ෂර්ලොක් හෝම්ස් සහ වඳ කිරි වීදුරුවේ කතා වස්තුව – 2 කොටස

එකල්හි නම නොකියන ජනපතිදුන්ගේ උපදෙස් පරිදි අගමැති තෙමේ ගොස් ෂර්ලොක් හෝම්ස්යන්ව සහ වොට්සනයන්ව අරලිය මැදුරට කැඳවාගෙන එති.

ඒ වෙද්දී කිම් ජොන් උතුමාණෝ සන්සුන් වී දෙවෙනි ඉනිම නරඹමින් උක් සකුරු කමින් අරලිය මැඳුරට වී කල් ගෙවති.

ඇඩ්වෙන්චර් ලයන් අගමැතිගෙන් සියළු විස්තර අසාගත් හෝම්සයෝ වහා පැමිණ කිරි සාදන ලද අරක්කැමි‍යා හමුවී ‘මේ කිරි කොහෙන් ගෙනාවේදැයි’ විචාරීය.

එකල අරක්කැමි තෙමේ ‘මේ කිරි ගෙනාවේ කිරිකාරයායැයි’ කී කල්හි ‘එසේනම් ඒ කිරි කාරයා කවුරුන්දැයි’ විචාරීය.

‘ඒ කිරි කාර තෙමේ වසන්ත නම් වෙතියි’ අරක්කැමියා පිළිවදන් දුනි.

එසේ වී නම් වහා ගොස් කිරි කාරයා හමුවිය යුතුයැයි සිතූ හෝම්සයෝ අරක්කැමියාගෙන් පාර අසාගෙන වොට්සනයන්ද සමඟ කිරි කාරයාගේ නිවෙස වෙත යති.

මෙසේ කිරි කාරයාගේ නිවෙස වෙත එද්දී මඟ දෙපස තැන තැන වැටී ඇති පාන් ගෙඩි දුටු හෝම්සයෝ වොට්සණයන් බණවාලා මෙසේ කියති.

‘හෙම්බා වොට්සනය මා නිරීක්ෂන මගින් කළ නිගමනයට අනුව මේ අසළ තැනෙක චූන් පාන් ත්‍රීවිලයක් පෙරළී ඇත’.

ඒ බස් ඇසූ වොට්සණයෝ හෝම්සයන්ට වැරදීම පිළිබඳ සතුටු සිත් ඇතිව මෙසේ කියති.

‘අහෝ මා මිත්‍රය, ඒ නම් නුඹ දන්නා තරමයි. මේ තිබෙන්නේ චූන් පාන් කාරයෙකුගෙන් හැලුණු පාන් ගෙඩි නොව, මෙරට වස්සන් ආසිරි වනිගරත්නයන්ගේ බස් අසා තම ප්‍රශ්නය කොළයක ලියා, කොළය පාන් ගෙඩියක් ඇතුළට ඔබා පාරට විසි කරන ලද පාන් ගෙඩිය.’

ඒ ඇසූ හෝම්සයෝ ගම්පහින් බසයට නැඟ ගම්පහටම ටිකට් ඉල්ලූ කලෙක මෙන් ලජ්ජාවට පත්වී වහා නිහඬ වූහ.

මෙසේ හෝම්සයෝ සහ වොට්සනයෝ අළුත් අවුරුද්දට කෙල්ලත් එක්ක ශොපින් යන කොල්ලන් දෙදෙනෙකු සේ ගාට ගාට කිරි කාර වසන්තයන්ගේ නිවෙස අසළට පැමිණි කළ නිවෙස දොරගුළු පියා වසන්තයෝ කොහේ හෝ ගොස් ඇති බව දුටහ.

එකල පෝය දවසේ ටීවී එක දැමූ කලෙක මෙන් මහා කම්මැලිකමකින් යුතුව පැයක් පමණ බලා සිටත් වසන්තයන්ගේ සේයාවක්වත් නොදුටු සඳ වොට්සනයෝ මෙසේ පවසති.

‘මේ වසන්තයා නම් මේ කපේදී නොයෙන එකෙක්ය. අප දැන් ගොසින් වෙන දවසක යළි ආ යුතුයැ.’

එබස් ඇසූ හෝම්සයෝ මෙසේ කියති

‘එම්බා වොට්සනය. එසේ නොකියව. ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත්…. වසන්තයා එනවා සත්තයි.’

එකල්හි සුමනදාස අබේගුණවර්ධනයන්ගේ අනාවැකියක් මෙන් හෝම්සයන්ගේ අනාවැකිය සඵල කරමින් වීදියේ ඈත කෙළවරෙන් කිරිබෝතල් කිහිපයක් එල්ලූ බයිසිකලයක් මතුවිය. ඒ දුටු හෝම්සයෝ නිසැකයෙන්ම මේනම් වසන්තයා විය යුතුයැ සිතා වහා ඉදිරියට ගොස් මෙසේ විමසති. ‘

එම්බා වසන්තය, නම නොකියන ජනපතිගේ නිල කිරි සපයන්න ඔබද…?’ ඒ ඇසූ හේ

‘මා නිල කිරි සපයන්නා නොව එළ කිරි සපයන්නායි’ කියා පිළිවදන් දුනි.

‘එසේ වී නම් අද උදයේ සැපයූ කිරි නුඹ ලබාගත්තේ කොයින්දැයි?’ හෝම්සයෝ විචාරීය.

‘ඒවා මගේ එළදෙනගෙන් දොවාගතිමියි’ වසන්තයා පිළිවදන් දුනි.

මෙසේ ප්‍රශ්න විචාරාත්, විචාරාත් කිසිත් හෝඩුවාවක් නොලද කළ හෝම්සයෝ වොට්සනයන්ද සමඟ එතැනින් පිටවී එන්නට වන.

මෙසේ එන අතරමඟ හෝම්සයෝ මෙසේ විචාරති.

‘වසන්තයාට ඇත්තේ ඔළුව රිදෙනවායැයි බොරු කියා උදෑසන රැස්වීමට නොගොස් පන්තියේ රැදී සිටින අට වසර කොල්ලෙකුගේ වැනි බැල්මකි. මටනම් ඌ ඉතා සැකය. එනිසා ඌ ගැන සෙවිල්ලෙන් සිටිය යුතුයැ.

ලන්ඩනයේදීනම් මෙවැනි දේට උදව් කිරීමට විගින්ස් ඇතුළු සිඟිති පාතාල කණ්ඩායම සිටියෝය. සිරිලක එවැනි සිඟිති පාතාලයෝ නැතිදැ?’

එකල්හි වොට්සනයන්ට බේකර් වීදියේ අවිධිමත් රහස් පරික්ෂකයෝ හෙවත් විගින්ස් ඇතුළු සිඟිති පාතාලයෝ සිහිවී මෙසේ කියති.

‘සිරිලකත් සිඟිති පාතාලයෝ බොහෝ වෙති. බොරුනම් අර බලවයි’ කියා සිස්සත්ව පන්ති ඇරී එන කොළු රැලක් පෙන්වූහ.

එකල හෝම්සයෝ ඒ සිඟිති පාතාල පිරිස වෙත ගොස් මා නැවතී සිටින්නේ අහවල් හෝටලයේය. නුඹලා වසන්තයාගේ නිවෙස දෙස බලා සිට එහි යන එන්නවුන් පිළිබඳ මට විස්තර දැන්වුවහොත් හතලිස්නමයේ ඩේටා කාඩ් දමා දෙමියි ආදී බස් දොඩා ඔවුන් ගිවිසවාගෙන නැවත වොට්සනයෝ සමඟ හෝටලයට පැමිණියහ.

පැමිණි වේලෙහි පටන් හෝම්සයෝ පුටුවක වාඩිවී, පයිප්පය දල්වාගෙන කල්පනා සාඟරයෙහි ගිලී දියබුං ගසති. දුම්කොළ ධූමයෙන් කාමරය වැසී යද්දී වොට්සනයේ කාමරයේ තිබූ රේඩියෝව ක්‍රියාත්මක කළහ. එසේ කලට රේඩියෝවේ ‘

රත්නත්තරේ පිහිටයි’ ගීතය යනු ඇසූ හෝම්සයෝ ‘එම්බා වොට්සණය, වහාම ඔය කවිබණ පටය නවත්වා දමන්නැයි කීය.’ එකල වොටසනයෝ ඊට මෙසේ පිළිවදන් දෙති.

‘හෝම්ස් මා මිත්‍රය, මේනම් කවිබණ නොව සමිත් සිරිමන්න නම් ගායකයාගේ ගීතය. ඒ ගායක තෙමේ උපාසක අම්මෙකු ටෝක් කරන ඇබිත්තයෙකු සේ ආගමික ගීතම ගයති.’

එකළ දොරට තට්ටු කළ සේවකයෙකු පැවසූයේ හෝම්සයන් හමුවීමට කුඩා දරුවෙකු පැමිණ ඇතැයි කියාය. මේනම් මා පත්කළ සිඟිති පාතාල නියෝජිතයෙකු බව වටහාගත් හෝම්සයෝ වහාම ගොස් දරුවා හමුවීය. එකළ ඒ දරු තෙමේ

‘වසන්තයාගේ නිවෙසට දෙතුන් වරක්ම කළු කොඩියක් සවිකළ රථයක් එනු දුටුවෙමියි’ කීය.

එකල්හි හෝම්සයෝ දරුවාට ඩේටා කාඩ් එකක් දී වහාම වොට්සනයන්ද සමඟ නම නොකියන ජනපති හමුවන්නට ගොස් මෙසේ කියති.

‘මා නිරීක්ෂන මගින් පැමිණි නිගමනයන්ට අනුව කවුරුන් හෝ වසන්තයාට අල්ලස් දී වඳ කිරි බෝතලයක් මෙහාට එවා ඇත ඉක්බිති අරක්කැමියා ඒ කිරි වලින් කිරි වීදුරුවක් සාදා ඇත.’

ඒ ඇසූ ජනපතිදුන් වසන්තයා අල්ලස් ගත්තේනම් ඔහුව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසමට කැඳවිය යුතුය. නමුදු එසේ කරන්නට ගියහොත් වසන්තයාගේ මිතුරන් පැමිණ ‘ජාතියේ කිරි කාරයා පාවා නොදෙනු’යි කියමින් උද්ගෝෂන කිරීමට බැරි නැත. එසේ හෙයින් නුවණ මෙහෙයවා කටයුතු කළ යුතු යැයි සිතා

‘වසන්තයාට අල්ලස් දුන්නේ කවුරුන්දැයි දන්නවාද’ කියා විචාරීය. එකල හෝම්සයෝ මෙසේ කියති.

‘විස්වාසදායක ආරංචි මාර්ග මඟින් මා දැනගත් පරිදි කළු කොඩියක් සවිකළ රථයකින් පැමිණි අයෙක් මීට සම්බන්ධවීමට ඉඩ ඇත.’

එබස් ඇසූ කළ ඩයලොග්වල ඩේටා කැපෙන්නා හා සමාන වේගයෙන් කරුණු වටහාගත් නම නොකියන ජනපති තෙමේ මෙසේ සිතති.

‘කළු කොඩියක් සවිකළ රථයක්නම් ටක්කෙටම ඒ ගම්මන්පිළයා විය යුතුයැ. නමුත් ගම්මන්පිළයා තනිව කිසිවක් කරන්නේ නැත. එනිසා වීරවංශයාත් මේ පිටුපස සිටිනවා විය යුතුය.’ මෙසේ සිතූ නම නොකියන ජනපති තෙමේ වහාම සුදු වෑන් රියක් යවාලා රාජපුරුෂයන් ලවා වීරවංශයන්ව හා ගම්මන්පිළයන්ව අරලිය මැදුරට ගෙනවාගෙන වඳ කිරි ගැන විචාරීය.

නමුදු උන් දෙදෙනාම ‘මට මතක නැත’ ‘මම දන්නෙ නැත’ ආදී බස් පමණක්ම දෙඩීය.

මෙසේ මොවුන්ගෙන ප්‍රශ්න කරන බව දැනගත් කිම් ජොන් උතුමාණෝ එහා පන්තියේ වලියක් බව දැනගත් මෙහා පන්තියේ කොල්ලෙකු සේ වහා ඒ දෙසට දුවන්නට විය.

කිම් ජොන්ව දුටු පමණින්ම වීරවංශයො ‘මේනම් බටහිර කුමන්ත්‍රණයක් නොව, මෙය උතුරු කුමන්ත්‍රණයකි. වහා අපව නිදහස් කරව’යි කියා බෙරිහන් දෙන්නට වන.

වීරවංශයන්ගේ බස් අසා පොලිස්පතියාණන් සේ කුපිත වූ නම නොකියන ජනපතිදුන් රුපියල් දහයෙ ඇට්ලස් චූටි පෑන උන් දෙසට උරුක් කර

‘වහා සත්‍ය පවසව, නැත්නම් තොප දෙදෙනාම එකට තබා මඩු වලිගෙන් තලමි හිටං.’ යැයි කියමින් ඝර්ජනා කළහ.

ඒ ඝර්ජනාවෝ ඇසී අරලිය මැදුරේ අරලිය ගස්වල මල් පරවී වැටුණහ, ජනෙල් වල වීදුරු දෙදරුම් කෑහ, සඳළුතලාවෝ ඉරිතලා ගියහ, අහසේ පියෑඹූ කුරුල්ලෝ මැරී වැටුණහ. කිම් ජොන් උතුමාණෝ පවා බියවී දෝතින් කන් වසාගත්හ.

ඒ ඝර්ජනාවෝ ඇසූ වීරවංශයෝ හා ගම්මන්පිළයෝ පරක්කුවෙලා ඉස්කෝලෙ ඇවිත් තාප්පෙන් ඇතුළට පනින්නට සිතා බෑග් එක ගලවා ඇතුළට දමද්දී එය වැටී ඇත්තේ පින්සිපල්ගේ ඔළුව උඩට බව දැනගත් කලෙක මෙන් බියට පත්වී වහා පාපොච්චාරණය කරන්නට වන.

‘කිම් ජොන් උතුමාණෝ සිරිලකට පැමිණෙන බැව් දැනගෙන එතුමන්ව සිරිලක කෙරෙහි සතුරු කරවනු වස් අප දෙදෙනා එකතු වී වඳ කිරි සාදා වසන්තයා ලවා අරලිය මැඳුරට එවූහ’යි උන් දෙදෙනා හඬමින් කී බස් අස ජනපතිදුන් මෙසේ විචාරති.

‘තොප දෙදෙනා ඒ කිරි සෑදුවේ කෙසේදැ’ එකල උන් දෙදෙනා මෙසේ කියති. ‘අප දෙදෙනා ගී ගයමින් ඒ කිරි සෑදුවෙමු.’ එසේ වීනම් ඒ ගීතය ගයා පෙවන්නැයි ජනපතිදුන් අණ කළහ.

එකල්හි මොන්ටිසෝරියේ කොන්සට් එකේ ගීයක් ගයන්නට බෑ කියා හඬද්දී අම්මා විසින් බලෙන් ඇදගෙන ගොස් ස්ටේජ් එක උඩට දැමූ පොඩි උන් දෙන්නෙක් මෙන් වීරවංශයෝ සහ ගම්මන්පිළයෝ රංගනයක් ඉදිරිපත් කරමින්ම මෙසේ ගයන්නට වන.

“දෙන්නම් අපි අද පාලයට….
කිරි එක යවනවා කිම් ජොන්ට…..
හොඳ සුදු පාටට තියෙන්නට…..
ඇන්කර් දානවා බේසමට…..
(එකක් මදි, දෙකක්ම දානවා….)

කිරි පිටි හැඳි පනහක් දාලා….
වතුර ටිකක් කලවම් කරලා….
ලුණු කැට දෙක දෙක තුනකුත් දාලා….

ගම්මිරිසුත් යහමින් දාලා….
නැහැ….
ආහ්… නැද්ද…

පාසානම් ටිකකුත් දාලා…..
සීනි කිලෝ දහයක් දාලා….
වඳ වෙන්නට බේතුත් දාලා….
හදනවා පදමට හැඳිගාලා….
(එක්කො හැඳි නොගාම හදනවා….)

නෝ ලිමිට් එකෙන් යට ඇඳුමයි…..
මුස්ලිම් කඩයෙන් බත් එකකුයි….
නොමිලේ දෙන පොඩි ටොපි දෙකකුයි….
ප්‍රියසාද්ගෙ කෙස් ගස් තුනකුයි…..
(වැඩී වැඩී… එකක් හොඳටම ඇති….)

පොල් කිරි ටිකකුත් දිය කරලා….
එළකිරි වගෙ කලවම් කරලා…..
හොඳහැටි පදමට හැඳි ගාලා….

සුවඳ එන්ඩ දානවා වැනිලා….
නෑ…. ආ දානවා නේන්න්ං….
ඇති යන්තම් හරි ගියා…..

කිරි එක හැදුවේ අපි දෙන්නයි….
අහු වෙන්නේ අර පාලයවයි…..
කිරි එක බී කිම් ජොන් වඳවෙයි…..
කොරියාවෙන් දැන් මිසයිල එයි…..

මෙසේ උන් දෙදෙනාගෙ නැටුම දුටු කිම් ජොන් තෙමේ සූටිං හා මාටිං එකතුවී ජෝන්ට ගසන දෙස බලා සිටි පොඩි එකෙකු මෙන් බොහෝ සේ සතුටට පත්වී අත්පුඩි ගසන්නට විය.

ඉන්පසුව හේ නම නොකියන ජනපති වෙත පැමිණ ‘මින් පසුව සිරිලක දෙස බලාගෙන මිසයිලයක් තබා අහස්කූරක්වත් නොයවමි’යි දිවුරා ‘මාගේ රට වැස්සෝ සතුටු කිරීමට මේ දෙදෙනාව රැගෙන යන්නදැයි’ වීරවංශයන්ව හා ගම්මන්පිළයන්ව පෙන්වා විමසීය.

ජනපතිදුන් ඊට අවසර දුන් කල්හි කිම් ජොන් තෙමේ වීරවංශයන් හා ගම්මන්පිළයන්ව කුදලාගෙන නැවතු උතුරු කොරියාව වෙතට පිටත්ව ගියහ.

ඉක්බිත්තෙන් හෝම්සයන්ව සහ වොට්සනයන්ව කැඳවූ ජනපති තෙමේ මෙතරම් ඉක්මණින් මෙම ගැටළුව විසදා දීම ගැන ස්තූතිවන්ත වී දෙදෙනාටම ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් මැණික් කැට දෙක බැගින් දී පිටත් කර යැවූහ.

මෙසේ ෂර්ලොක් හෝම්සයන්ගේ දක්ෂකම හා නම නොකියන ජනපතිදුන්ගේ තැනට සුදුසු නුවණ ගැන රට වැස්සට කියා දීමේ අරමුණින් රචිත ෂර්ලොක් හෝම්ස් සහ වඳ කිරි වීදුරුවේ අභිරහසේ කතා වස්තුව මෙතෙකින් සමාප්ත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *