හරි හොඳ ගෑණි

කොයි පිරිමියත් බලාපොරොත්තු වෙන්නෙ ලෝකෙ ඉන්න හොඳම කෙනා තමන්ගෙ බිරිඳ කරගන්න. කවුද සෙකන්ඩ් ඩිග්‍රී එකේ සිලෙක්ෂන් එකක් කරන්නෙ පිස්සු නැත්නම්.

ඒක නිසා අපි කල්පනා කරල බලමු හොඳම කියන විශේෂණය ඇතුලේ තියෙන ප්‍රධාන කරුණු කරණා මොනවද අකියල.

ලස්සන / සුදු : [සුදු = පිරිසිඳු, පිරිසිඳු = හොඳ, එමනිසා සුදු = හොඳ]

මේක ගැඹුරෙන් කල්පනාකරල බැලුවොත් අපි අත්විඳින සත්‍යයක්. හොඳ පෙනුමක් තියෙන සුදු, උස මහත පුද්ගලයෙකුට, කෙට්‍ටු, කළු කැත මනුස්සයකුට වඩා සමාජ පිළිගැනීමක් තියෙනව. මනුස්සය කවුද කියල අඳුරගත්තම ඒ සිතුවිල්ල යම් තාක් දුරකටවෙනස් වෙන එක වෙනම කතාවක්.

අහිංසක :

නපුරු නැති, පලිගන්නේ නැති, එකට එක කියන්නෙ නැති, බැන්නත් ඔළුව පැත්තකට හරවල හිනාවෙලා ඉන්න, මල් වැච්ච දිග ගවුම් අඳින, නිතඹෙ වදින තරම් ඝණකම කොණ්ඩයක් තියෙන වගේ……

බුද්ධිමත් :

රටතොට ගැන, සමාජය ගැන, ලෝකය ගැන හොඳ අවබෝධයක් ඇති, ජීවිතේට සාර්ථකව මූණදෙන්න පුළුවන්……

කරුණාවන්ත :

කොයිවෙලෙත් මළ යස්සණී වගේ නැති මොන වැ‍රැද්ද කලත් හිනාවෙලා සමාව දෙන, ගෙදරට එන කුරුල්ලන්ට ලේන්නුන්ටත් කන්න බොන්න දෙන, රෑ දෙගොඩ හරියෙ බීගෙන හතර ගාතෙන් ගෙදර ගියත් වෙනද වගේම ආදරෙන් පිළිගන්න…. එළිපිට නොකිව්වාට ව්‍යාත්සායනගේ නංගි වගේ කෙනෙක්.

තව අනු කාරණා මහ ගොඩයි……

අපි නිකමට වගේ හිතමුකො ඔය වගේ ගොඩක් දෙනා බලාපොරොත්තු වෙන සිහින කුමාරිය ලෝකෙ කොහේ හරි ඉන්නව කියල.  ඒයා තමයි ලෝකෙ හොඳම ගැහැණිය කියල.

ඒත් ඉතිං ලෝක සම්ප්‍රදායේ හැටියට එක ගෑණියෙකුට නීත්‍යාණුකූලව විවාහ වෙන්න පුළුවන් එක පිරිමියෙක් එක්ක විතරයිනෙ. ඉතිං අනේ අර ලෝකෙ හොඳම ගෑණි විවාහ කරගන්න බලං ඉන්න අනිත් පිරිමි ටිකට මොකද වෙන්නෙ.

හොඳම ගෑණි නෑ කියල ඉතිං ඉතුරු පිරිමි ටික කසාද නොබැඳ ඉඳීද?

විකාර…………

හැමෝම තම තමන්ගෙ සිතුම් පැතුම් අනුව තරාදියෙ දාල බොහෝම අමාරුවෙන් බැලන්ස් කරල හොඳම කෙනා කියල හිත හදාගෙන එයා එක්ක හාදවෙනව / විවාහ වෙනව.

ඊට පස්සෙ ඔන්න අර හීන කුමාරිගෙ ඇති ඒත් හැබෑ කුමාරිගෙ නැති කරුණු කාරණා එකිනෙක මතුවෙනව.

ඔන්න ඉතිං ඊටත් පස්සෙ, “ගිණි අවි සහ ගිණිකෙළි”. එහෙමත් නැත්නම් “දිය යටින් ගින්දර”

නමුත් අර අඩුපාඩු, අඩුපාඩු විදියටම දැකල ඒවායේ පැවැත්ම පිළිගන්නවනම් සහ ඒක නිසාම ඇතිවෙන ගැ‍ටුම් වලක්වාගන්න පුළුවන් නම් ඔන්න ආයෙමත් ලෝකෙ ඉන්න හොඳම ගෑණි තමන්ගෙ ගෙදර.

ඔව්… පිළිගන්න… කිසිවෙක් සර්ව සම්පූර්ණ නෑ. අඩුපාඩු එමටයි. ඇයගේ වගේම ඔබගෙත්….

තමන් සෑම විටම නිවැරදියි කියල සිතුවිල්ලේ ඉන්නා තුරු තමන් වැරදියි. ඒවගේම තමන්ගෙත් වැරදි තියනව කියල කල්පනාවෙන්න පටන්ගත්තු තැන ඉඳල තමන් නීවැරදි මාවතේ ගමන් කරනව.

සති අන්ත පත්තර වල කිචි පි‍ටුවෙ තියෙන නළු නිළියන්ගෙ සර්ව සම්පූර්ණ පවුල් ජීවිතවල ලස්සන ගැන හිතල තම තමන්ගේ පවුල් ඒවත් එක්ක සසඳන්න යන්න එපා. එහෙම උනොත් මහ විනාසයක්. ඒ හැමදෙයක්ම හැබෑව යටපත් කරමින් පැන නඟින සමාජීය පිලිගැනීම උදෙසා කරන ප්‍රකාශ විතරමයි.

ඒවගේම අල්ලපු ගෙදර ගෑණිගෙ පිළිවෙල ගැන කල්පනා කරල ගෙදර ගෑණිව කන්න හදන්න එපා.

මේ සටහන ලියන්න හිතුනෙ, බ්ලොග් නොලියන, බ්ලොග් නොකියවන මගේ යාළුවෙක් තමන්ගෙ ගෑණිගෙ අඩුපාඩු කිය කිය නාහෙන් අඬපු නිසා. 

Leave a Reply