ෂර්ලොක් හෝම්ස් ද ඇඩ්වෙන්චර් ඔෆ් ප්ලාස්ටික් හාල්

එය ඔක්තොම්බර් මාසයේ උණුසුම් දිනයක් බව මට මතක ඇත. දිවා ආහාරයෙන් පසුව හෝම්ස් සහ මම උඩු මහළට වී අනුර කුමාරගේ පුතා ගැන කතා කරමින් සිටියෙමු. හෝම්ස් අවසන් වරට යෙදී සිටියේ චතුර සේනාරත්නගේ ලයිෆ් ජැකටය පිළිබඳ පරික්ෂණයේයි. එකල හිරු ගොසිප් ඇතුළු ගොසිප් සයිට් කිහිපයකම ප්‍රධාන සිරස්තලය වූ මෙම සිද්ධිය පාඨක ඔබට මතක ඇතුවාට සැක නැත. ඉන්පසුව කලෙකින් විසදීමට හරිහමන් ගැටළුවක් නොලැබුණු නිසා හෝම්ස් උඩු මහලට වී සේවාදායකයෙකු එන තුරු බලා සිටියේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ වර්ශා කතාවේ ඊළඟ කොටස එන තුරු බලා සිටින ඕ ලෙවල් පන්තියක කෙල්ලෙකු මෙනි.

අපේ කතාවට බාධා කරමින් හඩ්සන් මහත්මිය උඩු මහළට පැමිණියේ ලියුම් කවරයක්ද අතෙහි රඳවාගෙනය. ලියුම් කවරය හෝම්ස් අතට දී ඇය පවසා සිටියේ පණිවුඩකාරයෙකු පැමිණ මෙම ලියුම භාරදුන් බවත්, එම පණිවුඩකරු හෝම්ස්ව කැඳවාගෙන යාමට පහළ බලා සිටින බවත්ය.

මම හඩ්සන් මහත්මිය ගෙනැවිත් දුන් ලියුම් කවරය නිරීක්ශනය කරන්නට පටන් ගතිමි.

එය රුපියල් දෙකේ සාමාන්‍ය ලියුම් කවරයක් වූ අතර එහි ඉදිරිපස ‘221 බී, චූන්පාන් වීදිය’ යනුවෙන් අප නිවසේ ලිපිනය සදහන් වී තිබුණි. එසේම ලියුම් කවරය ඉදිරිපස රුපියල් විස්සක ලොකු මුද්දරයක්ද අලවා තිබුණු බව මම නිරීක්ශනය කළෙමි. හෝම්ස් ඉදිරියේ මගෙ හැකියාව පෙන්වීමට මෙය අවස්ථාවක් කරගත් මා මෙසේ පැවසුවෙමි.

“මට හිතෙන විදිහටනම් හෝම්ස්, මෙවර ඔබේ සේවාදායකයා හොඳ ධනවතෙක් වගේ….?”

“ධනවතෙක් කෙසේවෙතත් ඔහු අමු මෝඩයෙක් බවනම් පේනවා වොට්සන්….”

“ඒ මොකද හෝම්ස් ඔබ එහෙම කියන්නෙ….?”

“ඇයි මනුස්සයො, ඒ යකාට ගීතා කුමාරසිංහට තරම්වත් මොළයක් තිබ්බානම් පණිවිඩ කාරයෙක් අතේ එවපු ලියුමට මුද්දරයක් අලවලා එවයි ඈ….” මෙසේ පවසමින් හෝම්ස් ලිපිය මගේ අතට දුන්නේය. එහි මෙසේ ලියා තිබුණි.

“මා ආදරණීය මගේ හෝම්ස් වෙතටයි – මේ ලියන්නෙ අපේ ගෙදර කුස්සියේ සිටයි,
අපේ ගෙදර සුරතලයට ඇති කරන බල්ලා ඊයේ දිනයේ සිට ආගිය අතක් නැත. ඌව සොයා ගැනීමට ඔබේ උදව් අවශ්‍යයි. හැකිනම් එන්න, බැරිනම් ඒත් එන්න.
මෙයට,
විශ්වාසී
එඩ්වඩ් තොටවත්ත.”

“මම හිතන්නෙ වොට්සන් අපි හැකි ඉක්මනින් පිටත් උනොත් හොඳයි” මෙසේ කී හෝම්ස් තම කාමරය වෙත ගියේ සූදානම් වීම සඳහාය.

මමද වහාම මගේ කාමරයට ගොස් සූදානම් වුණෙමි. දීර්ඝ කාලයක් හමුදාවේ සිටීමෙන් ලද අත්දැකීම් නිසා මට විනාඩි කීපයකින් ගමනට අවශ්‍ය ලෙස සූදානම් වීමට හැකිවිය.

අප දෙදෙනා පහළට යන විටත් පණිවිඩකරු අප එනතුරු බලාසිටි අතර ඔහු පැමිණ තිබුණේ රෝද තුනේ ලොකු පියාජියෝ ත්‍රීවිල් රථයකිනි. අප දෙදෙනාව දුටු පණිවුඩකරු අපට ආචාර කර මෙසේ පැවසීය, “හෝම්ස් මහත්තයා, අපේ ලොකු මහත්තයා බොහොම නොයිවසිල්ලෙන් ඉන්නෙ ඔබව හමුවෙන්න…. ඔබට ගියහම සියළු විස්තර දැනගතහැකි…. අපි ඉක්මනින් පිටත්වෙමු.”

අප දෙදෙනා ගොඩවී ඉදගත් සැණින්ම ත්‍රීවිලරය ගමන් ආරම්භ කළේය. ප්‍රධාන වීදිය දිගේ තරමක දුරක් ගිය ත්‍රීවිලරය පසුව අතුරු පාරකට හරවා අපව ගෙනගියේ අප මින් පෙර නොගිය පෙදෙසකටය. මෙය ඉතා ගම්බද පෙදෙසක් වූ අතර පාරේ වැඩිය වාහනද නොවීය. හෝම්ස් කිහිපවරක්ම පණිවිඩ කරුව කතාවට අල්ලා ගැනීමට තැත්කළත් එය සාර්ථක නොවීය. අප කිසිදු කතා බහක් නොමැතිව ගමන් කළ නිසා නිහඬතාවය ඉවසාගැනීමට බැරිවූ ත්‍රීවිල් රියදුරා රේඩියෝව ක්‍රියාත්මක කළේ අහළ ගම් පහළොවකට විතර ඇහෙන තරම් ශබ්දයකිනි. ඒ වන විට රේඩියෝවේ විකාශනය වෙමින් තිබුණේ සමිත් සිරිමාන්නගේ රත්නත්තරේ පිහිටයි ගීතයයි. ත්‍රීරෝද රථය ඉදිරියට ඇදෙද්දී මඟ දෙපස ගෙවල් වල සිටි මිනිසුන් රත්නත්තරේ පිහිටයි ගීතය ඇසී පාර අයිනට දිව ආවේ ධාතු වඩම්මනවා කියා සිතමින් විය යුතුය.

මෙසේ සෑහෙන දුරක් ගමන් කළ ත්‍රීවිලරය අවසානයේදී ඉතා විශාල විලාවක් ඉදිරිපස නතර කළේය. එය බැලූ බැල්මට වසර සිය ගණනක ඉතිහාසයකට උරුමකම් කියන්නක් බව පෙනුනි. විලාව ඉදිරිපස ගේට්ටු කණුවේ ‘මකබෑ විලා’ යනුවෙන් ලොකු අකුරෙන් සඳහන් කළ පුවරුවක්ද විය.

පණිවිඩකරු ගේට්ටුව විවෘත කර අපව මකබෑ විලාව තුළට කැඳවාගෙන ගියේය. අප යන විට දොර අසළට වී පුද්ගලයෙක් නොයිවසිල්ලෙන් බලා සිටි අතර දැඩි පීඩාවකට පත් සළකුණු ඔහුගේ දෑසේ විය.

“ආයුබොවන් මහත්වරුනි…. මං හිතන්නෙ ඔබ හෝම්ස් මහත්තයා විය යුතුයි. එතකොට මේ ඔබේ මිත්‍රයා දොස්තර වොට්සන්… මම තමයි ඔබට පණිවිඩය එවපු එඩ්වඩ් තොටවත්ත….. ඇත්තටම ඔබ මේ වෙලාවෙ මෙහාට පැමිණීම අපිට කරන ලොකුම උදව්වක්….”

අප දුටු වහාම ඒ පුද්ගලයා මෙසේ කියවමින් අප අසළට ආවේය. ඉන්පසු ඔහු අපව කැඳවාගෙන ගියේ විසිත්ත කාමරයටයි. එහි සෝපාවක් මත තරුණ කාන්තාවක් හඬමින් සිටි අතර ඇය තොටවත්ත මහත්මිය විය යුතු බව මා අනුමාන කළෙමි.

අප දුටු වහාම ඇය නැගී සිට අප වෙතට දිව ආවාය. “අනේ එඩවඩ්…. මේ හෝම්ස් මහත්තයද…. අනේ හෝම්ස් මහත්තයා කරුණාකරලා මගෙ ඩෝගියව හොයලා දෙන්න…. අනේ කරුණාකරලා…..” යි කී ඇය නැවතත් හඬා වැටෙන්නට විය.

එඩ්වඩ් මහතා වහා ඉදිරියට පැමිණ ඇයව අස්වසන්නට විය. “කරුණා කරලා සන්සුන් වෙන්න තොටවත්ත මහත්මිය…. ඊටපස්සෙ සිද්ධ වුණ දේ මුළ ඉදන් මට කියන්න… සුළු සිද්ධියක්වත් මඟහරින්න එපා… මොකද ඔබ නොවැදගත් කියලා හිතන සිද්ධීන් ඇත්තටම ගොඩක් වැදගත් දේවල් වෙන්න පුළුවන්.” හෝම්ස් මෙසේ කී විට තොටවත්ත මහතා මෙසේ කථාව ආරම්භ කළේය.

“ඇත්තටම හෝම්ස් මහත්තයා අපේ ගෙදර හිටියා සුරතල් බලු පැටියෙක්. උගෙ නම ‘ඩෝගි’. මගෙ බිරිඳ මීට අවුරුදු කීපයකට කලින් පොතක් කියෙව්ව. ඒ පොතේ නම ‘පොමනේරියන් බැල්ලියකට පෙම් බැඳි දඩාවතේ යන බලු කුක්කා’. ඒ පොත කියෙව්වට පස්සෙ මගෙ බිරිඳට ඕනැ උනා පොමනේරියන් බලු පැටියෙක්ව හදන්න. ඉතින් ඇයගෙ ආසාව නිසා මං මීට අවුරුදු දෙකකට කලින් ඇගේ උපන් දිනේට පොමනේරියන් බලු පැටියෙක් තෑගි දුන්න… ඇය ඒ බලු පැටියට ගොඩක් ආදරේ කළා…. ඒ බලු පැටියත් ඇයට ගොඩක් ආදරෙයි. ඩෝගි කියලා කතා කළාම කොහෙ හිටියත් දුවන් එනවා… ඒත් හෝම්ස් මහත්තයා අද උදේ අපි අවදිවෙලා බලනකොට ඌ පේන්න හිටියෙ නෑ. අපි පුළුවන් හැම තැනකම ඌව හෙව්වා…. මගෙ බිරිඳ ඌගෙ නම කියලා සිය සැරේකට වඩා කතා කරන්න ඇති. ඒ අපිට ඌගෙ හෙවණල්ලවත් දකින්න ලැබුන්නෑ…. මගෙ බිරිඳ බලු පැටියව ගේ ඇතුළට ගන්න හැදුවත් මම තමයි කිව්වෙ ඌට එළියෙ ඉන්න දෙමු කියලා. මට තේරෙන්නෑ හෝම්ස් මහත්තයා අපි දැන් මොනවද කරන්න ඕනෑ කියලා…. මේ බලු පැටියව හම්බ නොවුනොත් මගෙ බිරිඳ ඒ දුකටම අසනීප වෙයි. අනේ කරුණාකරලා අපිට උදව් කරන්න හෝම්ස් මහත්තයා… ඒ වෙනුවෙන් ඔබ ඉල්ලන ඕනෑම ගාණක් ගෙවන්න මං ලෑස්තියි…”

“ඔබ අන්තිමටම බලු පැටියව දැක්කෙ කොයි වෙලේද….?”
ඇත්තටම වෙලේදි නෙමේ හෝම්ස් මහත්ත අපේ ගෙදරදි තමා මං ඌව දැක්කෙ…. ඊයෙ රෑ දහයට විතර…. අපි නිදාගන්න කලින්…”

“ඔබේ බලු පැටියට මොකක් හරි අසනීපයක් තිබුණද මහත්මය….? හෝම්ස්ගේ එම පැනයට පිළිතුරු දුන්නේ තොටවත්ත මහතා නොව එම මහත්මියයි.

“මීට දවස් කීපයකට කලින්නම් අපේ ඩෝගිට බඩේ අමාරුවක් තිබ්බා හෝම්ස් මහත්තයා. ඒත් මං දුන්නා සිද්ධාලේප අසමෝදගම්. බඩේ අමාරුව කොහෙන් ගියාද නෑ…”

හෝම්ස් තොටවත්ත මහතා ඒම මහත්මිය හා මකබෑ විලාවෙහි සේවකයන්ගෙන්ද ප්‍රශ්න කළ නමුත් ඔහුට වැදගත් යමක් දැනගත නොහැකි විය. ඉන්පසුව හෝම්ස් පැය දෙකක් පමණ මකබෑ විලාව හා එහි වත්ත පරික්ෂා කළ අතර ඔහුට එයින්ද සාර්ථක ප්‍රතිඵල අත් නොවීය. අවසානයේදී හෝම්ස්ගේ මුහුණේ ඉතිරි වූයේ බලාපොරොත්තු කඩවූ පෙනුමකි. එම පෙනුම වඩාත් සමීප වූයේ පකිස්ථානුවන් චැම්පියන්ස් ට්‍රෝපිය දිනාගද්දී කෝලිගේ මුහුණේ තිබූ පෙනුමටයි. අවසානයේදී හෝම්ස් නිගමනය කළේ බලු පැටියාව කවුරුන් හෝ පැහැරගෙන ඇති බවයි. නමිත් මේ අභිරහසෙහි තිබූ විශේෂත්වය වූයේ බලු පැටියා බුරන ශබ්දයවත් කිසිවෙකුට ඇසී නොතිබීමයි.

-මතු සම්බන්ධයි-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *