නිදහස මෙහෙමයි

මොන කරදරයක්ද ගෑණියෙ මේ….

අම්මප මට නිදහසේ ඉන්න දුන්නෙ නැත්නං යනව ඔළුව හැරිච්ච හැරිච්ච අතේ.. අයෙ නොකිව්වයි කියන්න එපා.

නිවනන් ඇත්තෙම නෑ නෙව. උදේ ඉඳං නැහිල නැහිල ගෙදර එනව ඩිංගක් නිවීහැනහිල්ලෙ ඉන්නෙයි කියල. කොහෙද.. ආ වෙලේ ඉඳල මෙතන නහූතෙට වැඩ. රෙදි හෝදන්නයි, ටයිල් මදින්නයි, මකුළුදැල් කඩන්නයි, වලං හෝදන්නයි ….

අම්මප වන්දියක් අරං අයින් වෙන්න ඇහැක්නං මං මෙලහකටත් ගිහිල්ල මේ කොම්පැණියෙන්.

හික්….. !!

හික්? තව එනවද මට කොචෝක් කරන්නත් ඈ. මං හොඳ වැඩියි. හික්…. !! දෙන්න හිතෙනව හැටක් මූණට

ඔයාටමන ඒකෙත් පාඩුව.

මට ?

ඇයි අනේ මූණ නාළු වෙච්ච ගෑණියෙක් එක්ක ඔයාට පුළුවන්ද පාරක බැහැල යන්න.. හිහ් හිහ්……

ඕන වෙලාවක සිරික්කිය දැම්මම හරියයි. අම්මප මටනං බෑ ඕයි මේ වැඩේ කරන්න. මට මීට වඩා නිදහසක් ඕනෙ.

ඔයාට විකාර අනේ. මොකෝ නිදහසක් නැත්තෙ. දැං ඉතිං යුද්දෙත් නෑ නෙ.

අම්මප මට තමුසෙත් එක්ක එන කෙන්තියක් ….

හිහ් හිහ් හී… දැං ඉතිං ඔයාට මොකද කෙරෙන්න ඕනෙ කියන්නකො…

මට නිදහස් වෙන්න ඕනෙ. මං යනෝ නිදහස හොයාගෙන.

ආපෝ ඕක කියන්නද මේතන යකා නැටුවේ… ඉතිං අනේ යන්නකෝ මටත් සුමානයක් හමාරක් අපේ අම්මලයි ගෙදර ගිහිල්ල එන්න..

ඇඃ!

*************************************************

පාරට බැහැල අදට තුන්දොහයි. මුල් දවසෙනං මතකයි නුගේගොඩ. මහරගම, කොට්ටාව, හෝමගම ගොඩගම එහෙම පහුකරගෙන එනව.. ඒත් පස්සෙං පහු නිච්චි නැතුව ගියා කොහේ කොහේද කියල.

හතරවෙනි දොහේ මං නැවතුනේ කොහේ හරි පාළු බස් හෝල්ට් එකක. හැන්දැ වරුවටම එකම බස් එකක්වත් ගියේ නෑ මතක හැටියට. හද්ද පාළු පළාතක්ද කොහෙද, හොරි හැදිච්ච බල්ලෙක් විතරයි ඒ පාරෙ යනව දැක්කෙත්.

මට හරිම නිදහසක් දැනුන ඒ වෙලාවෙ. ඒත් එක්කම බඩගින්නකුත් ආව නොසෑහෙන්න. අතේ ඉතිරිවෙලා තිබුනෙ රුපියල් දෙකයි. ඒකෙන් අහවල් දෙයක් කන්නද. හෙට උදේම මොනව හරි කන්න හොයාගන්නව කියල හිතාගෙන බස් හෝල්ට් එකේ කොට තාප්පෙට පිටදීල ඇස් පියාගත්ත.

දරුවා…. !

බොහොම ගැඹුරු කටහඬක්…

ක.. කවුද ??

දරුවා, කලබල නොවන්න. මම තමයි තොප මෙතුවක් කල් සෙවූ නිදහස.

ඇති යාන්තං. කොහෙද මෙච්චර කල් උන්නෙ ඔහේ?

එක තැනක කියල නෑ. මං ඔය කොයි තැනත් ඉන්නව. ඒත් පේන්නෙ එහෙමත් කෙනෙකුට තමයි.

ඇයි ඔහේ ඇඳං ඉන්නෙ සීතාම්බරපටේ ද?

කවට බස් දොඩන්න එපා දරුව.

එහෙමයි… ඉතිං කෝ ඔහේ.. මොකෝ මට නොපෙනෙන්නෙ?

එහෙම එකපාරටම පෙන්නන්න බෑ. තමුං මාව දකින්න සුදුසුද කියල තීරණය කරන්න ප්‍රශ්ණ තුනක් අහන්න තියනව.

හා.. අහනවකො බලන්න එහෙනං

හොඳයි. සාවධානව අහගන්න පලවෙනි එක.

තමුං මෙච්චර කල් කරගෙන ආව බඩරස්සාව අතාරින්න කැමතියිද?

ඒ අහවල් දෙයකටද මං රස්සාව අතාරින්නෙ?

හ්ම්…. මං මෙහෙම අහන්නංකො. ඔහේ සතියට කීදොහක් රස්සාවට යන්න ඕනද?

පහයි ඇයි?

ඔහේට ඒ හැමදාම යන්න හිතෙනවද?

නොහිතෙන දවසුත් තියනව.

එතකොට නොයා ඉන්නවද?

පිස්සුද, එතකොට නෝ පේ නෙ.

ඒ කියන්නෙ ඔහේ අකමැති උනත් යන්න වෙනව. ඊලඟට ඔහේ සතියකට කීදවසක් ලොක්කගෙන් බැණුම් අහනවද?

ඉඳල හිටල ඉතිං බැනුමක් අහනව.

ඒ මොකෝ?

රාජකාරි වැ‍රැද්දුවම තමයි ඉතිං.

ඒ කියන්නෙ ඔහේට ඕන ඕන දේවල් එතන කරන්න බැ?

මුන්නැගේට පයිත්තියංද, අනුංගෙ කොම්පැණියක මට ඕන එන දේවල් කරන්න්න ඇහැක.

හා ඒ කියන්නෙ ඔහේ රස්සාව කරන තැන ඔහෙට රිස්සක් කරන්න බෑ. ඒ කියන්නෙ ඔහේගෙ කැමැත්තටම නෙමෙයි හැම දෙයක්ම. මං හරිය?

හරි නෙවෙන්නං.

ඒ කියන්නෙ ඔහේගෙ රස්සාවෙ ඔහේට කැමති දෙයක් කරන්න නිදහසක් නෑ. ඉතිං නිදහස ඕන නං ඔය රස්සාව අතාරින්න වෙනව.

මුන්නැගේ මේ මඟුලක් කතාකරනව. මං මේ ටික දොහෙත් ඇනුවල් දාල ඉන්නෙ. රසාවට නොගිහිල්ල කොහොමෙයි, මාස පඩි කාරය වෙච්චි මං කන්නෙ බොන්නෙ කොහොමෙයි. ඒක හරියනෙන්නෙ නෑ.. වෙන විදියක් බලමු.

හ්ම්ම්.. හෙනං දෙවනි ප්‍රශ්ණෙ අහල බලමු.

ඔහේ කැමතිය ගෑණියි ළමයි අතාරින්න?

මං මොටෝ උං අතාරින්නෙ?

මං මෙහෙම අහන්නකො ඒකත්.

තමුන් සතියකට කී දොහක් රෑ දෙගොඩහරියෙ ගෙදර යනවද?

සතියට කී සැරයක්…? විකාරද, ඕනෙ නං මාසෙකට සැරයක් විතර රෑවෙනව.

ඒ මොකෝ හැමදාම රෑවෙලා යන්නෙ නැත්තෙ?

එහෙම ඇහැක මනුස්සයො පවුල් කන්න. කොච්චරනං වැඩ තියනවයි ගෙදර. අනික ළමයෙකුත් ඉන්න එකේ ඌ බලං ඉන්නවන් නෙව මං ගෙදර එනකං. එහෙම එකේ රෑවෙලා යන්නෙ කොහොමෙයි. ඊටත් රෑ වෙලා ගියාම පහුවදා උදේට නැගිටගන්නත් අමාරුවෙනව. ඊට පස්සෙ ඉතිං පහුවදාම මූසලයි.

හෙහ් හෙහ්… ඔය කියවෙන්නෙ….

මක්කයි?

ඔහේ ගෙදර යන්නෙ කැමත්තෙන්ම නෙවෙයි. යන්න ඕන නිසා. ඔහෙල ඒකට කියන්නෙ යුතුකමෙයි කියල නෙ.

හැබෑටම අයිසෙ මං කැමැත්තෙන් නෙමෙයිද ගෙදර යන්නෙ? මට ඒක මේ අහනකන් කල්පනාවට ආවෙ නෑ නෙව.

යමක් කරන්න ඕනෙයි කියල කිව්වම එතන තියෙන්නෙ බලකිරිල්ල නෙව. කාලාන්තරයක් තිස්සෙ කරගෙන කරගෙන යද්දි තමන්ටම අමතක වෙනව මේ දේ කරන්නෙ කැමැත්තෙන්මද කියල. ඊට පස්සෙ ඉතිං හිතන්නෙ නෑ. ඔහේ කරගෙන යනව. හරියට දවල් දවසෙ තණකොල කාල හැන්දෑවට මඩුවට තනියම යන හරකා වගේ.

විකාරද ? මං කරන්නෙ කැමැත්තෙන්.

හා මං මෙහෙම අහන්නංකො. ඔහේ කැමතිය ළමයට බෙහෙත් විදින්න ඉස්පිරිතාලෙ පෝලිමේ ඉන්න?

හපෝ මතක් කරන්න එපා. කෑස් බෑස් ගාන පොඩි උන් අස්සෙ ඉන්න ගියාම එපා වෙනව.

ඔහේ කැමතිය හාමිනේ ඇඳුං ‍තෝරනකං කඩවල් වල ගෑණු ඇඳුං රාක්ක අස්සෙ රස්තියාදු වෙන්න?

මතක් කරන්න එපා…..

ඔහේ කැමතිය පොලේ ගිහිල්ල තුංමුණින් දාඩිය දාගෙන බඩු මලු උස්සං එන්න?

නොකර කොහොමෙයි?

ඔය…….! කරන්න ඕන නිසා කරන දේවල් අනන්තයි නේද? ඉතිං කොහෙද නිදහසක්?

වලාමේ…! ඔහෙටනං නුහුගුණේ හොඳටෝම. නිදහස ඕනෙයි කියල මං ගෑණියි ළමයයි කොහේ අතාරින්නෙයි.

ඇයි මනුස්සයො, රස්සාව අතනෑරියත් මං උන්නෙ පවුලයි ළමයිනං සු‍ටුස්ගාල අතාරින්න කැමතිවෙයිය කියල, මීට හතර දොහකට කලිං උන්ව දාල ආව හැටියට.

ඒ ඉතිං ඉඳල හිටල වෙන ඇබැද්දි.. සීරියස් ගන්න නාකයි ඒව.

අනේ උන්නැහේ අපි වෙන අතක් බලමු…

මේ.. මගෙන් මුකුත් අහගන්න ලෑස්තිවෙන්න එපා මෙතන. උඩ දාගෙන ආව හැටියටනං මං උන්නෙ සේරම අතාරින්න ඇහැක් වෙයිය කියල. චික් අම්මප හද්ද පාඩුයි මෙච්චර වෙලා කතා කරපු වචන ටිකටත්.

කොයි එකත් ඔහොම්මයි. මහ ලොකුවට කට නං තියනව ඔක්කොම අතෑරල නිදහස හොයාගෙන යන්න ඕනෙයි. මේ කොරන දේවල් කිසිම දෙයක ප්‍රතිඵලයක් නැතෙයි කියල. කට විතරයි. තුහ්.. !

Leave a Reply