ෂර්ලොක් හෝම්ස් ද ඇඩ්වෙන්චර් ඔෆ් ප්ලාස්ටික් හාල් – 2

මකබෑ විලාව පරික්ෂාකර කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වූ තැන හෝම්ස් තීරණය කළේ මකබෑ විලාව අවට අසල්වාසීන්ගෙන් ප්‍රශ්න කිරීමටය. ඒ සඳහා පිටත්ව යෑමට පෙර හෝම්ස් තොටවත්ත මහතාව හමුවීමට ගියේය.

“තොටවත්ත මහත්තය මං හිතන්නෙ ඔබේ අසල් වැසියන්ගෙන් ප්‍රශ්න කළොත් මට මොකක් හරි තොරතුරක් දැනගන්න පුළුවන් වෙයි…. කරුණාකරලා මට දැනගන්න පුළුවන්ද ඔබේ අල්ලපු නිවසේ ජීවත් වෙන්නෙ කව්ද කියලා ?”

“ආ… අල්ලපු නිවසේ ජීවත් වන්නේ විල්සන් මාමයි නැන්දයි. මං හිතන්නෙ ඔවුන් දැන් ගෙදර ඇති හෝම්ස් මහත්තයා.”

“මට ඔබෙන් දැනගන්න තව පොඩි දෙයක් තියෙනවා… මං දැක්කා ඔබේ වත්තෙ එක තැනක පාන් ගෙඩි ගොඩක් ගොඩ ගහලා තියෙනවා… මට දැනගන්න පුළුවන්ද ඒ ඇයි කියලා ?”

තොටවත්ත මහතා ඊට පිළිතුරු දුන්නේ මඳ සිනාවකින් යුතුවය.

“ඇත්තටම හෝම්ස් මහත්තයා මගෙ බිරිඳ ආසිරි වනිගරත්නව ගොඩක් විස්වාස කරනවා. ඉතින් ඇය තමන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නෙ කොලේක ලියලා, කොලේ පාන් ගෙඩිය ඇතුළට ඔබලා, ඒක ඔය වත්තෙ පැත්තකට වීසි කරනවා… ඇය ඔය දේවල් කොයිතරම් විස්වාස කරනවද කියනවානම් අපේ ඩෝගියගෙ කරේ ඇය රතුපාට රිබන් පටියකින් රත්තරන් පාට කාසියකුත් එල්ලලා තිබ්බ….”

තොටවත්ත මහතාගෙන් සමුගත් අප දෙදනා මකබෑ විලාවෙන් පිටතට පැමිණියෙමු. එවිට අප දුටුව විලාව ඉදිරිපස පාරහි ක්‍රිකට් ක්‍රීඩා කරන දරුවන් පිරිසකි. විශේෂත්වයනම් ඔවුන් ක්‍රීඩා කරමින් සිටියේ බෝලයකින් නොව බත් ගුලියකිනි. ඒ කාලය වන විට ලන්ඩනය පුරා ප්ලාස්ටික් හාල් වර්ගයක් ව්‍යප්තව තිබූ අතර එම හාල් වලින් පිසින බත් ගුලිකර ගත් විට රබර් බෝලයකට සමාන විය. ඒ නිසා බත් ගුලි වලින් ක්‍රිකට් ක්‍රීඩා කරන ළමුන් එම කාලය වන විට ලන්ඩනයේ සුලබ දසුනක් විය. ළමුන් දෙස මද වේලාවක් බලා සිටි අප විල්සන් නැන්දාගේ නිවස වෙතට ගමන් කළෙමු.

හෝම්ස් නිවසේ සීනුව නාද කළ විට දොර ඇරගෙන එළියට පැමිණියේ තරමක් වයසක කාන්තාවකි. ඒ වන විටත් ඇගේ දෑස් වල කඳුළු පිරී තිබූ අතර ටික වේලාවකට කලින් ඇය හඬමින් සිටි බව පැහැදිලිව පෙණුනි.

“සමාවෙන්න මත්මිය… මං හිතන්නෙ ඔබ විල්සන් මහත්මිය විය යුතුයි. මම රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්. මේ මගෙ මිත්‍රයා දොස්තර වොට්සන්. ඔබේ අසල්වැසි තොටවත්තත මහතාගෙ බලු පැටියා අතුරුදන් වීම ගැන පරීක්ෂණය මටයි භාර වෙලා තියෙන්නෙ…. ඉතින් ඔබ තුමිය ඒ ගැන මොනවාහරි දන්නවානම් ඒ ගැන අපිට කියන්න කියලා මං කරුණාවෙන් ඉල්ලනවා….”

මේ මගෙ මිත්‍රයා දොස්තර වොට්සන්. ඔබේ අසල්වැසි තොටවත්තත මහතාගෙ බලු පැටියා අතුරුදන් වීම ගැන පරීක්ෂණය මටයි භාර වෙලා තියෙන්නෙ…. ඉතින් ඔබ තුමිය ඒ ගැන මොනවාහරි දන්නවානම් ඒ ගැන අපිට කියන්න කියලා මං කරුණාවෙන් ඉල්ලනවා….”

“අනේ මටත් ඒ ගැන ආරංචි උනා හෝම්ස් මහත්තයා. මාත් ඒ බලු පැටියට හුඟක් ආදරෙයි. බලු පැටිය අතුරුදන් උනා කියලා දැනගත්ත ගමන් මට හුඟක් ඇඩුවා මහත්තයා…. බලන්න මගෙ ඇස් වල තාම කඳුළු තියෙනවා. ඒත් මට කණගාටුයි හෝම්ස් මහත්තයා මේ සම්බන්ධයෙන් ඔබට උදව් කරන්න හැකියාවක් නැතිවීම ගැන.”

“ඒකට කමක් නෑ විලසන් මහත්මිය. ඒත් මට දැනගන්න පුළුවන්ද ඔබ මේ ගැන සැක හිතන කවුරුහරි ඉන්නවද කියලා ?”

විල්සන් මහත්මිය මද වේලාවක් කල්පනා කළේ හරියට නිකන් හෝම්ස් සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් ඇසූ කලක මෙනි. ඉන්පසුව ඈ හඬ බාල කර මෙසේ පැවසුවාය.

“ඔබ කාටවත් කියන්නැත්නම්මං දෙයක් කියන්නම් හෝම්ස් මහත්තයා. මීට ගෙවල් දෙකක් එහායින් ඉන්න නාමල් කියන ඉලන්දාරිය ඊයෙ ඉදන් යකඩින්නකුත් තියාගෙන මිදුලෙ වලක් හාර හාර හිටියා. මට නම් ඔය හාදයව සත පහකට විස්වාස නෑ හෝම්ස් මහත්තයා. කව්ද දන්නෙ බලු පැටියව මරලා වැලලුවාවත්ද කියලා…. හම්මෝ මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනවා”

විල්සන් මහත්මියට ස්තූති කළ අප දෙදෙනා මීළඟට ගමන් කළේ නාමල් මහතාගේ නිවෙස වෙතටය. අප යන විට මිනිසුන් දෙදෙනෙක් ගෙමිදුලේ වැඩ කරමින් සිටියහ.

“කරුණාකරලා මට නාමල් මහත්තයට කතාකරන්න පුළුවන්ද ?” යි හෝම්ස් විමසූ විට නිල්පාට ටී ෂර්ටයක් සහ කහ පාට මුසු කොට කලිසමක් හැඳගත් හැඩි දැඩි තරුණයෙක් අප වෙත ආවේය.

“මගෙන් මුකුත් උදව්වක් ඕනැද මහත්තයා…?” යි ඔහු විමසීය.

“සමාවෙන්න නාමල් මහතතයා මං රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්. එතකොට මේ මගෙ මිත්‍රයා දොස්තර වොට්සන්. මට දැනගන්න ඕනෙ මහත්මයා තොටවත්ත මහත්මයගෙ බලු පැටියගෙ අතුරුදන් වීම ගැන ඔබ මොනවහරි දෙයක් දන්නවද කියලා…?”

“මටත් ඔය ගැන ආරංචි උනා හෝම්ස් මහත්තයා. ඒත් කණගාටුයි මං ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ…?”

“එහෙනම් අර ඉන්න පුද්ගලයා කව්ද කියලා මට දැනගන්න පුළුවන්ද මහත්මයා ?” හෝම්ස් විමසුවේ වත්තේ වැඩ කරමින් සිටි අනෙක් පුද්ගලයාව පෙන්වමිනි. ඔහු තරමක් මහළු පුද්ගලයෙක් වූ අතර සුදු සහ රෝස පැහැති ඉරි සහිත ටීශර්ටයක් හැඳ සිටියේය. ඔහු සවලක් අතින් ගෙන වලකට පස් පුරවිමිනි සිටියේ.

“ආ…. ඒ අපේ සිරිසේන මාමා. ඒ කාලෙ අපි හාරපු වලවල් දැන් එයා වහනවා.”

“මං හිතන්නෙ සිරිසේන මාමත් මේ ගැන කිසිවක් දන්නැතුව ඇති ?”

“අපෝ නෑ හෝම්ස් මහත්තයා…. ඔය සිදුවීම පත්තරේ ගියොත් මිසක් නැත්තන් ඔහු ඕක දැනගන්නෑ….” නාමල් මහතා කීවේ සිනාමුසු මුහුණෙනි.

නාමල් මහතාගෙන්ද සමුගත් අප නැවත චූන් පාන් වීදියෙහි පිහිටි අපගේ නවාතැන වෙත පිටත්වී ආවෙමු. “ඇත්තටම හෝම්ස් ඔබට නාමල් තරුණයා ගැන සැකයක් නැද්ද ?” මා ඇසුවේ අප නැවත එන අතරමගදීය.

“නෑ වොට්සන්, ඔබ දැක්කෙ නැද්ද ඔහුගෙ ඇස්වල තිබුණ අහිංසක පාට…. ඔහුට බලු පැටියෙක්ව මරාගන්න තියා රගර් බෝලෙක හුළං අරින්නවත් බෑ.”

එම දිනයේ කළ කිසිදු වැඩක් සාර්ථක නොවූ නිසා හෝම්ස් සිටියේ කිසිවෙකු නොරුස්සනා තත්වයකිනි. නැවත නවාතැන වෙත පැමිණි අප දෙදෙනා රාත්‍රී ආහාරය ගෙන 9.00 ට පමණ පහළ මාලයට ගියේ ‘හාර කෝටිය’ නැරඹීමටයි. නමුත් හඩ්සන් මහත්මිය සිරසෙ ‘පැහැසරා’ බලන්නට පටන් ගත් නිසා අප දෙදෙනා නැවත උඩු මහළටම ගියෙමු. හාර කෝටිය බලන්නට නොලැබුණු නිසා හෝම්ස් තුළ තිබූ නොරුස්සනා ගතිය තවත් වැඩිවිය.

“ඒක බැලුවා කියලා ඇති වැඩකුත් නෑ වොට්සන්. හාරකෝටිය දැන් ඇඩ් කෝටිය වෙලා. වැඩිපුර තියෙන්නෙ ඇඩ්.” හෝම්ස් මෙසේ කීවේ හිත හදා ගැනීමට බව මා දැනගතිමි.

හෝම්ස් දුම් පයිප්පය දල්වාගෙන හාන්සි පුටුවට වී ගැඹුරු කල්පනාවකට වැටුණි. මෙවැනි අවස්ථාවලදී හෝම්ස් එක දුගට පැය ගණන් කල්පනා කරන බව දන්නා මා කාමරයට ගොස් නිදාගන්නට තැත් කළෙමි.

-මතු සම්බන්ධයි-

Leave a Reply