වාමාංශික දාඩිය ගඳ

චික් විතරක්…

ඇයි මොකෝ බං?

හප්පෝ බං බලහංකො මූගෙ හඩු ගඳ….

එහෙම කියන්න එපා බං, ඔය එන්නෙ දුප්පත් මිනිහගෙ ජීවන සුවඳ

ආච්චිගෙ රෙද්ද.. ඇයි ඕකුන්ට හැන්දෑවට පොල් මුඩ්ඩයි සබං කෑල්ලයි අතට අහුවෙනෙ නැද්ද අතුල්ලක නා ගන්න?

උඹ නං කියයි, උන්ට ජීවත්වෙන්න කරන්න තියන අරගලයත් එක්ක බැලුවම, නාන එක බොහොම අවශේෂ කාරණාවක් මචං.

අනේ පලයං බං යන්න. උඹෙ වාමාංශික තර්ක හැම රෙද්දටම ඔබන්න හදන්න එපා. එහෙනං හේනෙ කුඹුරෙ නැහිච්ච උඹලයි තාත්තගෙයි අපේ තාත්තයි ඇඳුං වලින් උදේ පාන්දර සැවැන්දරා පුසුඹ ආවෙ කොහොමෙයි?

ඒ මචං ඉස්සර මිනිස්සු හම්බ කලාට තම තමන්ගෙ වැඩ කටයුතු කරගන්න පොඩි හරි වෙලාවක් තිබුන. දැං එහෙමද, උදේ ඉඳං නැහෙනව මිනිස්සු.

මගෙං මුකුත් අහගන්න එපා උඹ. මුන්ට රස්සාව අහවර වෙලා බෝතලේට සෙට් වෙන්න වෙලාව තියනව, ඒත් නාන්න වෙලාවක් නෑ.. කාලකණ්නි කම මිසක් වෙන මොකක්ද.

වැඩකරන ජනතාවට කාලකණ්නිය කියල කියන්න එපා බං. උන්ට අධ්‍යාපනයක් නෑ, විකුනන්න දෙයක් නෑ. ඉතිං උන් විකුනන්නෙ උන්ගෙ දාඩිය.. දාඩිය කොහොමත් ගඳයි බං.

හොඳට බලහං මුගෙ ශර්ට් එකේ කිහිල්ල දිහා, බලපං කී දොහක දාඩිය තට්‍ටු වේලිච්ච පාරවල් තියනවද කියල. උඹ දැනුත් කියනවද අද වැඩ කරද්දි දාපු දාඩිය කියල?

ඔව් මිනිහො, ඔය ඒ මනුස්සය දවස් ගානක් වැඩකරද්දි දාපු දාඩිය තමයි…

උඹල මහ පුදුම සත්තුජාතියක් බං. ඇස් පනාපිට පේන්න තියන ඇත්ත පිළිගන්න බැරි තරං බොලා අන්ධයි.

අපිව අන්ධ කෙරෙව්වෙ උඹලගෙ පන්තියෙ එවුන් තමයි මචං.

මගේ පන්තිය.. මොකක්ද ඒ.. කියහං බලන්න.

ධනපති පන්තිය යකෝ….!

බූරු කතා කියන්න එපා බං. බොලයි තාත්තයි අපේ තාත්තයි අයියයි මල්ලියි.. ‍තෝයි මායි ගියේ එකම ඉස්කෝලෙට.. ඒත් තොට එක විභාගයක් පාස් කරගන්න බැරි උනා.

ඉතිං?

ඉතිං උඹ ඔය කියන නිර්ධන පන්තියෙ නැවතුනේ ආසාවටද එහෙමත් නැත්නං එක විභාගයක්වත් පාස් වෙන්න බැරිවෙච්ච හන්ද ද?

පලයං මිනිහො යන්න…

හිටපං මං කියල ඉවර නෑ, උඹට මතකද මං කැම්පස් තේරිච්ච දවසෙ එච්චර කාලයක් ගෙදරට වහං කරන් තිබිච්ච මලිතිගෙයි මගෙයි සම්භන්දෙ අපේ තාත්ත්තට කියල මට ගුටි ඇන්නුව.

ඔව්..ඉතිං.. උඹ හිතුවද අඩු කුලේ එකියක් අපේ පරම්පරාවට එකතු වෙනවට ලොකුතාත්ත මනාප වෙයි කියල. ‍තෝ විභාග පාස් උනා නෙමෙයි මහ රජ්ජුරුවො උනත් පරම්පරාව නහන්න දෙන්න බෑ.

ආ.. එහෙනං මට මේකට උත්තර දීපං… එදා උඹට මලිතිගෙ තාත්ත පෙරහැරේ නටනකොට දාපු දාඩිය පුසුඹ හැහුවෙ නැද්ද?

පලයං යන්න ප්‍රතිගාමියා !!

Leave a Reply