හරකා

පෝය දවසෙ අහම්බෙන් වගේ බණක් ඇහුන. දේශනාව කලේ බුද්ධංගල ආනන්ද ස්වාමීන්වහන්සේ. පැවිදි නමින් ගොඩක් දෙනා නොදන්නවට ගිහි නම වෙච්ච උතුරුමැද අණදෙන නිළධාරී මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර ගොඩක් අය දන්නව ඇති. පහු කාලෙක පුනුරුත්තාපන කොමසාරිස් වෙලත් උන්න.

හෝව් !!

මම බණ කියන්න යනව වත්, යමෙක් වර්ණනා කරන්නවත් යනව නෙමෙයි. කියවන අය නොදන්න දෙයක් දැනගන්න කැමති වෙයි කියල හිතුන නිසයි ඒ විස්තරය කෙරුවෙ.
මම කියන්න ආවෙ මෙන්න මේක,

ඔය බණ අතරතුරේ මෙන්න මේ වගේ අදහසක් කියවුනා.

ගව ඝාතනය වැලැක්විය යුතුය. අප ඒ සඳහා ආණ්ඩුවට බල කල යුතුය. ආණ්ඩුව ලංකාව තුල ගවඝාතනය නීතියෙන් තහනම් කල යුතුය.! එවිට ඇතමෙක් අසනා “ඇයි ගවයා විතරක්, කුකුළා ?” යන ප්‍රශ්ණ කිසිවෙක් නඟන්නේ නම් ඒ මේ සද්කාර්යයට අකුල් හෙලීම උදෙසා මය.

ඔය මතය ඒ කියන්නෙ සත්ව ඝාතනය, මත් පැන් පානය, හා වෙනත් සදාචාර විරෝධී කටයුතු, අන්‍යාගමීකරනය වගේ දේවල් වැලැක්වීම සඳහා රජය නීති පනවා ඒවා බලාත්මක කලයුතුය යන්න මෑතක බොහෝමයක් ජනප්‍රිය වේගවත් ගමන්ධාරී ස්වාමීන්වහන්සේලා ජනප්‍රිය මාධය හරහා පැවසූ අදහසක්. බැලූ බැල්මට ඒක හොඳ වැඩක් කියල නොපෙනෙනව නෙමෙයි. මතුපිටින් බැලුවම අගෙයි කියල සාධු! කියන අය බොහෝමයි. ඒත් ඇත්තටම ඒක එහෙමද? අගෙයි ද?

බෞද්ධ හිමිවරුන්ගේ කාර්ය භාරය තමන්ගේ අනුගාමිකයන් යහමඟට ගැනීම, යහම‍ඟෙහි පවත්වාගැනීම කියලයි මම හිතන්නෙ. ඔය යහ මඟ කියන එක බොහොම ගැටළු සහගත මඟක්, මට ඒගැන පැහැදිලි අවබෝධයක් නැති නිසා ඒ ගැන ලියන්න යන්නෙ නෑ. ඒත් යහමඟ එකිනෙකාට සාපේක්ෂයි කියල නම් මට හිතෙනව. ඕනෙනම් ඔය අදහසම මීට වඩා බරපතල, ඇතැම්විට තේරුමවත් හරියට නොදන්න වචන දාල ආලවට්ටම් කරල කියන්නත් පුළුවන්. එහෙම උනොත් මේකත් තවත් එක බණක් වෙයි කියන මනුස්සයටත් අහන මනුස්සයටත් දෙන්නටම නොතේරෙන. හරියට පාලි ගාථා වගේ, ශබ්ධ රසය මිසක් වෙන මෙලෝ දානයක් මටනම් තේරෙන්නෙ නෑ. ඉතිං නොතේරෙන දෙයකින් තවත් ප්‍රත්‍යක්ෂ නොව්ච්ච දෙයක් ‍තෝරගන්න පුළුවන් කියල තියන විශ්වාසය මහ ‍රැවටිල්ලක් නෙමෙයිද?

ඉතින් මිනිසුන්ගෙ අභ්‍යන්තරය වෙනස් කරන්න, සිතුම් පැතුම්, විස්වාසයන් වෙනස් කිරීම තුලින් මිනිසුන් “යහමඟට” ගන්න දරන උත්සාහයන් බොහෝමයක් අසාර්ථකයි කියල නොකියා කීමක් නෙමෙයිද තමන් විසින් කලයුතු දේ ආණ්ඩුවක් විසින් කළයුතුය කියල අතහෝදාගැනීම තුල තියෙන්නෙ?

එතනදි ඇයි දේශකයන් වහන්සේලාට නොහිතෙන්නෙ ශාස්තෲන් වහන්සේ උගන්වා ඇතිපරිදි මේ මේ ක්‍රියා කලොත් අත්වන්නේ මේ ප්‍රතිඵලයයි. එහෙයින් අවබෝධයෙන් රිස්සක් කරව! කියල දේශනා කරන්න. ඇයි බලහත්කාරයෙන්, ආණ්ඩුබලයෙන්, බාහුබලයෙන් මිනිස්සුන් නිවන්දක්කන්න හදන්නෙ? ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? තමන්ගෙ ගොඩ වැඩිකරගෙන අයුතු සමාජ බලයක් ගොඩනඟා ගැනීමක් නෙමෙයි ද?

ධර්ම දේශණා කරන බොහෝමයක් ස්වාමීන්වහන්සේලා [බොහෝමයක් කිව්වේ සියල්ලන්ම එසේ යැයි නොදන්නා නිසා] කරන්නෙ කටපාඩම් කරගනිපු දෙයක් ගිරව් වගේ ඔහේ කියන එක. මොකද ඒ දේශනාව තමන්ට අවබෝධයි නම් ඒ කියන පරිදිම මාර්ගඵලවලට එළැඹිලා තියෙන්නෙ ඕනෙ. ඒත් ඒ අයම කියනව අපි තාමත් පෘතුග්ජනයි කියල. ඉතින් තමන් ප්‍රතක්ෂයෙන් නොදත් දෙයක් තවකෙනෙකුට කියල දෙන එක සධාරණයිද?

තවත් අයකුට අවබෝධකරවන්න කලින් තමන් ඒ පිළිබඳව අවබෝධයක්, ප්‍රත්‍යක්ෂ භාවයක් ඇතිකරගැනීම වැදගත් නෙවෙයිද? බණ කියන තරමට මිනිස්සුන්ට අවබෝධ නොවෙන්නෙ විවිධ අය විවිධාකාරයෙන් කරනා දේශනාවෙ කොතනක හෝ තියන අඩුපාඩුවක්, අමතකවීමක් නිසා වෙන්න ඉඩක් නැතුවද?

Leave a Reply