ෂර්ලොක් හෝම්ස් ද ඇඩ්වෙන්චර් ඔෆ් ප්ලාස්ටික් හාල් – 3

පසුදින මා අවදිවන විට හෝම්ස් අවදි වී ‘විජය’ පත්තරය කියවමින් සිටියේය. හෝම්ස් ඉතා විශිෂ්ඨ පුවත්පත් පාඨකයෙකු වූ අතර පුවත් පත් කියවීම අතින් ඔහු දෙවැනි වූයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිට පමණි. බලු පැටියගේ අතුරුදන් වීම ගැන ඔහු සිතන්නේ කුමක්දැයි මා ඇසූ විට ඔහු මෙසේ පිළිතුරු දුනි.

“හරියට සාක්ශි නැතුව කිසිම විදිහකින් ඉස්සරහට යන්න බෑ වොට්සන්…”

“ඒකනම් ඇත්ත හෝම්ස්, මේ ගැන හොය හොය ඉන්නවට වඩා හොඳයි ගිහිල්ලා අර පොඩි උනුත් එක්ක ප්ලාස්ටික් හාල් වලින් ක්‍රිකට් ගැහුවානම්…” මා මෙසේ කියූ විට හෝම්ස් පුදුමයට පත්වී මෙන් බොහෝ වෙලාවක් මා දෙස බලා සියේය. ඉන්පසු මෙසේ කියමින් මහ හඬින් කෑගැසුවේය.

“ඉක්මනින් සූදානම් වෙන්න වොට්සන්…. අද අපි ක්‍රිකට් ගහන්නයි යන්නෙ…”

හෝම්ස් කීවේ කුමක් ගැනදැයි මට හරිහැටි වැටහුනේ නැති මුත් මම ඉක්මණින් සූදානම් වීමි. ඉන්පසුව හෝම්ස් මාද සමඟ මකබෑ විලාව වෙතට පිටත් විය. අප යන විටත් මකබෑ විලාව අසළ පාරෙහි කුඩා දරුවන් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියහ. හෝම්ස් කෙළින්ම මකබෑ විලාව වෙත ගොස් තොටවත්ත මහතාව හමු වේවි යැයි මා සිතුවත් ඔහු කෙළින්ම ගියේ ක්‍රිකට් ගසමින් සිටි දරුවන් පිරිස වෙතටයි. ඉන්පසුව මා විස්මයට පත් කරමින් හෝම්ස් දරුවන්ගෙන් විමසූයේ අපිවත් සෙල්ලම් කරන්නට ගන්නවාද කියායි.

මේ මිනිහාට මොන යකෙක් වැහිලාදැයි මා කල්පනා කරද්දී හෝම්ස් පොඩි උන් හා එක්ව ටොස් එකත් දමා හමාරය. ඔවුන් මටත් ක්‍රීඩා කරන්නට ඇරයුම් කළත් මා හෝම්ස්ට කීවේ මටනම් රට්ටු හිනස්සන්නට බැරි බවයි. නමුත් අවසානයේදී හෝම්ස්ගේ දැඩි පෙරැත්තය නිසාම මම අම්පයාර්ට සිටින්නට කැමැත්ත පළ කළෙමි. හෝම්ස් නම් ඉතා සතුටින් පොඩි උන් සමඟ ක්‍රීඩා කළ අතර ඔහු බත් ගුලියෙන් ක්‍රිකට් ගසා අර්ධ ශතකයක්ද වාර්ථා කළේය. සමහරවිට බත් ගුලියකින් අර්ධ ශතකයක් වාර්ථා කළ ලොව එකම ක්‍රීඩකයා හෝම්ස් වන්නට ඇතැයි මා අනුමාන කළෙමු. කෙසේ වෙතත් හෝම්ස් අර්ධ ශතකයක් වාර්තා කළේ ඔහුගේ ඇති දක්ෂකමකට නොව පොඩි උන් ටික තිසර පෙරේරා වගේ එන එන උඩපන්දුව අතහැරිය නිසාය.

ඒ නමුත් හෝම්ස් හයේ පහරවල් දෙක තුනකුත් ගැසූ බවනම් කිවයුතුය. ඔහු බැට් කළේ හරියට නිකන් චාමර කපුගෙදර වගේය. චාමර කපුගෙදරගේ නම ඉන්ග්‍රීසියෙන් ලියූ විට එය චාමර කපු හෝම්ස් වන නිසා මා ඉස්සර සිතා සිටියේ කපුගෙදර හෝම්ස්ට දුරින් නෑයන් වන බවයි. දිනක් මා මේ ගැන හෝම්ස්ගෙන් විමසූ අතර ඔහු මට මෙසේ පිළිතුරු දුන්නේය. “වොට්සන් මගෙ මිත්‍රය, ඔබේ නමෙත් ජෝන් කියලා කෑල්ලක් තියෙනවා තමයි. හැබැයි එහෙමයි කියලා ජෝන් අමරතුංග වගේ ගොන් කතා කියන්න එපා….”

ක්‍රීඩා කිරීමෙන් අනතුරුව හෝම්ස් පොඩි උන් ටිකත් වටකරගෙන කතා කරන්නට පටන් ගත්තේය. පොඩි උනුත් හෝම්ස් ඔවුන්ගේ මිතුරෙක් බව සිතමින් රටේ නැති වල්පල් හෝම්ස් සමඟ දොඩවන්නට විය. මට අතරින් පතරින් ඇසුණු විදිහට පොඩි උන් කීවේ හොල්මන් වලව්වක් ගැනය. ඔවුන් හොල්මන් වලව්ව කියා කීවේ මකබෑ විලාවට නුදුරින් පිහිටි අතහැර දමන ලද නිවසකටය. මට මේ මොන්ටිසෝරි වැඩ තවත් ඉවසා සිටින්නට බැරු තැන මම හෝම්ස්ට හොරෙන් අසළ ඇති කඩයකට ගොස් පහේ දිවුල් අයිස් එකක් කෑවෙමි. මා අයිස් පැකට් එක කා ආපසු එන විට හෝම්ස් පොඩි උන් සමඟ කතාබහ අවසන් කර තිබූ අතර ඉන්පසු අප දෙදෙනා තොටවත්ත මහතා හමුවීමට ගියෙමු.

“මම අර පොඩි ළමයි ටිකත් එක්ක පොඩ්ඩක් කතාකළා තොටවත්ත මහත්මයා….” හෝම්ස් පැවසුවේ සිනාමුසු මුහුණෙනි.

“මටනම් ඔය පොඩි උන් ගැන කිසිම පැහැදීමක් නෑ හෝම්ස් මහත්තයා.”

“ඇයි මහත්මයා, ඔබ හිතන්නෙ ඒ පොඩි උන් ඔබේ බල්ලගෙ අතුරුදන් වීමට සම්බන්ධයි කියලද….?”

“එහෙම නෙමෙයි හෝම්ස් මහත්තයා…. ඒත් ඔතන ඉන්නවා පීටර් කියලා පොඩි කොල්ලෙක්…. ඒ කොල්ලගෙ අයියා මේ පැත්තෙ නම ගිය අපරාධකාරයෙක්. මේ ළඟදි දවසකත් පොලිසිය ඔවුන්ගෙ නිවස පරික්ෂා කළා…”

“ඒ කවද්ද කියලා ඔබට මතකද…..?”

“ම්ම්ම්… පොඩ්ඩක් ඉන්න, හරි හෝම්ස් මහත්තයා ඒ අපේ බලු පැටියා අතුරුදන් උන දවසට කලින් දවස….”

“පොලීසිය ඔහුගෙ නිවස පරික්ෂා කලේ මොන හේතුවක් නිසාද කියලා ඔබතුමා දන්නවද…?”

“ඒ ගැන නම් මං දන්නෑ හෝම්ස් මහත්තයා, ඒත් ඒ දේවල් කොහොමද මේ සිද්ධියට සම්බන්ධ වෙන්නෙ….?”

“ඒ ගැන දැන්ම කියන්න බෑ තොටවත්ත මහත්මයා…. කරුණාකරලා මට මේ පීටර්ගෙ අයියා ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද….?” පීටර්ගේ අයියා පිළිබඳව තොටවත්ත මහතාගෙන් තොරතුරු ලබාගත් හෝම්ස් හැකි ඉක්මණින් මාවද කැඳවාගෙන එතනින් පිටවී ආවේය. වෙන්නේ මොනවාද කියා නොදන්නා මා ඩක් ඩොජර්ස් පසුපස යන බොලා මල්ලී සේ හෝම්ස් පසුපසම ගියෙමි.

“ඔබ දන්නවද වොට්සන්, මං ඒ පොඩි උන්ගෙන් හුඟක් වැදගත් දෙයක් දැනගත්තා….”

“ඒ මොකක්ද හෝම්ස්…..?”

“තොටවත්ත මහත්තයගෙ බලු පැටිය අතුරුදන් වෙන්ඩ කලින් දවසෙ, මේ පොඩි උන් ක්‍රිකට් ගහද්දි ඔවුන් සෙල්ලම් කළ බත් ගුලිය තොටවත්ත මහත්තයගෙ වත්තට ගිහින් තියෙනවා…. පොඩි උන් වත්ත ඇතුළට යද්දිත් බලු පැටියා ඒ බත් ගුලිය කාලා ඉවරයිලු….”

හෝම්ස් පැවසුවේ අප ආපහු එන අතරමගදීය. මටනම් එහි කිසිම වැදගත් කමක් නොපෙනුනි. ඉතිරි කාලය පුරාම හෝම්ස් නිහඬවම කල්පනාවේ යෙදී සිටි අතර ඔහුව මෙවැනි අවස්ථා වලදී කතාවට ඇද ගැනීම කරන්නට අමාරු වැඩක් නොව කරන්නට බැරි වැඩක් බව දන්නා මා නිහඬවම සිටියෙමි. නැවත චූන් පාන් වීදියෙහි අපේ නිවෙසට ගිය පසු මා කාමරයට වී පොතක් කියවීමට උත්සාහ කළෙමි. නමුත් නොදැනුවත්වම මට නින්ද ගොස් තිබූ අතර මා අවදි වන විට හෝම්ස් නිවෙසින් පිටව ගොස් තිබුණේය.

මා හඩ්සන් මහත්මියගෙන් විමසූ විට ඈ පැසුවේ හෝම්ස් වැඩ වගයක් ඇති බව පවසා නිවසින් පිටවූ බවයි. මොනවා වුණත් හෝම්ස් එකට ඉන්න මාව හලා තනියම වැඩකරන එක නම් මට අල්ලන්නේම නැත.මේ සිද්ධියෙන් මගේ සිත කොතරම් රිදුණාද කියතොත් මා වහාම බුකියට ලොග් වී ‘එකට හිටපු උනුත් දැන් අපිව හලනවා. සතා කව්ද කියලා අදුරගෙන ඉන්නෙ මහත්තයො’ කියා ස්ටේටසයක්ද අප්ඩේට් කළෙමි.

හෝම්ස් නැවත නිවෙසට පැමිණියේ රෑ බෝ වූ පසුවය. ඔහුගේ මුහුණේ තිබුණේ දැඩිලෙස වෙහෙසට පත් පෙනුමකි. නමුත් ඔහු ගිය කටයුත්ත සාර්ථක වී ඇති බව ඔහුගේ මුහුණින් මම දුටුවෙමි.

“අද මම ස්කොට්ලන්ඩ්යාඩ් එකට ගියා…. හෙට උදේට අපිට යන්න පොඩි ගමනක් තියෙනව වොට්සන්… සමහර විට ඒ ගමනින් පස්සෙ මේ අභිරහස ගොඩක් දුරට විසදෙයි.”

හෝම්ස් කීවේ නිදාගන්නට මොහොතකට පෙරය. ඔහු කීවේ කුමක් ගැන දැයි කල්පනා කරමින් මම නින්දට වැටුණෙමි.

පසුදින හෝම්ස් සහ මම වේලාසන උදේ ආහාරය ගෙන නිවෙසින් පිටවී ආවෙමු. මෙවර හෝම්ස් මා කැඳවාගෙන ආවේ මකබෑ විලාවටවත්, ක්‍රිකට් ගසන්නටවත් නොව මකබෑවිලාව අසළ තිබූ හොල්මන් වළව්වටයි. එහි තිබූ කම්බි වැටෙන් රිංගා අපි දෙදෙනා වලව් වත්තට ඇතුළු වීමු. පාළුවට ගිය වලව්ව ගරා වැටෙමින් පැවති අතර වලව් වත්ත පුරාම කැළේ වැවී තිබුණි. හෝම්ස් කෙළින්ම ගමන් කළේ වත්ත කෙළවර තිබූ තැඹිලි ගස අසළටය.

“හොඳට බලන්න වොට්සන්… ඔය තැඹිලි ගම මුල බත් ගුලියක් තියෙනවද කියලා…”

අපි දෙදෙනා පැය කාලක් පමණ වෙලාවක් තැඹිලි ගහ අසළ පරික්ෂා කළෙමු. එක්වරම හෝම්ස්ගේ මුවින් පිටවූයේ ජයග්‍රාහී හඬකි.

“මේ බලන්න වොට්සන්” ඔහු පැසුවේ බිම වැටී තිබූ පුස් කමින් පැවති බත් ගුලියක් පෙන්වමිනි. එය පුස් කමින් පැවතියත් අලුත් බත් ගුලියක් බව බැලූ බැල්මට පෙනුණි. හෝම්ස් සාක්කුවෙන් සිලි කවරයක් ගෙන බත් ගුලිය ප්‍රවේශමෙන් එයට දාගත්තේය.

“බත් ගුලියකින් අපිට ඇති වැඩේ මොකක්ද හෝම්ස්…”

“අපි බලමොකො වොට්සන්. දැන් අපි ආයෙත් ගෙදරයමු.”

හෝම්ස් සහ මම මකබෑ විලාවට නොගිහින් ආපසු චූන් පාන් වීදියට පිටත්වී ආවෙමු. හෝම්ස් වහාම තම පරික්ෂණ කාරමයට ගියේ බත් ගුලිය පරික්ෂා කිරිමේ අරමුණෙනි. මද වේලාවක් එය පරික්ෂා කරමින් සිටි හෝම්ස් එක්වරම මට අඬගැසීය.

මා කාමරයට ඇතුළු වෙද්දී ඔහු බලා සිටියේ මගේ සපත්තුව දෙසයි. “ඕහෝ…. වොට්සන් මේ මොකක්ද…..?” ඔහු විමසුවේ මගේ සපත්තුව පෙන්වමිනි. ඒ දෙස බැලූ මා දුටුවේ මගේ සපත්තුවේ පැටලී තිබූ රතු පැහැති රිබන් පටි කැබැල්ලකි. මම නැවී එය අතට ගෙන හෝම්ස්ට දුන්නෙමි. හෝම්ස් තම අත්කාචයෙන් එය පරික්ෂා කර බැලුවේය. “මේ බලන්න වොට්සන්…” ඔහු පැවසුවේ අත් කාචය මා අතට දෙමිනි.. මා එයින් රිබන් පටිය පරික්ෂා කර බැලුවෙමි. එය ඉරී ගොස් ඇති බව පැහැදිලිව පෙණුනි. රිබන් පටියේ ඇලී තිබූ සුදුපැහැති, සිහින් , දිගු යමක් මගේ අවධානයට යොමුවිය.

“මේ මොකක් කියලද ඔබ හිතන්නෙ හෝම්ස්….” මම හෝම්ස්ගෙන් විමසුවෙමි.

“සැකයක් නෑ වොට්සන්, ඒ බලු මයිලක්.”

“ඒ කියන්නෙ……”

“ඔබට මතකද වොසන්ට් තොටවත්ත මහත්තයා අපිට කිව්ව දේ…. ඔහුගෙ බලු පැටියගෙ කරේ රතු පාට රිබන් පටියකින් රත්තරන් පාට කාසියක් එල්ලලා තිබ්බා කියලා…… ඉක්මන් කරන්න වොට්සන්, අපි ආපසු යා යුතුයි….” ඔහු පැවසූයේ කලබලයෙනි.

-මතු සම්බන්ධයි-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *