ලොවි සම්බෝල

ඉස්සර අපේ අච්ච්ලගෙ ගෙදර මිදුලේ තිබුන ලොවි ගහක්. ලොවි විතරක් නෙමෙයි තව ගස් තිබුන ඒත් මේ කතාව ලොවි ගැන.

ඔය ලොවි ගහේ ගෙඩි හැදුනම බලන්න හැඩයි, හරියට රතුපාට, ලා රෝස පාට පුංචි බල්බ් දාල වගේ. මං  කන්න ආස තද රතු පාට ගෙඩිවලට වැඩිය රතු දුඹුරැ පාට වෙන්න ඉදුන ගෙඩිතමයි. ඒ වගෙ ඇඹුල අඩුයි. මෙලෙකයි.

මං නම් ලුණු කැටයක් එක්ක මිසක් ලොවි කාල නෑ ලුණු කැටයක් හොයාගන්නම නැති වෙලාවක ඇරෙන්න.

අවුරුදු තිහකට විතර කලින් ලුණු කුඩු තිබුනෙ නෑ මගෙ හිතේ. තිබුනත් අපි උන්න දිහාවෙනං තිබුනෙ නෑ.

ආච්චි ඔය ලුණු කැට දාල තිබුනෙ කළුම කළුපාට ලොකු පොල් කට්ටක වතුරත් එක්ක, වැඩිපුර ලුණු ටික තිබුනෙ දුම උඩ දුං වැදිච්ච මුට්ටියක. ඒක වහල තිබුනෙත් දුං ගැහිලම කලු වෙච්ච පොල් කට්ටකින්.

අත ලඟම ඇඹුරුංගල කිට්‍ටුවෙන් තිබුන පොල්කට්ටෙ ලුණු මට කිසිම වෙලාවක හරිගියේ නෑ. ඒකෙ තිබුන ලුණු කැට වතුරට හේදිලාම හැම වෙලාවෙම තිබුනෙ රවුං වෙලා.

මගේ ලොවි කෑමේ මෙහෙයුමට ඕනෙ කලේ තියුණු උල් තියෙන ලුණු කැටමයි. අනික මට ඒ කාලෙ හිතුනේ වතුරට දියවෙච්ච ඒවයේ ලුණු රහ අඩු ඇති කියලා. ඒක හන්දා මං ලොවි කන්න ගත්තෙම අර දුමේ තිබුන මුට්ටියෙන්.

මොකටද දන්නවද මට අර උල් තියෙනෙ ලුණුම ඕන උනේ ?

මං හරියට ආස කලා අර රතු දුඹුරැ පාට ලොවි එක අතක අල්ලෙ තියල අනිත් අතේ අල්ලෙන් බොහොම යාන්තමින් රෝල් කරල මෘදු කරල,  ලුණු කැටේ උල පැත්තෙන් ඇතුලට යනකන්ම අනින්න.

එහෙම ඇනල ඩින්ගක් වෙලා තියල තිව්වම ලොවි ගෙඩිය ඇතුලෙ අර ලුණු කැටෙ රහ විහිදෙනව යන්තමින්. ඊටපස්සෙ හක්කෙ තියල එකපාරටම හපනව අර ලුණු කැටේත් එක්කම ලොවි ගෙඩිය. එතකොට වැඩිය ඇඹුල් රහ දැනෙන්නෙ නෑ.

ලොවි ගෙඩියේ ලුණු ඇණලා කන එකට වැඩිය නියම කෑම තමයි ගම්මිරිස්, කොච්චි එහෙම දාල හදන සම්බෝලෙ.

මේ තියෙන්නේ මීට අවුරුදු තිහකට විතර කලින් ගමේදී ඒවා හදවාගෙන කාපු හැටි,

මෙන්නෙ මේව තමයි ඕන කරන්නෙ.

  • අර කලින් කිව්ව වගේ මෙරූන් පාට ලොවි ගන්න පුලුවන් නම් මරු.
  • ඊලහඟට ගම්මිරිස් ඇට ටිකක්
  • කොච්චි කරලක්. එකක් හොඳටම ඇති, මෙතනදි කොච්චි ගන්නේ සැරටම නෙමෙයි, සුවඳට සහ අමුතු රසට.
  • ලුණු [සම්බෝලෙටනං කැට උනත් කුඩු උනත් එකයි]
  • ඇඹුරුං ගලක්
  • මැටි, වීදුරු හරි ප්ලාස්ටික් භාජනයක්

ලොවි ගෙඩි ටික හොඳට හෝදල නැටි එහෙම අයින් කරල තෙත බේරගන්න.

ඊටපස්සෙ ගම්මිරිසුයි, කොච්චි කරලයි ලුණුයි හොඳට අඹරගන්න ගලේ දාල. දැන් ඒ ටික අර මැටි හරි වීදුරු හරි ප්ලාස්ටික් හරි භාජනයට දාක පැත්තකින් තියන්න.

ඊටත් පස්සෙ ලොවි ගෙඩි දෙක දෙක වගේ ගල උඩින් තියල මහ හයියෙන් නැතුව දෙතුන් පාරක් අත්ගලෙන් හෙමින් තලාගන්න. මතක තියාගන්න ලොවි අර පොල් සම්බල් වගේ අඹරනවා එහෙම නෙමෙයි.

ගෙඩි දෙක දෙක වගේ දාන්න කිව්වෙ ගොඩක් දෑම්මොත් සමහර විට තලන්නත් කලින් ගලෙන් බිමට රෝල් වෙන්න පුළුවන්. අනික ලොවි තලන කොට එලියට එන ඉස්මගතිය අහක යන්න බැරිනෑ. අමතක නොකර ඒකත් අර භාජනයට දාගන්න.

දැන් ඔක්කොම තලල ඉවරනං, ගලේ තියෙන සුන් බුන් ඔක්කොමත් අර භාජනයට දාගෙන ඇඟිලි වලින් අතගාන්න හොඳට ලුනු ගම්මිරිස් ලොවිත් එක්ක සීසන් වෙන්න.

ඔන්න හදලා ඉවරයි, දැං එනන් ඕන දිවට කෙළ උණන හොඳ සුවඳක් !

ඒ කියන්නේ කන වෙලාව.

මේ වෙනකොට ලොවි සම්බෝල හදල විනඩි දහයක් විතර ගිහිල්ල හින්ද ඉස්ම ටිකක් වැඩිපුර එකතුවෙලා. ඒකට හරිම ලස්සන රතු පාටක් තමයි තියෙන්නේ

ඊට පස්සේ ඉතිං මේ බාජනේත් අරගෙන ගිහිල්ලා ඉස්සරහ මිදුලට කකුල් දාල එහෙම හරි බරි ගැහිලා වාඩිවෙනවා ගෙදර ඉස්සරහ ලොකු උස පඩියෙ .

එතනින් පස්සේ ඉතිං මෝලේ දානවා වගේ තමයි, කාගෙන කාගෙන යනවා.

කන එක නැවැත්තුවොත් තමයි කටදැවිල්ල දැනෙන්නෙ. ඉතිං පලවෙනි අදියර නවත්තන්නෙ අන්තිම රොඩ්ඩත් බඩට ගියාට පස්සෙ තමයි.

ඊට පස්සෙ තමයි ජොලිම වැඩේ තියෙන්නෙ. මං කලිං කිව්වනෙ අර ලොවි සම්බෝලෙ ඉස්ම හැදෙනව කියල. ඕක රතුපාරයි, කලුපාට ගම්මිරිස් කෑලි පාවෙනව.

අඩියෙ ඉඳල හිටල අතට අහු නොවිච්ච ලොවි රොඩුයි ලොවි ඇටයි තියෙනව. ටිකත් එක හුස්මට බීලා තමයි ලොවි සම්බෝල කෑම හරියටම අහවර කරන්නෙ.

හෙනම හෙන සැරයි ඕක ගම්මිරිස් වැඩි වෙච්ච දවස් වලට. මං නං කට දැවිල්ල උහුලගන්නම බැරි උනාම ඒ කාලෙ මං ගේ වටේත් දුවලා තියනවා.

ඩිංග වෙල්ලාවකින් කට දැවිල්ල අඩු උනාට පහු වෙනකොට එනව පොඩි බඩ දැවිල්ලක්. ඒකෙත් පොඩි පහේ ගතියක් නැත්තෙම නෑ.

හැබැයි මොන දැවිල්ල ආවත් ආයෙ දෙතුන් දොහකට පස්සේ මම ආයෙ ලොවි ගහේ ගෙඩි වලට කුරුමාණම අල්ලනවා.

ඒ තරමට ඒක රහයි !!

 

Leave a Reply