ධාගමිගකයන්ට ඒක ඊට වඩා බරක් ඇති වචනයක්. පරම්පරා ගනනාවක් තිස්සේ බරක් පැටවුන වචනයක්. ඒක නිසා දෙමව්පියන් “සිද්ධාර්ථ” කියන්නෙ නමක් විතරක් උනාට තමන්ගෙ ළමයට ඒ නම තියන්න හිතන්නෙ නැත්තෙ. කිසිවෙක් එහෙම කරන්න එපා කියල නීතියක් නොදැම්මට එහෙම කරන එක හොඳ නෑ කියන සමාජ ඇඟවීමක් තියනව. හැබැයි ඉන්දියාවෙ අනන්තවත් ගෞතම් ලා සිද්ධාර්ථලා ඉන්නවා. ලංකාවෙ ජනප්‍රිය නැත්තේ ඇයි කියන එක වෙනම කතා කරන්න ඕන සංස්කෘතික කාරණාවක්!

අල්ලා !!! ජේසුස් !!!! ඒ දෙකක් එහෙම්මම වෙන්න ඕනෙ මට හිතෙන විදියට.

දැන් අන්තිම වචනය.

සිද්ධාර්ථ බුදු උනා !! බුද්ධා !!!

සිද්ධාර්ථ කියන වචනෙට වඩා බොහොම වෙනස් වචනයක් තමයි ඒක. බුද්ධ කියන්නේ මොනවගේ කෙනෙක්දැයි කියන්න කිසිම කෙනෙක් දන්නෙ නෑ යෙමෙක් බුද්ධ කියන්නේ මේන්න මේ වගේ තත්වයකයටය කියල ලියල තියන දෙයක් ඒ ආකාරයෙන්ම පිලි අරගෙන පුනරුච්චාරණය කරනව ඇරෙන්න. භෞතිකව හිතුවොත් විවිධාකාරයේ මීට පෙර දැකපු පිළිම, සිතුවම් පෙලක් මැවිලා නැතිවෙලා යනවා වගේ පෙනෙයි, නමුත් ඒවා අතරෙනුත් මේ තමයි බුද්ධ කියල පැහැදිලිව තෝරල බේරල ගන්න එකක් නැතිවෙයි.

බුද්ධ කියන්නෙ පුද්ගලයෙක් නොවී පුද්ගලයෙක් පත්වුනා යැයි කියන තත්වයක් නිසා ඊට ලඟාවූ කෙනෙකුට හැරෙන්න බුද්ධ කියන වචනය තේරුම් ගන්න බෑ, නමුත් අපි භාවිතා කරනව පැටවුණු බර වැඩි කමටම තේරුමක් නොදැන. ඒ වචනය වෙනුවෙන් පෙනී සිටිනව ඒ වචනයෙක් ඇඟවෙන්නේ කුමක්දැයි නොදැන, ඒ චරිතය ආශ්‍රය කරගෙන විවිධ නිර්මාණ කරනව මොකක්ද කියල නොදැන. කළුවර කාමරයක ඇති අඳුර අතින් අල්ලන්න හදනව වගේ.

ස්තූතිය: ආචාර්ය ඊ. ඩබ්ලිව් අදිකාරම් වෙත!

Leave a Reply