ෂර්ලොක් හෝම්ස් ද ඇඩ්වෙන්චර් ඔෆ් ප්ලාස්ටික් හාල් – 4

හෝම්ස් සහ මම හැකි ඉක්මනින් නැවතත් හොල්මන් වලව්වට ආවෙමු.

දැන්නම් මට දෙපැත්තට දුවන එක එපා වී තිබුණත් හෝම්ස්නම් සිටියේ දැඩි උද්යෝගයකිනි. අපි පෙර සේම කම්බි වැටෙන් රිංගා වලව් වත්තට ඇතුළු වූ අතර මෙවර අප ගමන් කළේ කලින් පරික්ෂා කළ තැඹිලි ගස දෙසට නොව වත්තේ අනෙක් පසටයි.

වඩාත් හොඳින් ඒ පෙදෙස පරික්ෂා කරද්දී අප දුටුවේ ඒ පෙදෙසේ පඳුරු තැලී අඩිපාරක් නිර්මාණය වී තිබූ බවයි. එම අඩිපාර ආරම්භ වූයේ වත්තේ අපි පැමිණි දෙසින් නොව අනෙක් පසින් වූ කම්බි වැට කැඩුණු තැනකිනි.

“මම මේක කලින් නොදකපු එක මගෙ අතින් වුණු ලොකු වරදක් වොට්සන්.”

හෝම්ස් පැවසුවේ කළකිරුණු ස්වරයකිනි.

“ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ හෝම්ස්, අපි කලින් මේ පැත්තට ආවෙ නෑනෙ….”

අඩිපාර දිගේ හොල්මන් වලව්ව දෙසට ගමන් කළ අප දුටුවේ වලව්වේ ජනේලයක් අසළට අඩිපාර දිවෙන බවයි.

එය ප්‍රමාණයෙක් තරමක් විශාල ජනේලයක් වූ අතර එහි පියන අගුළු දමා නැති බව දුරටම පෙනුණි. හෝම්ස් අත දිගුකර ජනෙල් පියන විවර කළ අතර එය කිසිම අපහසුවකින් තොරව විර වූයේ ඉතා මෑතකදී භභාවිතා කර ඇති අයුරිනි. පියන විවර වූ පසු අප දෙදෙනාම ජනේලය තුළින් නිවස තුළට එබී බැලුවෙමු. නිවස අතහැර දමන ලද්දක් බව තහවුරු කරමින් එහි හැමතැනකම මකුළු දැල් බැදී දූවිලි තට්ටු තැන්පත් වී තිබුණි.

එක්වරම හෝම්ස් මගේ අවධානය යොමුකළේ ජනේලයේ අගුල වෙතටයි. එම යකඩ අගුලේ රතු පැහැති රිබන් පටි කැබල්ලක් පැටලී තිබූ අතර එය මගේ කකලේ පැටලී තිබූ රිබන් පටියේ ඉතිරි කොටස බව පැහැදිලිව පෙනුණි.

මීළඟට හෝම්ස් කළේ ජනේලයෙන් පැන නිවස තුළට ඇතුළු වීමයි. හෝම්ස් පසුපස මමද නිවසට ඇතුළු වුනෙමි. එම නිවස ඇතුළත ඉතා අඳුරු වූ අතර පැහැදිලිව දෙයක් දැකගැනීම ඉතා දුෂ්කර විය. එම කාමරය සම්පූර්ණයෙන් හිස් වූ නිසා අප එහා පස තිබූ කාමරයට ගියෙමු.

එවිට අප දුටුවේ බිම්මහළට යන්නට තනා ඇති පඩිපෙළකි. බිම් මහළ දෙසින් සිහින් ආලෝකයක් නිකුත්වෙන අයුරුද අපි දුටුවෙමු. හෝම්ස් ශබ්ද නොනැගෙන අයුරින් අඩි තබමින් පඩිපෙළ දිගේ පහළට ගියේය. මද වේලාවක් පහළට වී සිටි හෝම්ස් යළි ඉහළට දිව ආවේ කලබලයෙනි.

“ඉක්මන් කරන්න වොට්සන්… මෙතනින් එළියට යමු.”

“ඇයි හෝම්ස් පහළ මොනවද තියෙන්නෙ…?”

“බලු පැටියා පහළ ඉන්නවා.”

“එහෙනන් අපි ඌව බේරගමු….”

“නෑ… ඊට කලින් අපරාධකාරයන්ව අල්ලගන්න ඕනෙ…”

හොල්මන් වළව්වෙන් පිටවී අප පැමිණියේ මකබෑ විලාව වෙතටය. හෝම්ස් තොටවත්ත මහතාට බලු පැටියා ගැන කිසිවක් නොකියා ප්‍රදේශයේ පොලිස් ස්ථානයට යන පාර අසාගත්තේය. ඉන්පසුව ත්‍රීවිලරයක් හයර් එකට ගෙන අප දෙදෙනා ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ගියෙමු.

පොලිස් ස්ථානයේ ප්‍රධානියා වූයේ පොලිස් පරික්ෂක ස්ටීවන් නම් තරුණ මහතෙකි. හෝම්ස් ඔහු හමුවී සියළු විස්තර ඔහු සමඟ පැවසීය. ඔහු හෝම්ස්ගේ වීර ක්‍රියා පිළිබඳ ස්වර්ණවාහිනී නිව්ස් වලින් දැක තිබූ අතර අපට උදව් කරන්නට ඉදිරිපත් වූයේ ඉතා කැමැත්තෙනි.

පොලිස් පරික්ෂක ස්ටීවන් හා තවත් පොලිස් භටයන් තිදෙනෙක් අප සමඟ යාමට ඉදිරිපත් විය. හෝම්ස් සහ මම ඔවුන්ව කැඳවාගෙන නැවත හොල්මන් වලව්ව වෙත පැමිණියෙමු. කිසිවෙකුට සැක නොසිතෙන පරිදි අප පාරට නොපෙනෙන හරියෙන් කම්බි වැටෙන් රිංගා වළව් වත්තට ඇතුළු වුණෙමු.

මීළඟට හෝම්ස් අපව කැඳවාගෙන ගියේ විවර කරන ලද ජනේලය වෙතටය. ඉන්පසුව අප එකා පසුපස එකා ජනේලයෙන් වලව්ව තුළට ඇතුල් වුනෙමු. හෝම්ස්ගේ සැළසුම වී තිබුණේ වලව්ව තුළ සැඟවී සිට අපරාධකරුවන් ආ පසු ඔවුන්ව අත් අඩංගුවට ගැනීමයි.

පොලිස් පරික්ෂක ස්ටීවන්, පොලිස් භටයන් දෙදෙනා හා අප දෙදෙනා එම කාමරයේ අදුරු මුළුවල සැඟවුණෙමු. වලව්ව ඇතුළත තිබූ අන්ධකාරය නිසා කිසිවෙකුට අපව පෙනෙයි කියා සැකයක් නොවීය. අප මෙසේ පැය දෙකක් පමණ සැඟවී බලා සිටියත් කිසිවක් සිදුනොවීය.

පොලිස් භටයන්ද නොයිවසිලිමත්ව හැසිරෙන අයුරු කාමරයේ එහා කොණින් ඇසුණි. මෙවරනම් හෝම්ස්ගේ සැළසුම අසාර්ථක වන බව සිතා මම හෝම්ස්ගේ මුහුණ දෙස බැලුවෙමි. නමුත් මා දුටුවේ ඔහු ඉතා විස්වාසයෙන් හා අවධානයෙන් ජනේලය දෙස බලා සිටින බවයි.

මද වේලාවකින් අපට ඇසුණේ කිසිවෙකුගේ අඩිශබ්දය හා කටහඬයි. එතන කටහඬවල් දෙකක් තිබූ අතර එකක් තරුණයෙකුගේ බව පැහැදිලි විය. අනෙක් කටහඬ මැදිවියේ පුද්ගලයෙකුගේ විය යුතුය.

“මේක හරියන්නෑ…. මං කියන්නෙ බලු පැටියව මරමු කියලා….”

ඒ තරුණ හඬයි.

“අපි තව ටිකක් ඉවසමු”

ඉන්පසුව ඇසුණේ මැදි වියේ මිනිසාගේ හඬයි.

ඉන්පසුව ඔවුන් දෙදෙනාම ජනේලයෙන් පැන කාමරයට ඇතුළු වෙන අයුරු අප දුටුවෙමු. ඔවුන් දෙදෙනා කාමරයට ඇතුළු වී මද දුරක් ඇවිදන් යද්දී එක්වරම ක්‍රියාත්මක වූ හෝම්ස් තරුණයා වෙතට පැන්නේ විදුලි වේගයකිනි.

එවිටම ක්‍රියාත්මක වූ පොලිස් භටයන්ද සැඟවී සිටි තැන්වලින් එළියට පැන අනික් මිනිසාව අල්ලා ගත්තේය. පොලිස් නිළ ඇඳුම දුටු සැණින් මැදිවියේ පුද්ගලයා යටත් වුවත් තරුණයා හෝම්ස් සමඟ පොරබැදුවේ ගැලවී යන්නටය.

නමුත් හෝම්ස්ගේ ග්‍රහණයෙන් මිදීයාම ඔහුට පහසු වූයේ නැත. පොලිස් භටයන් මැදිහත් වී අපරාධකරුවන් දෙදෙනාටම මාංචු දැමීමෙන් පසු දෙදෙනාම නිසල විය.

“ඉතින් ස්ටීවන් මහත්මයා, මෙන්න ඉන්නවා තොටවත්ත මහත්තයගෙ බලුපැටියා අතුරුදන් වීමට වගේම, පහුගිය දවස්වල ලොකු ආන්දෝලනයක් ඇතිකරපු වෙන්දේසිවත්ත මුතු මංකොල්ලයෙත් වරදකරුවන්….”

හෝම්ස් පැවසුවේ ස්ටීවන් මහතා දෙසට හැරෙමිනි.

“දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ හෝම්ස් මහත්තයා….! ඔබ කියන්නෙ අර මුතු මංකොල්ලයටත් මොවුන් සම්බන්ධ බවද….?”

ස්ටීවන් මහතා විමසුවේ විස්මයෙන් දෑස් දල්වාගෙනය. ඊට නිහඬවම හිස වනා පිළිතුරු දුන් හෝම්ස් මීළඟට හැරුණේ මා දෙසටයි.

” ඔබට මතකද වොට්සන්, එදා අපිත් එක්ක ක්‍රිකට් සෙල්ලම් කරන්න ආපු පීටර් කියන පොඩි දරුවව. මේ ඉන්නෙ ඔහුගෙ අයියා….”

හෝම්ස් පැවසුවේ මාංචු දමා සිටි තරුණයාව පෙන්වමිනි.

පැය දෙකකට පසු අප සිටියේ මකබෑ විලාවෙහි විසිත්ත කාමරයට වී කෝපි පානය කරමිනි. සැකකරුවන් දෙදෙනා පොලිස් භටයනුත් සමඟ පොලිසියට පිටත් කර හැරි ස්ටීවන් මහතාද අප සමග එක්ව සිටියේය.

එහා පස අසුනේ තොටවත්ත මහතා වාඩිවී සිටි අතර ඔහු අසළින් තොටවත්ත මහත්මිය වාඩි වී සිටියේ බලු පැටියාව තම උකුළේ හොවාගෙනය. බලු පැටියාට කිසිදු අනතුරක් සිදු වී නොතිබූ අතර අප විසින් ඌව මුදාගෙන පැමිණ තොටවත්ත මහමියට භාර දුන්නෙමු. තොටවත්ත මහත්මිය සතුටු කඳුළු හෙළමින් බලු පැටියාව තුරුළු කරගත් ආකාරය මට කිසිදිනක අමතක නොවේ.

“ඉතින් හෝම්ස් මහත්තයා, ඔබ දැන්වත් අපිට කියන්නැද්ද මේ අභිරහස විසදපු හැටි…”

පොලිස් පරික්ෂක ස්ටීවන් මහතා විමසුවේ කෝපි කෝප්පය පසෙකින් තබමිනි.

මද වේලාවක් නිහඬවම කෝපි පානය කළ හෝම්ස් ඉන්පසුව කතාව ආරම්භ කළේය.

“මම මුලින්ම කියන්න ඕනෙ මහත්වරුනි, අර ප්ලාස්ටික් හාල්වලින් ක්‍රිකට් ගහන පොඩි උන් ටික නැති වුනානම් මට මේ තරම් ලේසියෙන් මේ අභිරහස විසදන්න වෙන්නෑ….

කිසිම හෝඩුවාවක් නැතුව මම ඉතා අසරණ තත්වෙක ඉන්දි තමයි මගෙ මිත්‍ර වොට්සන් මේ ළමයි ගැන අදහස මට දුන්නෙ. ඉතින් මම හැකි ඉක්මනින් වොට්සනුත් එක්ක ඇවිත් ඒ ළමයි ටිකත් එක්ක ක්‍රිකට් ගහන්න ගත්තා.

ළමයි ටිකත් මාව ඔවුන්ගෙ යාළුවෙක් විදිහට පිළිඅරගෙන ඔවුන් දන්න දේවල් සේරම මාත් එක්ක කිව්වා… ඔය අතරෙ තමයි මට හුඟක් වැදගත් කතාවක් අහන්න ලැබුනෙ. ඒ තමයි බලු පැටියා අතුරුදන් වුණ දවසට කලින් දවසේ මේ ළමයි බත් ගුලියකින් සෙල්ලම් කරද්දි ඒ බත් ගුලිය තොටවත්ත මහත්තයගෙ වත්තට ඇවිත් තියෙනවා….

ළමයි ඒ බත් ගුලිය ගන්න එනකොට තොටවත්ත මහත්තයගෙ බලු පැටියා බත් ගුලිය කාලා දාලලු. එදා බත් ගුලිය හදන්න බත් ගෙනත් තියෙන්නෙ පීටර් කියන ළමයගෙ ගෙදරින්. ඔහු ගෙනාපු බත් ගුලිය බලු පැටියා කාලා කියල දැනගත්තම පීටර්ගෙ අයියා ගොඩක් කලබල උනාලු….

එදාම මම තොටවත්ත මහත්තයාගෙනුත් වැදගත් දෙයක් දැනගත්තා. ඒ තමයි මේ බලුපැටියා බත් ගුලිය කාපු දවසෙම පොලිසියෙන් ඇවිත් පීටර්ලගෙ ගේ පරික්ෂා කරලා තියෙනවා. මේ සිද්ධි දෙක අතර මොකක් හරි සම්බන්ධයක් තියෙන බව මට වැටහුණා. ඉන්පස්සෙ මම තොටවත්ත මහත්තයගෙන් පීටර්ගෙ අයියා ගැන විස්තර ලබාගත්තා.

එදා හවස අපි ගෙදර ගියාට පස්සෙ වොට්සන් නිදාගන්න ගියා. ඒ අතරෙදි මම ගියා ස්කොට්ලන්ඩ්යාඩ් එකට. එතනදි මං හොයලා බැලුවා පීටර්ගෙ අයියා ගැන තියෙන වාර්තා මොනවද කියලා…..

එතනදි මං දැක්කා මහත්වරුනි, පීටර්ගෙ අයියා කියන්නෙ වෙන්දේසිවත්ත මුතු මංකොල්ලයෙ ප්‍රධාන සැකකරුවෙක් කියලා. ඊටපස්සෙ මං ආපහු ආව පීටර්ව හමුවෙන්න. පීටර් මට ඔහුගෙ අයියා ගැන තවත් විස්තර කිව්වා. පීටර් කියපු විදිහට එදා ඔහු බත් ගුලිය හදන්න බත් මුට්ටියෙන් බත් අරන් තියෙන්නෙ ගෙදර ඔක්කොම කාලා ඉවර වුණාට පස්සෙ. ඒත් ඔහු මුට්ටියෙන් බත් ගත්තා කියලා දැනගත්තම පීටර්ගෙ අයියා ගොඩක් කලබල උනාලු. ඔහු මුට්ටියෙ තිබුණු බත් ඔක්කොම පිඟානකට බෙදාගෙන ඒ ටික කෑවලු.

ඉතින් මහත්වරුනි මට ලැබුණු සාක්ෂි වලින් මම උපකල්පනයක් ගොඩනැගුවා.

ඒකට අනුව පීටර්ගෙ අයියා තමයි මුතු මංකොල්ලයට වැරදිකරු. ඔහු ගාව තමයි මුතු ඇටය තිබුණෙ. නමුත් එකපාරටම පොලිසියෙන් ආව ඔහුගෙ නිවස පරික්ෂා කරන්න. ඔහුට හදිස්සියෙ මුතු ඇටය හංගන්න තැනක් තිබුණෙ නෑ. ඉතින් ඔහු තීරණය කළා මුතු ඇටය බත් මුට්ටියෙ හංගන්න.

පොලිසිය කොහොමටවත් බත් මුට්ටිය පරික්ෂා කරන්නෑ. පරික්ෂා කළත් මුතු ඇටේ පාටයි බත්වල පාටයි එක සමාන හින්දා ඔවුන්ට ඒක පේන්නෙත් නෑ…. වැඩේ ඔහු හිතපු විදිහටම සිද්ධ වුනා. ඒත් ඔහු නොහිතපු විදිහට එදා පීටර් බත් මුට්ටියෙන් බත් අරන් ගියා ක්‍රිකට් ගහන්න බෝලටකය හදන්න.

ඒ බත් බෝලය තොටවත්ත මහත්තයගෙ බලු පැටියා කෑවා. පීටර්ගෙ අයියා මේක දැනගත්තම ගොඩක් කලබල උනා. ඔහු මුට්ටියෙ තිබුණු බත් ඔක්කොම පිඟානට බෙදාගෙන ඒ ටික පරික්ෂා කළා. ඒත් ඔහුට මුතු ඇටය හම්බුන්නෑ…..

එහෙනන් මේ වෙද්දි මුතු ඇටය තියෙන්ඩ ඕනැ කොහෙද මහත්වරුනි….?”

“බලු පැටියගෙ බඩේ….” මා සහ ස්ටීවන් මහතා පිළිතුරු දුන්නේ එකවිටමය.

නමුත් හෝම්ස් කළේ සීනාවීම පමණි.

“එතන තමයි හැමෝටම වැරදුණු තැන. පීටර් තමන්ගෙ අයියටවත් නොකියපු කතාවක් එදා මං එක්ක කිව්වා. ඒ තමයි ඔහු එදා ගෙදරින් අරන් ගිය බත් ගුලියෙන් බෝල දෙකක්ම හදනවා…. ඒකෙන් එක බෝලයක් යනවා හොල්මන් වත්තට.

ළමයි බය නිසා ඒ බෝලය හොයන්න යන්නෑ. පීටර්ගෙ අයියා එතන තමයි ඔවුන්ගෙ මූලස්ථානය විදිහට පාවිච්චි කළේ. ඉතින් ඔහු ඒ පැත්තට යන එක පීටර්ට තහනම් කරලයි තිබුණෙ. ඒ බයට පීටර් ඔහුට ඒ ගැන කිව්වෙ නෑ. ඔහු කිව්වෙ බලු පැටියා කාපු බත් බෝලෙ ගැන විතරයි.

මේ කතාව ඇහුවට පස්සෙ මං තේරුම් ගත්තා ඒ මුතු ඇටය අර බත්ගුලි දෙකෙන් එකක තියෙන්න සීයට පනහක අවස්ථාවක් තියෙනවා කියලා. ඉතින් මම තීරණය කළා මගෙ සීයට පනහෙ වාසනාව උරගා බලන්න. අද උදේ මම වොට්සනුත් එක්ක ඇවිත් හොල්මන් වත්ත පරික්ෂා කරද්දි අපිට හමුවුණා ඒ බත්ගුලිය. ඒ බත්ගුලිය ඇතුළෙ තිබිලා තමයි මහත්වරුනි මට මේක හම්බවුණේ…..”

හෝම්ස් මෙසේ පවසමින් තම කබා සාක්කුවෙන් කිසිවක් පිටතට ගත්තේය. එය කඩදාසියකින් ඔතන ලද දෙයකි. කඩදාසිය ඉවත් කළ පසු අප දුටුවේ වීදුරු බෝලයක් තරම් ඇති, දිලිසෙන, සුදු මුතු ඇටයයි.

“ඔබ විස්වාස කරනවද මහත්වරුනි මිළ කළ නොහැකි සුප්‍රසිද්ධ වෙන්දේසිවත්තෙ මුතු ඇටෙන් පොඩි කොල්ලො ටිකක් ක්‍රිකට් සෙල්ලම් කරපු බව……

පීටර්ගෙ අයියා හිතන් හිටියෙ මේ මුතු ඇටය තිබුනෙ බලු පැටියගෙ බඩේ කියලා. ඒකයි ඔහු බලු පැටියව පැහැරගෙන ගිහින් හොල්මන් වලව්වෙ බිම් මහළෙ හැංගුවෙ. බිම් මහළ නිසා බලු පැටියා බුරන සද්දෙවත් පිටට ඇහුනෙ නෑ…..

හොල්මන් වලව් වත්ත පරික්ෂා කරලා ආපසු ආවමයි මම දැක්කෙ වොට්සන්ගෙ කකුලෙ පැටලිලා තිබුණු රතු පාට රිබන් පටිය. ඒක තොටවත්ත මහත්මිය තමන්ගෙ බලු පැටියගෙ කරේ ගැටගහපු රිබන් පටිය බව මම අනුමාන කළා…. අපි ආපසු ආවෙ ත්‍රීවිලයකින් නිසා ඒ රිබන් පටිය වොට්සන්ගෙ කකුලු පැටලුනේ වලව් වත්තෙදි බවට සැකයක් නෑ. ඉතින් අපි ආපහු ගියා වලව්වට. එතකොට තමයි මම දැක්කෙ වලව්වෙ බිම් මහළෙ බලු පැටියව හිර කරගෙන ඉන්න හැටි. ඉන්පස්සෙ අපි හැකි ඉක්මනින් පොලිසියට ගිහින් ස්ටීවන් මහතාගෙන් උදව් ඉල්ලුවා.

එතනින් එහාට වෙච්ච දේවල් ඔබ දන්නවා මහත්වරුනි. මොනවා උනත් වොට්සන්ගෙ කකුලෙ පැටළුණු රිබන් පටිය නොවෙන්නට අපිට මේ තරම් ඉක්මනින් බලු පැටියව හොයාගන්න වෙන්නෑ…..”

“ඒකනෙ හෝම්ස් මහත්තයා මං කියන්නෙ, ආසිරි වනිගරත්න මහත්තයගෙ රිබන් පටිය නිසා තමයි අපේ බලු පැටියව ආයෙ ලැබුණෙ….”

තොටවත්ත මහත්මිය මෙසේ පවසද්දී අප සිනාව තද කරගෙන සිටියේ ඉතා අපහසුවෙනි.

අවසානයේදී සියල්ල සුභදායක අයුරින් අවසන් විය. බලු පැටියා සොයා දීම සම්බන්ධයෙන් තොටවත්ත මහතා සහ මහත්මිය අපට නොසෑහෙන්නට ස්තූති කළහ. අභිරහසක්ව පැවති වෙන්දේසි වත්තේ මුතු මංකොල්ලය විසදා දීම සම්බන්ධයෙන්ද ස්ටීවන් මහතා හෝම්ස්ට බොහෝ සේ ස්තූති කළේය. අවසානයේදී අප දෙදෙනා නැවතත් චූන් පාන් වීදියට එන්නට පිටත් වීමු.

“ඒත් හෝම්ස්, මට නොපැහැදිලි එක තැනක් තියෙනවා. ඔවුන් මහ රෑ ඇවිල්ලා බලු පැටියව පැහැරගෙන යද්දිත් ඌ බිරුවෙ නැත්තෙ ඇයි….?”

“මං හිතන්නෙ වොට්සන්, බලු පැටියා හොඳටම අදුරන කෙනෙක් තමයි ඌව පැහැරගත්තෙ… ඒක නිසයි ඌ බිරුවෙ නැත්තෙ…”

“ඒ කව්ද හෝම්ස්…?”

“වෙන කවුරුත් නෙමේ. ඒ තමයි විල්සන් නැන්දා….”

“ඒත් ඇය ඇයි එහෙම දෙයක් කළේ….?”

“මං අර ළමයින්ගෙන් දැනගත්ත විදිහට වොට්සන් බලු පැටිය රෑට බුරන එකෙන් විල්සන් නැන්දගෙ නින්දට ගොඩක් බාධා වෙලා තියෙනවා. මේ ගැන කියලා විලසන් නැන්දා තොටවත්ත පවුලත් එක්ක රණ්ඩු වෙලා පවා තියෙනවා. ඉතින් මේ බලු පැටියව වෙන කොහෙටහරි ගෙනියනවනම් ඒක ඇයට ලොකු සහනයක්. ඒ කයි ඈ ඔවුන්ට උදව් කළේ. එදා ඇය නාමල් වගේ අහිංසකයෙක්ව මේකට පටලවද්දිම මට ඇය ගැන සැක හිතුනා.”

“ඒත් හෝම්ස් අපි එදා දැක්කනෙ ඇය බලු පැටියා නැති වුණු දුකට අඬනවා…. ?”

“ඇය බලු පැටියා නැති උනා කියලා ඇඬුවෙ නෑ වොට්සන්.

ඇය ඒ සතුටට කිරිබත් ඉව්වා. ඊටපස්සෙ ඇය කිරිබත් කන්න ලුණු මිරිසක් හැදුවා. ලුණු මිරිසට ළුුණු සුද්ධ කරද්දී ඒ සැරට ආපු කඳුළු තමයි එදා අපි දැක්කෙ.

ඇයි ඔබ දැක්කෙ නැද්ද වොට්සන් ඇගේ ඇඳුමෙ පැටලිලා තිබුණු ළුණු පොතු…..?”

-නිමි-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *