ෂර්ලොක් හෝම්ස් සහ වඳ කිරි වීදුරුවේ කතා වස්තුව

යටගිය දවස ලන්ඩන් නුවර එළිසබෙත්නම් රැජිනක් රාජ්‍ය කරන කල්හි අප මහා ෂර්ලොක් හෝම්සයානෝ බේකර් දනව්වෙහි පිහිටි සිය නවාතැනට වී එන එන පන්දුවට පහරදෙන ශිකර දවානයන් මෙන් එන එන අභිරහස විසදමින් කල් ගෙවති.

එකල්හි හෝම්සයන්ගේ අතිජාත මිතුරු වොට්සන් වෙදදුරු තෙමේ මෙසේ සිතති.

‘මෙසේ මළ ගෙදරකට ගෙනගිය නෙස්කැෆේ මැශිමක් මෙන් නොකඩවා වැඩ කළහොත් හෝම්සයෝ අසනීප වීමට ඉඩ ඇත. එනිසා වහාම හෝම්සයෝද සමඟ නිවාඩුවක් ගත කිරීමට කොහේ හෝ යා යුතුයැ.’

මෙසේ වොට්සණයෝ තම අදහස් නොවලහා හෝම්සයන්ට දැන්වූ සඳ ටියුෂන් පන්තියේ ඇදුරාණන් අද පන්ති විනාඩි පහක් වේලාසන ඉවරකරනවා කී කලෙක ප්‍රීතිවන ඕ ලෙවල් කොල්ලෙකු මෙන් සතුටින් පිනාගොස් මෙසේ පවසති.

‘එම්බා වොට්සනය, ඒනම් මහාර්ඝ අදහසක්මය…. එසේනම් යා යුතු තැනක්ද නුඹම යෝජනා කරව….’

එකල්හි වොට්සණයෝ සිතියම් පොත ගෙනැවිත් මේසය මත දිගහැර එහි වූ උඩ කොටස ලේනෙකු විසින් බාගෙට කන ලද ගස්ලබු ගෙඩියක හැඩය ගත් දූපතක් පෙන්වා මෙසේ පවසති. ‘

හෝම්ස් මා මිත්‍රය, ඉන්දියාව නැමැති තේ ගොට්ටෙන් පෙරී වැටෙන බී ඕ පී එෆ් තේ කොළ කෑල්ලක් වැනි වූ මේ දිවයින දෙස බලව.

මේ නම් මහා ආශ්චර්යමත් රාජ්‍යක්මය !

මේ රාජ්‍ය කෙතරම් ධනවත්දැයි කියනවානම් චීනය යන එන මං නැතිව සිටිනු දැක, චීනයට හඬගසා තියෙන වෙලාවක ආපහු දියං කියා චීනයට වරායක් දෙති.

ඉන්දියාවට හඬගසා උඹලා තියාගනිං කියා තෙල් ටැකි දෙති.

රොකට් තාක්ෂණයෙන් ලොව දිනූ පුතුන් ඒ බිමෙහි උපදිති.

මේ රටෙහි මිනිසුන් පන්දු කෙළියෙහි කෙළ (වාගෙන) පැමිණියෝය. නමුදු ආගන්තුක සත්කාරයෙහි ඉතා ලැදිය. එනිසා තම රටේ පන්දු කෙළිනට එන කිසිදු කණ්ඩායමක් හිස් අතින් ආපසු නොයවති.

එය නමින් සිරිලක වෙති.

නමුදු ඉතිහාසයේ පටන්ම ඉල්ලංකෑමෙහි සූර වූ නිසා මෙය ‘ඉල්ලංකාව’ නමින්ද හදුන්වති.

ඉතින් නිවාඩුවක් ගත කිරීමටනම් සුදුසුම රාජ්‍ය මෙයයැ.’

ඒ වදන් ඇසූ හෝම්සයෝ තමා නැවතී සිටි නිවසේ කුලිය හඩ්සන් මහත්මියට ගෙවන ලද්දේ වෙන අයෙකු යැයි දැනගත් කලෙක මෙන් පුදුමයට පත්වී

‘අහෝ මා මිත්‍රය, නුඹ මේ රාජ්‍ය පිළිබඳව මෙතරම් දේ දැනගත්තේ කෙසේදැ?’ විචාරීය. එකල්හි වොට්සනයෝ

‘මා වෙදදුරු උපාධිය ලැබූයේ මෙම රාජ්‍යේ පිහිටි සයිටම් තක්සලාවෙනි…’ කියා පිළිවදන් දුනි.

ඒ ඇසූ හෝම්සයෝ නැවත මෙසේ විචාරති.

‘ඒසේනම් මේ රාජ්‍ය විචාරන පාලකයා කවුරුන්ද….?’ එවිට වොට්සනයෝ මෙසේ කියති.

“එයනම් කිසිවෙකු නොදනී…. ඒ ජනපති තෙමේ බලය, ජවය, ශක්තිය සපිරි නෙස්ටමෝල්ටයක් වැනි වූ වෝල්ඩර්මෝටයන් සේ බලගතුය.

වෝල්ඩමෝටයන්ට නම නොකියන මිනිසා කියන්නාක් සේ ඔහුට ‘නම නොකියන ජනපති’ කියා කියයි. එනිසා කිසිවෙකුත් ඔහුගේ නම නොදනිති.’

එපවත් ඇසූ හෝම්සයෝ බුද්ධික පතිරණගෙන් මතුරන ලද පෑනක් ලබාගත් ඒ ලෙවල් කොල්ලෙකු මෙන් පස්වනක් ප්‍රීතියට පත්ව වොට්සණයන්ද සමඟ වහා සුදානම් වී හිසට හිස්වැසුම්ද, පයට පාවහන්ද, අතට රිවෝල්වරද ගෙන සිරිලංකාව බලා පිටත්වෙති.

මෙකල සිරිලංකාවට බොහෝ දුරින් උතුරු කොරියාව නම් රාජ්‍යක් වෙති. ඒ රාජ්‍ය විචාරන පාලක තෙමේ කිම් ජොන් වෙති. ඒ කිම් ජොන්ගේ කතාව මෙසේ දත යුතු,

ඉන්ටවල් එකේදී වටපිට ළමයින්ගෙත් කෑම උදුරන් කෑ එකෙකු සේ ඔහු තරය. දැලි වැකුණු නෑඹිලියක් හිස මත නෑමූ කෙලෙක වැනි කේශකලාපයකින් යුතුය. අගෝස්තු නිවාඩුවේදී පුර වැස්සෝ සරුංගල් යවනු දැක හෙතෙම මෙසේ සිතති.

‘මා රජ හෙයින් අනෙක් උන් මෙන් සරුංගල් යැවීම යුතු නොවේ. එනිසා මා මිසයිලයක් යැවිය යුතුයැ.’

මෙසේ සිතා හේ කොම්බුවෙකුගේ හැඩයට සාදන ලද මිසයිලයක් උඩ යවති. ඒ පවත් දැනගත් සිරිලක නම නොකියන ජනපති තෙමේ පරිසරයට බොහේ ආල ඇතිව විල්පත්තුවේ කැලෑ කපන බව දැනගත් කලෙක මෙන් කුපිත වී

‘කිම් ජොන්ගේ මිසයිල යැවීම හෙළා දකිමි’ යනුවෙන් ප්‍රකාශ නිකුත් කළහ.

මෙසේ සිරිලක ජනපති තෙමේ තම මිසයිලය හෙළා දැක ඇති බව දැනගත් කිම් ජොන් තෙමේ ජාතියේ මවට සී අයි ඩී එන්නට කී කලෙක මෙන් කුපිත වී වහා සිතියම් පොතක් ගෙන සිරිලක කොහේ ඇති රටක්දැයි විමසා බැලීය.

එකල ඉන්දියාව නැමැති මී වදයෙන් පිටුවහල් කරන ලද මී මැස්සෙකු වැනි වූ සිරිලක දැක

‘මේ රටට ගසන්නට මාගේ මිසයිල නාස්ති කළ නොහේ. මාම ගොසින් මෙය විසදා ගත යුතුයැ’ සිතා වහාම තම සේවකයන්ද කැඳවාගෙන අවුත් සිරිලකට සැපත්වෙති.

ඉනික්බිති සිරිලක නම නොකියන ජනපතිදුන් හමුවී මෙසේ විචාරති.

‘මා මිසයිල බැරිනම් චීන පටස්…. ඈ නෑ, කොරියන් පටස් ගැසුවත් තට ඇති රුදාව කිමෙක්ද…?’

එකල්හි සිරිලක ජනපති තෙමේ ඒ ලෙවල් කොල්ලෙකු වලියකදී ගසනවා කිව්වට ගසන්නේ නැත,

ඕ ලෙවල් කොල්ලෙකු වලියකදී ගසනවා කිව්වට ගසන්නේද නැත, සිස්සත්ත කොල්ලෙකු වලියකදී ගසනවා කිව්වාට ගසන්නේද නැත.

එසේ වීද මොන්ටිසෝරි කොල්ලෙකු වලියකදී ගසනවා කිව්වොත් අනිවාරෙන් ගසන්නේය.

මූද මොන්ටිසෝරි කොල්ලෙකු වැනි නාහෙට නාහන පුතයෙකි. එනිසා තැනට සුදුසු නුවණ භාවිතා කළ යුතුයැ සිතා මෙසේ පවසති.

‘එම්බා කිම් ජොන් උතුමාණ, සිරිලක අතීතයේ පටන්ම හැදින්වූයේ හෙළ දීපය කියාය හිටං. ඉතින් හෙළා කියන්නේ හෙළ දීපයේ වැසියාටය. හෙළා දකිනවා යනුවෙන් මා කිව්වේ ඔබතුමාගේ මිසයිල හෙළ දීපයේ වැසියා දකිනවා යන්නය හිටං. එනිසා ඔබතුමා කලබල නොවනු මැන.’

එවදන් ඇසූ කිම් ජොන් තෙමේ ‘පිනෝ එනෝ…’ යැයි කියා එකෙකු කෑ ගැසූ කල වහා සන්සුන් වන පංති කාමරයක් මෙන් සන්සුන් වූහ.

ඉක්බිත්තෙන් කිම් ජොන් උතුමාණන්ට බටර්, ජෑම්, මාමයිට් ආදිය ගෑමේ අරමුණින් යුතුව නම නොකියන ජනපති තෙමේ තම අගමැති වූ ටොඩී බ්ලූ ඇඩ්වෙන්චර් ලයන් මහතා කැඳවා වහා ගොස් භෝජන සංග්‍රහයක් සූදානම් කරවාපියවයි කීහ.

එසඳ බල්ලාට කී වැඩය බලු නැට්ටට කියන්නාක් සේ අගමැති තෙමේ තම මුදල් ඇමතියා වූ සන් කයින්ඩ් ලීඩර් මහතා බණවාලා

‘වහා ගොස් කිම් ජොන් මැතිදුන්ට භෝජන සංග්‍රහයක් සූදානම් කරවාපියව’යි කීය.

එවදන් අසා මොහොතක් ගතවෙන්නටත් පෙර මුදල් ඇමතියා භෝජන සංග්‍රහය සූදානම් කළහ.

එකල නම නොකියන ජනපතිදුන් කිම් ජොන් මැතිදාව භෝජනාගාරයට කැඳවාගෙන විත්

‘කිම් ජොන් එන්න, මේ කිරි බොන්න, මේ උක් සකුරු කන්න’යි කියා කිරි වීදුරුවක් සහ සීනි උණුකර සැදූ සකුරු බෑවක් දැක්වූහ.

එසේ වතුදු පෙර කළ කුසල කර්මයන්ගේ ආනුභාවයෙන් කිම් ජොන් තෙමේ ඒ කිරී නොබී තම රස පරීක්ෂකයා වූ ඩෑන් පෝරිසාදයා කැඳවා එම කිරි වීදුරුවෙහි රසායනික සංයුතිය පරික්ෂා කරන්නැයි කීහ.

එසඳ ඒ පෝරිසාදයා කිරි වීදුරුව දෙස හෙලූ එක බැලුම් මාත්‍රකින්ම

‘මේ නම් සාමාන්‍ය කිරි වීදුරුවක් නොව, මෙහි වඳ බෙහෙත් අඩංගුය. මෙය බිව් සැණින් ඔබ තුමා වඳ වනු ඇතැයි’ කීහ.

ඒ ඇසූ කිම් ජොන් තෙමේ මොන්ටිසෝරියට ආ පළමු දවසේ අම්මා යනු දැක හඬන පොඩි එකෙකු සේ කෑම මේසය උඩට නැග ඒ මත උඩ පනිමින් මෙසේ ඝර්ජනා කරති.

‘හෙම්බා ජනපති, මා තාව ගෙම්බා ගැසුවා සේ ගසමි. වහා මේ කිරි එක සෑදූ එකාව ගෙන්වාපියව’.

සැණෙකින් තම මුදල් ඇමතියාව කැඳවූ නම නොකියන ජනපතිදුන් ‘මේ කිරි එක සෑදූයේ කවුරුන්දැ’යි විචාරීය.

එකල තුශ්නිම්භූත වූ මුදල් ඇමති ‘මට මතක නැතැයි’ කියා පිළිවදන් දුනි.

ඒ වදන් අසා තව තවත් කුපිත වූ කිම් ජොන් තෙමේ

‘මා වහාම මිසයිල දහසක් එවා සිරිලක සුන්නද්ධූලි කොට, ඒ දුහුවිලි ඩස්පෑනයකට එකතු කොට, ඒවා මල් පැළ වලට පොහොර ලෙස දමමි’යි කියමින් කෑම මේසය මත වූ පිඟන් කෝප්ප පොළොවේ ගසන්නට වන.

එකල වහාම තම අගමැති කැඳවූ නම නොකියන ජනපති මෙසේ කියති.

‘මේ මොහොතේ මොහුව සන්සුන් කළ හැක්කේ චතුර සේනාරත්නයන්ට පමණි. වහාම ඔහුට එන්නට කියව.’

ඒ ඇසූ අගමැති තෙමේ මෙසේ පිළිවදන් දෙති.

‘අභිරහස් විසදීමෙහි ලෝකප්‍රකට ෂර්ලොක් හෝම්ස් මැතිදා සිරිලකට පැමිණ සිටිති. මේ මොහොතේ සේනාරතනයන්ටත් වඩා හෝම්සයෝ අපට ප්‍රයෝජනවත් වනු ඇත.’

එවදන් ඇසූ ජනපති ගණන් ගෙදර වැඩ නොකර ආ දවසෙහි ගණන් ටීච ඇවිත් නැති බව දැනගත් කලෙක මෙන් සැනසුම් සුසුම් හෙළා ‘එසේනම් වහාම ඔහුට එන්නට කියව’යි කීහ.

-මතුවට සබැඳියි-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *