ෂර්ලොක් හෝම්ස් සහ නීල මාණික්‍යයේ කථා වස්තුව

තවද යටගිය දවස ලන්ඩන් නුවර එළිසබත් නම් රැජිනක් රාජ්‍ය කරන කල්හී අප මහා ෂර්ලොක් හෝම්සයාණෝ බේකර් දනව්වෙහි පිහිටි සිය දෙමහල් ප්‍රාසාදයේ උඩු මහලට වී ඉරාජ්ගේ අළුත් මියුසික් වීඩියෝවක් එන තුරු බලා සිටින අට වසර කොල්ලෙකු මෙන් අභිරහසක් රැගත් අනුග්‍රාහකයෙක් පැමිණෙන තුරු බලා සිටින්නෝය.

හෝම්සයාණන්ගේ අතිජාත මිත්‍ර රත්නය වූ වොට්සනායාණන්ද ආච්චිත් සමඟ සිල් ගන්නට ගිය දෙක වසර කොල්ලෙකු මෙන් ඉහවහා ගිය අලසකමකින් යුතුව නවකතාවක් කියවමින් කල් ගෙවන්නෝය.

මේ කාලයෙහි ලන්ඩන් නුවර අසූ කෙළක් ධන ඇති බැල්මොරල් නම් සිටුවරයෙක් වාසය කරති.

මොහු සතුව අඟනා නීල මාණික්‍යක් පවතී. ඒ වූ කලී අරුම පුදුම මාණික්‍යක්මය.

ප්‍රමාණයෙන් කින්ඩර් ජෝයි එකක් තරම්ය. අඳුරේදී සිව් රියනක් දුරට රශ්මිය පතුරුවයි. මාණික්‍යයේ රශ්මිය වදින කවර තැනක් වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද රැස්වීමක් මෙන් නීල වර්ණයෙන් බබළන්නේය.

මාණික්‍ය සොරු ගනිතැයි බියවූ සිටුවරයාණෝ එය විශේෂයෙන් කරවන ලද සේප්පුවක ලා රකිති. සේප්පුව විවර කරන මුර පදය දන්නෝ සිටුවරයාත් සිටුදේවියත් පමණකි.

සිටුවරයාණෝ එක් දිනක් අළුයම් වේලෙහි සේප්පුව විවර කර බලන සඳ මාණික්‍ය එහි නොමැති බව දැන ගත්හ. ඒවේලෙහි තම රටේ ජනපති රුසියාවට ගොස් මව්භාශාවෙන් කතාකරනු දැක කිපුණු දේශප්‍රේමියෙකු මෙන් කිපී ගිය සිටාණෝ මන්දිරයෙහි අස්සක් මුල්ලක් නෑර මාණික්‍ය සොයන්නට වන.

සිටු මැඳුර තුළ මාණික්‍ය නැති බව පසක් කරගත් සිටාණෝ මෙහෙකාර කොල්ලෙකු බණවාලා ‘නොවලහා ගොසින් මේ පුවත් බේකර් දනව්වෙහි වසන ෂර්ලොක් හෝම්සයාණන්ට සැළ කර සිටව’යි කීය.

මෙහෙකාර කොලු තෙමේ චූන් පාන් කාරයෙකු පසුපස පන්නන බඩගිනිකාර කොල්ලෙකු මෙන් වහ වහා බේකර් දනව්වට ගොසින් මෙපුවත් සැල කලෝය.

එවේලෙහි නොවලහා ක්‍රියාත්මක වූ හෝම්සයානෝ වොට්සනයාණන්ද, මෙහෙකාර කොල්ලාද රැගෙන පාරට පිවිස රෝද තුනේ ලොකු ත්‍රීවිල් රථයක් නවත්වා ගත්හ. තිදෙනාම ත්‍රීවිලයට වැදුනු පසු මෙහෙකාර කොල්ලාගේ උපදෙස් පරිදි රථය බැල්මොරල් මැදුර බලා පිටත්වීය.

අඩ හෝරාවක ගමනකින් සිටු මැදුරට ළඟාවී ත්‍රීවිලය හරවා යැවූ සඳ වොට්සනයාණන් මෙසේ පැවසීය.

‘එම්බා හෝම්සය, ත්‍රීවිලයෙහි පැමිණෙන අතරමඟ මා නිරීක්ෂණ මගින් නිගමනයකට පැමිනියෙමි.’ එකල්හි හෝම්සයෝ ‘ඒ කිමෙක්දැ ?’යි විචාරීය.

‘මගේ නිගමනය අනුව මේ කාලයේ ත්‍රීවිල් රියදුරන් බොහෝ සේ ආගම දහමට ලැදිය’යි කී කල්හි ‘එසේ කියන්නේ මක් නිසාදැ’යි හෝම්සයෝ විචාරීය.

‘හැයිද, අතරමගදී ත්‍රීවිලයේ දමා තිබූ කවි බණ නෑසුණේ දැ’යි වොට්සනයෝ විමසීය.

එකල්හි සමච්චලයෙන් සිනාසුනු හෝම්සයාණෝ ‘වොට්සන් මාගේ මිත්‍රය, ඔබේ නිගමනය සපුරා වැරදිය. උන්ගේ ඇති ආගමික ලැදියාවක් නැතිය. උන් අසන කවි බණක්ද නැතිය. ඒවා වූ කලී සමිත් සිරිමාන්න නම් ගායකයෙකුගේ ගීතය. ඒ ගායක තෙමේ උපාසක අම්මෙකු ටෝක් කරන ඇබිත්තයෙකු මෙන් ආගමික ගීතම ගයති.’ යනුවෙන් පිළිවදන් දුනි.

කතරගම දෙවියන් වඩින තුරු බලා සිටි මංජුල පීරිසයාණන් මෙන් හෝම්සයන් පැමිණෙන තුරු බලා සිටි සිටාණෝ හෝම්සයාණන් පැමිණ සිය ගේට්ටුව අසළ සිටිනු දැක නොවලහා ඒ දෙසට දුවන්නට වන. ඒ දුටු හෝම්සයාණෝ ‘සිටුතුමණි, නුඹ මේ ගැන ස්කොට්ලන්ඩ්යාඩයට දැන්වීදැ’යි විචාලීය.

‘ස්කොට්ලන්ඩ්යාඩය තියා කොටදෙණියාව පොලීසියටවත් නොකීමි. නුඹම මෙය විසදිය යුතුයැ’යි සිටාණෝ කියූහ. ‘එසේ වී නම් සොරකම් සිදු වූ තැන මට පෙන්වන්නැයි’ හෝම්සයෝ කීය.

එකල්හි සිටාණෝ හෝම්සයාණන්ද, වොට්සනයාණන්ද කැටුව සිය සිරි යහන් ගබඩාවෙහි තිබූ සේප්පුව වෙත ගියහ. සේප්පුව දෙස බැලූ එක බැලුම් මාත්‍රයකින්ම මේනම් ලංවා සංස්ථා වානේ යොදා සැදූ සේප්පුවක් බව හෝම්සයෝ නිගමන කළහ. සේප්පුව කැඩූ ලකුණු කිසිත් නොවූ කල්හි ‘මෙය විවර කරන රහස දන්නෝ කවුරුදැ?’යි විචාරීය.

‘මමත් සිටු දේවියත් පමණකැ’යි සිටාණන් කී කල්හි ‘එසේ වී නම් මා සිටු දේවියෝ හමුවිය යුතුයැ’යි හෝම්සයෝ පැවසීය.

සිටු දේවිය වූ කලී සිසිවන වුවන ඉඟ සුඟ ගත හැක පිටි මිටින ප්‍රමාණයේ කාන්තාවකි. ගෙදර වැඩ නොකර කාටූන් බලමින් සිට අම්මාට අසුවූ කෙල්ලක මෙන් බිය වී සිටි ඇගෙන් වැදගත් කිසිවක් අසාගත නොහීය. ඒ වේලෙහි හෝම්සයෝ සිටාණන් බණවාලා ‘සැකකටයුතු කවුරුන් හෝ ඇත්දැයි’ විචාරීය. එහා වීදියෙහි වසන එඩ්මන්ඩ් සිටාණන් සැකකටයුතු බව සිටුවරයා පිළිවදන් දුනි. ඒ එඩ්මන්ඩ් සිටාණන්ගේ කතාව මෙසේ දත යුතු,

එඩ්මන්ඩ් සිටාණන් වූ කලී හතලිස් කෙළක් ධනය තිබූ අයෙකි. කැසිනෝ යාමටත්, ක්ලබ් යාමටත් පුරුදු වූ ඔහුගේ ධනස්කන්දය පාසැලේ ඉන්ටවල් එකේදී විවර කළ ෆ්‍රයිඩ් රයිස් මුලක් මෙන් බලාසිටිද්දී සිඳී ගියහ. දැන් ඔහු ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරමින් සිට වින්ඩෝව්ස් පාවිච්චි කරන්නාක් පරිද්දෙන් දුක සේ කල් ගෙවති.

කිසිදු හෝඩුවාවක් සොයාගත නොහෙන තැන හෝම්සයෝ මෙසේ සිතති ‘සේප්පුව කඩාද නැතිය, අඩි සළකුණුද නැතිය, හොරෙක් ගැන සාක්කියක්ද නැතිය, සිටුවරයා හෝ දේවිය කිසිවක් දන්නේද නැතිය. මේ වූ කලී අරුම පුදුම අභිරහසකි. තාජුඩීන්ගේ නඩුව සේම පැටලිලි සහගතය. මෙය විසදීමටනම් බොහෝ සේ කල්පනා කළ යුතුය.’

එසේ හෙයින් එඩ්මන්ඩ් සිටාණන්ගෙන් ප්‍රශ්න විචාරීම හෙට දිනයට කල් දැමිය යුතුයැයි තීරණය කළ හෝම්සයෝ වොට්සනයාණන්ද සමඟ සිටු මැදුරෙන් එළි බැස බේකර් දනව්ව බලා පිටත් වීය. පෙරළා නිවසට පැමිණි හෝම්සයෝ කාමරයට වැදී කල්පනා සාගරයෙහි ගිලී දියබුං ගසන්නට වන.

හෝම්සයෝ කල්පනා කරන කලට විමල් වීරවංශයෝ උපවාස කරන්නාක් මෙනි.

නිරාහාරවම පසුවෙති. ලෙමන් පෆ්වත් නොකති. කෝපි පමණක්ම බොති.

ඒ කලට මුළු වා තලයම කෝපි, දුම්කොළ ධූමයෙන් වැසී යන්නෝය. හෝම්සයාණන්ගේ විදිය හොදින් හදුනන වොට්සනයෝ එකලට හෝම්සයන්ට බාධා නොවන සේ සිටිති.

පසු දින උදයේ වොට්සනයාණන් අවදි වී බලන සඳ හෝම්සයෝ නිවසෙහි නැති බව දැනගත්හ. වොට්සනයෝ උදා භෝජනය නිමා කොට පොතක් කියවමින් සිටිද්දී, දාවල හිරු මුදුන් වන්නට හෝරාවකට පමණ පෙර හෝම්සයෝ නිවෙසට ගොඩවීය. එකෙනෙහිම හෙතෙම වොට්සනයාණන් අමතා

‘හෙම්බා වොට්සනය, වහ සූදානම් වී මා සමඟ එව….’ කියා කීහ.

විධානය ලැබූ කෙණෙහිම ක්‍රියාත්මක වූ වොට්සනයෝ දිගු කලක් හමුදාවේ සිට ලැබූ අත්දැකීම් නිසා ඇසිපිය හෙලන නිමේශයකින් සූදානම් වී හිසට හිස් වැසුම් ද, පයට පා වහන් ද, අතට රිවෝල්වරද ගෙන නිවසින් එළි බටහ.

නිවසින් එළිබැස ගමන් කරන අතරේ හෝම්සයෝ මෙසේ පවසති, ‘අද උදයේ මා එඩ්මන්ඩ් සිටාණන් හමුවීමට ගියෙමි. සිරස ලක්ෂපතියේ චන්දන සූරියබණ්ඩාරයන් මෙන් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න විචාරාත් විචාරාත් වැදගත් යමක් දැනගත නොහී. නමුත් මා දැනගත් පරිදි අද හිරු මුදුන් වන වේලෙහි හෙතෙම නිවසින් පිටව යෙයි. ඒවේලෙහි අප දෙදෙන සිටාණන්ගේ නිවසට වැද නිවස පරික්ෂා කළ යුතුයැ.’

මෙසේ දෙදෙන පැමිණෙන කල්හි එඩ්මන්ඩ් නිවෙස අගුළු ලා ඇති බව දුටහ. නමුදු අගුළු කැඩීමෙහි ශූර හෝම්සයාණෝ ජනපතිගේ වෙබ් අඩවිය හැක් කරන්නාක් තරම් පහසුවෙන් අගුළු කඩා දොර විවර කළෝය.

ඉනික්බිති නිවෙසට වැදුණු දෙදෙන නිවෙසේ අඟලක් අඟලක් පියා පරික්ෂා කෙරීය. නමුදු හතලිස් නමයේ ඩේටා කාඩ් එකක්, හිස්වූ සන්ධි සුදා ප්ලස් බෝතලයක්, මහජන සම්පත ලොතැරැයි දෙකක් ආදී දේ හැර වෙනත් කිසිවක් මුණනොගැසුණු නිසාවෙන් ද්විත්ව ශතක ප්‍රාප්තව සිට එකසිය අනූ හතරෙන් දැවී ගිය කුසල් මෙන්ඩිසයාණන් මෙන් බලාපොරුත්තු සුන් වූ හඬකින් හෝම්සයෝ මෙසේ කියති,

‘මේ නිවස පරික්ෂා කොට ලද හැකි දෙයක් නොවේ. අප දෙදෙන වහා පිටවී සිටාණන් එන්නට පෙර ආපසු යා යුතුය.’

මෙසේ හෙයින් නැවත දොරගුළු පියා එළිබසින සඳ හෝම්සයෝ දුටුවේ මේ ආදරයයි යන වේලාවට රූපවාහිනිය දෙස බලා සිටින ගෘහණියක සේ වීදියේ ඈත කෙළවර සිට ඔවුන් දෙස නෙත් නොපියා බලා සිටින එඩ්මන්ඩ් සිටාණන්ය. එඩ්මන්ඩ් සිටාණන් වූ කලී බටහිර ඉන්දියානු කෙදෙව් ක්‍රිකට් කණ්ඩායමටම තනිව පහර දිය හැකි තරම් හැඩි දැඩි මහා පුරුශ රත්නයකි.

‘එම්බා සොර දෙටුව, තා මගේ නිවෙසට වැදී කුමක් කරන්නෙහිද….?’යි කියා එඩ්මන්ඩ් සිටාණෝ බයික් රෝදයකට කකුල හසුවූ සුනඛ පෝතකයෙකු මෙන් මහ හඬින් ඝර්ජනා කරති.

ඒ ඝර්ජනාවෝ ඇසී වා තලය කම්පිත වීය. නිවෙස් වල දොර ජනෙල් වෙවුලුම් කෑහ. වයින් වීදුරු කුඩුවී ගියහ. සදළුතලාවෝ ඉරිතලා ගියහ. නමුදු කිසිවක් නොවූ කලෙක මෙන් හෝම්සයාණන් සන්සුන් ගමනින් සිටාණන් වෙත පියමනින්නට වන.

ඒ දුටු සිටාණෝද හැරී පෝටරයන්ව දුටු වෝල්ඩමෝටයන් මෙන් වෛරයෙන් හෝම්සයෝ කරා පිය නගන්නට වන. මේ දුටු වීදියේ වසන ගැහැණුන් දරුවන්ද වඩාගෙන නිවෙස් තුළට වැදුනහ. පිරිමින්ද නිවෙස් තුළට වැදී දොර කවුළු අගුළු ලෑවෝය. ප්‍රාණියෙකුගේ අංශු මාත්‍රයක්වත් ඉතිරි නොවන සේ වීදියම සැණෙකින් ජීවයෙන් තොර වීය.

ඈතින් ජෝන් ඒබ්‍රහම් වැනි හැඩි දැඩි සිරුරින් යුතු එඩ්මන්ඩ් සිටාණන්ය.

මෑතින් දනුෂ් වැනි කෙසඟ සිරුරින් යුතු හෝම්සයන්ය.

ඈතින් රා කළ සොළොසක් බී මත්වූ නාලාගිරි හස්ති රාජයා වන් සිටාණන්ය.

මෑතින් හස්ති රාජයාට අනින හෙණ්ඩුව වැනි හෝම්සයන්ය.

ඈතින් නෙත් වලින් ගිනි පුපුරු පිටකරන සිටාණන්ය.

මෑතින් සිටාණන්ව නිරීක්ෂණය කර නිගමනයන්ට එළඹෙන හෝම්සයාන්ය.

ඈතින් පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ දිව එන වියරු වැටුණු සිටාණන්ය.

මෑතින් නිසල පවන මත හිනැහි හිනැහි පිනි මල් මතින් වඩින හෝම්සයාණන්ය.

‘තා මගේ නිවෙසට වැදී කුමක් කළෙහිද, වහා පවසව…’ සිටාණන් නැවත ඝර්ජනා කළහ.

එවලෙහි සන්සුන් ගමන් සේම සන්සුන් වදන් ඇති හෝම්සයෝ මැතිවරණයට සති දෙකකට පෙර ඡන්ද දායකයන් අමතන පළාත් සභා අපේක්ෂකයෙකු මෙන් සිටාණන් ඇමතීය

‘කලබල නොවනු මැනවි. අප ඔබතුමා හමුවීමට පැමිණියෙමු’ කීය.

‘ඒ කවර හේතුවක් නිසාදැයි…?’ සිටාණන් විමසීය.

එවිට චතුර සේනාරත්නයන් සේම මුසා බස් කීමෙහි ශූර හෝම්සයෝ මෙසේ පිළිවදන් දුනි. ‘මාත්, මා මිත්‍ර වොට්සනයෝත් දුම් බීමට බොහෝ සේ ප්‍රිය කරති. නමුදු ආණ්ඩුවේ නීති රීති නිසා සිගරට් පැකැට්ටුවක් මිස තනි තනිව ගත නොහී. එසේ හෙයින් ඔබතුමාත් ප්‍රියනම් අප තිදෙනාටම එක්වී සිගරට් පැකැට්ටුවක් මිළදීගෙන එය බෙදාගත හැකිය.’ ඒ ඇසූ සිටාණන් තුළ වූ කෝපාග්නිය වී පැදුරෙන් ඉගිළී යන කුරුල්ලෙකු ලෙසින් පළා ගියහ.

ඉක්බිති සිටාණෝ ‘මා සමග එව’යි පවසා හෝම්සයෝද, වොට්සනයෝද සමඟ හන්දියේ කඩය දෙසට යන්නට වන.

කඩයෙන් සිගරට් මිළදීගෙන එහි වැඩි කොටස සිටාණන් අතට දුන් හෝම්සයෝ කඩයේ මුදලාලියාණන්ගෙන් මෙසේ විමසති ‘ එම්බා මුදලාලියනි, බැල්මොරල් සිටුවරයා සතුව ඇති නීල මාණික්ය ගැන නුඹ අසා තිබේද?’ එසේයැයි පිළිතුරු ලැබැණු කල ‘එසේනම් ඒ ගැන කියැවයි’ හෝම්සයෝ විචාරීය.

එවිට මුදලාලියෝ මෙසේ පිළිවදන් දුනි ‘ඒ නීලමාණික්ය වූ කලී සිටාණන්ගේ පිය පරපුරෙන් උරුම වන්නකි. නමුදු අවාසනාවට කාරනයනම් එය ශාපලත් මාණික්යක් වීමයි. ඒ මාණික්යේ ශාපයට හසුවන කවරෙක් වුවද අවාසනාවටම පත්වන්නෝය.

එක්තරා රටක ජනපති කෙනෙකුන් බලන බලන වර්ල්ඩ් කප් ෆයිනලය එම රට පරාජය වන්නාක් සේම මාණික්යේ ශාපයට හසු වූවන් කරන කරන සියළුම දේ අසාර්ථක වන්නේය. ඒ මාණික්යේ ශාපයට හසුවූවෙකු සුදු වෑන් එකකින් ගෙන ගියාක් වැනිය. ගැලවීමක්නම් නැතිය. එම ශාපයෙන් ගැලවීමනම් කරන්නට අමාරු වැඩක් නොව කරන්නට බැරි වැඩකි.’

එසේ කලට හෝම්සයෝ මෙසේ සිතති.’ සිටාණන් හෝ සිටු දේවිය හෝ ශාපය ගැන කිසිවක්ම නොකීවෝය. එනිසා මේ පිළිබඳ ඔවුන්ගෙන් විචාරිය යුතුය. ඉනික්බිති හෝම්සයෝ වොට්සනයාණන්ද කැඳවාගෙන සිටු මැඳුර වෙත ගියහ. එහිදී ශාපය පිළිබඳ සිටාණන්ගෙන් විචාරන කල්හි සිටාණෝ මෙසේ පිළිවදන් දුනි.

‘අහෝ මා ප්‍රිය හෝම්සය. ඒවා වූ කලී ගැමියන් අතර ප්‍රචලිත මිථ්යා විශ්වාසයෝය. ඒවානම් ඉන්දික තොටවත්තයන්ගේ අනාවැකියක් තරම්වත් ගණන් ගත නොහීය.’

එසේ වී නම් මේ ගැන තවත් කල්පනා කොට බැලිය යුතුයැයි සිතූ හෝම්සයෝ වොට්සනයාණන්ද සමඟ බේකර් දනව්ව බලා පිටත් වීය.

තුන්වන දින් හිරු නැගෙන වේලෙහි වොට්සනයන්ව අවදි කළ හෝම්සයෝ මෙසේ පවසති.

‘මා මිත්‍ර වොට්සනය, අදනම් මේ අභිරහස විසදිය හැකි වනු නියතය. එනිසා වහා සූදානම් වී මා සමඟ එව.’

එකල්හි වොට්සනයෝද සූදානම් වී හෝම්සයෝ සමඟ පැමිණෙති. බැල්මොරල් සිටු මැදුර අසළටම පැමිණි හෝම්සයෝ සිටු මැදුර තුළට නොගොස් වොට්සනයන්ද කැදවාගෙන සිටු මැදුර අසළ වූ පාළු වත්තට ගියහ.

ඒ වූ කලී අතහැර දමන ලද වත්තකි. ඕ ලෙවල් ලියන කොල්ලෙකුගෙ කාමරයක් වැනි වූ එහි දණක් උසට වැවුනු තණ පඳුරු අතර එම්. එච්. 370 ගුවන් යානය වුවද සැඟවිය හැකිය. සිටු මැදුරත් වත්තත් වෙන් කරන තාප්පය අසළට ගිය හෝම්සයෝ ක්‍රිකට් ගසමින් සිටියදී වත්තකට ගොස් නැතිවූ බෝලය සොයන කොල්ලෙකු මෙන් කිසියම සොයන්නට වන.

මද වේලාවකින් සෙවූ බෝලය පමණක් නොව ගිය සතියේ නැතිවූ බෝලයද හමුවුනාක් වැනි සතුටකින් පිනා ගිය හෝම්සයෝ නැමී කිසිවක් අසුළා ගත්හ. ඒ නම් අන් කිසිවක් නොව රුපියක් දෙකේ ශොපින් කවරයක් තුළ දමන ලද අච්චු පාන් ගෙඩියකි.

‘එම්බා හෝම්සය පාන් ගෙඩියකින් අපට ඇති ඵල කිමෙක්දැයි’ එවේලේ වොට්සනයෝ විමසූහ. ‘ඒ බස් මතුවට කියමි, දැන් මා සමඟ එව’යි කියූ හෝම්සයෝ බඩේ අමාරුවක් සෑදී වැසිකිළිය දෙසට දුවන කොල්ලෙකු මෙන් වහ වහා සිටුමැදුර දෙසට දුවන්නට වන. ඒ දුටු වොට්සනයෝද ෂැගියාණන් පසුපස දුවන ස්කූබියන් සේ හෝම්සයෝ පසුපස දිවූහ.

සිටු මැදුරට වැදුණු හෝම්සයෝ සිටාණන් අමතා ‘සිටාණෙනි, මා අභිරහස විසදූයෙමි. වහා පාන් කපන පිහියක් රැගෙන එන්නැයි’ හඬගෑවේය.

එබස් ඇසූ සිටාණෝ අල්ලපු ගෙදර ළමයාගේ ඕ ලෙවල් රිසාල්ට් අසන්නට දුවන ඇන්ටියක මෙන් හෝම්සයෝ දෙසට දිව ආහ. එකෙණෙහිම හෝම්සයෝ අත ඇති පාන් ගෙඩිය දුටු සිටාණෝ ‘මා කීවේ පාන් ගෙඩියක් සොයන්නට කියා නොව, නීල මාණික්ය සොයන්නටයි. මේ මොන ජෝක්ස් එකක්දැ’යි විචාරීය. ‘මදක් ඉවසන්නැයි’ සිටාණන්ට කී හෝම්සයෝ සිටුදේවියද කැඳවාගෙන එන්නැයි සිටාණන්ට දැන්වීය.

සිටාණෝ, සිටු දේවියද කැඳවාගෙන ආ කල්හි පාන් ගෙඩිය මේසයක් මත තැබූ හෝම්සයෝ අතැති පිහියෙන් පාන් ගෙඩිය කපන්නට වන. එවිට පාන් ගෙඩිය තුළින් මතුවූයේ කොළයක ඔතන ලද යමකි. හෝම්සයෝ එය අතට ගෙන දිගහරින සඳ ඝනදුර පලා මතුවන ටෝච් එළියක් සේ නීල මාණික්ය බබළන්නට වන.

ඒ දුටු සිටාණන්ගේ ඇස් ඕ ලෙවලින් දිවයිනේ ප්‍රතමයා වූවන් උපකාරක පන්තිවල නොගිය බව ඇසූ කලක මෙන් විශ්මයෙන් පිරී ගියහ. ‘මාණික්ය පාන් ගෙඩියක් තුළට ගියේ කෙසෙද’යි කියා සිටාණෝ හීම්සයාගෙන් විචාරීය. එවිට හෝම්සයෝ ‘ඒ ගැන සිටු දේවියගෙන්ම අසාගන්නැයි’ පිළිවදන් දුනි.

එවෙලෙහි සිටු දේවියෝ කිරිපිටි හොරෙන් කන්නට ගොස් නැන්දම්මාට හසුවූ අලුත බැඳපු මනාලියක සේ බියෙන් සහ ලජ්ජාවෙන් බිම බලාගෙන සිටින්නට වන.

‘සිටුදේවිය, වහා සිදුවූ දෙය කියන්නැ’යි එවෙලේ හෝම්සයෝ විචාරීය. නමුදු සිටු දේවිය කිසිවක් නොකියනා කල්හි ‘මට කියනා දෙයට මැළි වන්නේ හැයිද, වහා කියව’යි සිටාණන්ද පැවසීය.

එවේලෙහි කොල්ලත් සමඟ ක්ලාස් කට් කර ඇවිදින්නට ගොස් තාත්තාට හසුවූ කෙල්ලක මෙන් සිටුදේවියෝ මෙසේ පවසති.

‘ඒ මාණික්ය වූ කලී ශාපලත් එකක්මය. රෝඩ් රනර් පසුපස එළවන නරියා මෙන් ඒ මාණික්ය අයත් කරගන්නා කවරෙකු පසු පස වුවද ශාපය පැමිණේ. ඒ ශාපයට හසුවන්නෝ අවාසනාවෙන් අවාසනාවටම යති. අප සිටු පවුලට ඇති ලොකුම ගැටලුව මේ මාණික්යයි. පසු ගිය දිනක මා ආසිරි වනිගරත්නයන්ගේ වැඩමුළුවකට සහභාගී වීමී. එහිදී එතුමා ‘ඔබේ ගැටළුව කොලයක ඔතා එය පාන් ගෙඩියක් ඇතුළට ඔබා අල්ලපු වත්තට විසිකරන්නැයි’ කීවෝය. ඉතින් මා ඒ ලෙසට කළෙමියි’ කීය.

ඒ ඇසූ හෝම්සයෝ අරළු පෙති දෙකක් බීවාක් මෙන් බඩ අල්ලාගෙන සිනාසෙන්නට විය. ඉක්බිති හෝම්සයෝ මෙසේ පවසති.

‘අහෝ සිටුදේවියනි, ඔබතුමිය වරදවා වටහාගෙන ඇතිය. වනිගරත්නයෝ පවසන්නේ ප්‍රශ්නය කොලයක ඔතා පාන් ගෙඩියකට ඔබන්නට නොව, ප්‍රශ්නය කොලයක ලියා පාන් ගෙඩියක ඔබන්නටය.’

ඒ ඇසූ සිටු දේවියෝ මනාලයාට වදින ෆොටෝවන් ෆේස්බුක් දැමූ මනාලියක සේ ලජ්ජාවෙන් ඇකිලෙන්නට වන. මේ දුටු සිටාණෝ ‘දේවිය නොදැන කළ වරදට ඇයට සමාව දිය හැකිය. එම්බා හෝම්සයනි, නුඹ නම් මහා පුරුෂයෙක්මය. චතුර සේනාරත්නයෝ සේම හපනෙකි. නුඹ මෙය විසදූ ආකාරය අපටත් කියන්නැයි’ කීය.

එවිට හෝම්සයෝ මෙසේ පිළිවදන් දුනි.

‘ඒ නම් මහා අසීරු දෙයක් නොවීය. එදා මා සිටු මැදුර පරික්ෂා කරන වේලෙහි වනිගරත්නයන්ගේ අත් පත්‍රිකාවක් දුටිමි. ඒ ඔස්සේ ගොස් මා සියල්ල සොයා ගතිමි’යි කීය.

ඒ ඇසූ සිටාණෝ බොහෝ සේ ප්‍රීතිවී පියාජියෝ ත්‍රීවිල් සියයක් පිරෙන්නට තෑගි බෝග ලබා දී, දැසි දසුන් ගව මහීශාදීන් සමඟ පෙරහරකින් හෝම්සයෝ බේකර් දනව්වට පිටත් කර එවීය.

තවද ධන ඇත්තවුන් විසින්ද වනිගරත්නයන් වැනි උන් කියනා දේ ඇසීමට ගොස් වස්තු සම්පත් ආදීන්ට හානි පමුණුවාගන්නා ආකාරය දැක්වීමට රචිත ෂර්ලොක් හෝම්ස් සහ නීල මාණික්යේ කතා වස්තුව මෙයින් සමාප්ත වේ.

ප.ලි. – කලකට පෙර ලියූවක් බැවින් සමහර උපමාවන් හා සිදුවීම් කල් ඉකුත් වී ඇති බව කරුණාවෙන් සළකන්න….

Leave a Reply